අයවැය කථාව හෙවත් 2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව ප.ව.2.00ට විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම ආරම්භ වෙයි. මුදල් අමාත්‍යවරයා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත  ඔක්තෝබර් 20  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැය තුළ මූලික අවධානය යොමුකොට ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

2017 වසරේ අයවැය, සකස් කිරීමේ දී ජනතා අදහස් සඳහා ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, සමාජයේ සියලු ජන කොටස් නියෝජනය වන පරිදි, ඔවුන්ගේ අවශ්‍යතා හා යෝජනා, සැලකිල්ලට ගත් බවත්, අමාත්‍යවරයා කියා සිටී. ඒ අතර ගොවි, ධීවර, කම්කරු, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියාලාභීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීයවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආගමික නායකයින් වැනි විශාල පරාසයක්, ඊට ඇතුළත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැයයි. එමෙන්ම, යහපාලන රජයේ තෙවැනි අයවැයයි. “සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක් කරා...” යන්න එහි තේමාවයි.