සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනයක් කරා

ගරු කථානායකතුමනි,

ශ්‍රී ලංකාවේ 20 වෙනි මුදල් අමාත්‍යවරයා වශයෙන් 71 වෙනි අයවැය යෝජනාවලිය 2017 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. රටේ යහපත වෙනුවෙන් නව ආර්ථික සහ සමාජ පරිසරයක් ඇති කරලීම සඳහා පමණක් නොව, තිරසාර සංවර්ධනය උදෙසා ද පැහැදිලි ප්‍රවේශයක් ඇති කර ගැනීම කෙරෙහි යහපාලන ජාතික රජයේ දෙවැනි අයවැය යොමුව තිබෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිපුන නායකත්වය යටතේ සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් හෙට දිනයක් ඇති කරලීම වෙනුවෙන් අප රජය නොසැලෙන කැපකිරීමකින් යුක්තව තවදුරටත් කටයුතු කිරීමට බැඳී සිටිනවා. අපගේ ජනතාවට සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අප යන අභියෝගාත්මක ගමන් මඟ අද්විතීය දේශපාලන පසුබිමක් තුළ සකස්ව ඇති අතර එය ඉලක්කගත සමෘද්ධිය කරා පියනැගීමට බෙහෙවින් උපකාරී වේ.

ප්‍රජාතන්ත්‍රවාදය, මූලික මිනිස් අයිතිවාසිකම් සහ තිරසාර සාමයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සංවර්ධනය, නිදහස මෙන්ම ජාතීන් අතර සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. අන්‍යොන්‍ය ගෞරවය හා සම්මුතිවාදය පාදක කොට, නව දැක්මක් තුළ තිරසාර සාමයක් ස්ථාපනය කරලීම උදෙසා අප රට මෙහෙයවනු ලබනවා. මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සමාජීය, දේශපාලනික, ආර්ථික සහ ජාත්‍යන්තර සබඳතා වැනි වැදගත් ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් වන පරිදි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් අප විසින් සකස් කර තිබෙනවා. ජාතීන් අතර පොදු එකඟතාවය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ, රට තුළ නීතිය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලීම සඳහා අපගේ රජය කේන්ද්‍රගත වනවා.

අපගේ ප්‍රමුඛ පරමාර්ථය වන රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික වශයෙන් ඉතා වැදගත් වන පුළුල් ප්‍රතිපත්ති රාශියක් ඇතුලත් වන පරිදි අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබාදෙන නිවැරදි නායකත්වය, ශ්‍රී ලංකාව ආසියානු කලාපය තුළ ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා උපකාරී වනවා. රජයේ මධ්‍යකාලීන උපාය මාර්ගික සැලැස්මේ අරමුණු වන්නේ රැකියා අවස්ථා දස ලක්ෂයක් ඇති කිරීම, ආදායම් මට්ටම් ඉහළ දැමීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, වැඩකරන වතු ජනතාව සහ ග්‍රාමීය ජනතාව මෙන්ම මධ්‍යම පාන්තිකයන් සහ රාජ්‍ය සේවකයින් වෙත ඉඩම් අයිතිය ලැබෙන බවට සහතික වීම සහ එමගින් වඩා ශක්තිමත් මධ්‍යම පාන්තිකයන් පිරිසක් බිහිකරවීමයි. එමෙන්ම, දිළිඳුකම දුරලීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සහ වැඩසටහන් කෙරෙහි සුවිශේෂී අවධානයක් 2017 වර්ෂය ආරම්භයේ සිටම යොමු කරනු ලබනවා.

ගරු අග්‍රාමාත්‍යතුමා මෙම ගරු සභාවේදී සවිස්තරාත්මකව හා මනා ලෙස විග්‍රහ කළ පරිදි රජය විසින් වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 7 කට වඩා වැඩි අගයක් අත්පත් කර ගැනීම පිණිස ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමෙන් ලෝක වාණිජ මෙහෙයුම්වල අපගේ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමේ උපායමාර්ගික වැදගත්කම සලකා අවශ්‍ය වැඩසටහන් දියත් කරනු ඇත. මේ යටතේ අපේක්ෂිත අනෙකුත් කරුණු දිරිගැන්වීමට අමතරව චීනය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි කලාපීය රටවල් සමඟ ආර්ථික ඒකාබද්ධතා ගිවිසුම්වලට එළඹෙනු ඇත. ව්‍යවසායකයින්ට හා වෘත්තිකයින්ට ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය, වාණිජ කෘෂිකර්මාන්තය මෙන්ම කාර්මීකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකිවන පරිදි අතිරේක අවස්ථාවන් හා ප්‍රවේශ ලබාදීමට පෞද්ගලික අංශයට ඇති හැකියාව විශේෂයෙන් සලකා බලා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි ආයෝජන සඳහා සංවර්ධන කලාප පිහිටුවනු ලබනවා.

මෙම ප්‍රයත්නයන් තුළින් සමාජයේ සියලුදෙනා ඇතුලත් වන පරිදි තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම කෙරෙහි ඉතා ශක්තිමත් බලපෑමක් ඇති කරන අතර 2030 දී අත්පත් කර ගැනීමට කැපවුණ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වන නිවාස, ආරක්ෂිත පානීය ජලය සහ සැමට වඩාත් ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීම එමගින් සහතික කරනු ලබනවා.

සෑම අංශයකම ආර්ථික කටයුතු වඩා හොඳින් ඉටුකිරීම සඳහා 'වෘද්ධි යන්ත්‍රය' ලෙස සලකනු ලබන පෞද්ගලික අංශය විසින් ඉටුකරනු ලබන භූමිකාවේ වැදගත්කම සහතික කරමින් හා අවධාරණය කරමින් පෞද්ගලික අංශයට පහසුකම් සැලසීම හා දිරිගැන්වීම සඳහා මනාව සැලසුම් කළ ක්‍රියාමාර්ග ගනු ලබනවා. පැවතිය හැකි විවිධ බාධක ඉවත් කිරීම මගින් ව්‍යාපාර කිරීම සඳහා වඩා හිතකර හා පහසු පරිසරයක් ඇතිකිරීම පිණිස නෛතික හා ආයතනික සහයෝගය සැලසීම සඳහා රජය විසින් ඉක්මනින් ප්‍රතිචාර දක්වමින් තවදුරටත් පහසුකම් සලසනු ඇත. ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලදී රජය ප්‍රමුඛ ලෙස මැදිහත්වනවා වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් ඒවා සිදුකිරීමට කටයුතු කරනු ලැබේ.

සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා යහපත් හෙට දිනයක් ලබාදීම තහවුරු කිරීම සඳහා සමාජ, ආර්ථික හා පරිසරාත්මක පරිවර්තනයක් ඇතිකිරීම මේ වනවිට පවතින ප්‍රධාන අවශ්‍යතාවය වී තිබෙනවා. රටේ ළමා පරපුරට, විශේෂයෙන්ම උගත් තරුණ පරපුරට, සුබවාදී අනාගතයක් සහතික කිරීම සඳහා නිරන්තරයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ තුළින් 'හරිත හා නවෝත්පාදන පදනම් කරගත් ආර්ථිකයක්' ගොඩනැගීමට අවශ්‍ය ජාතික සංවර්ධන උපාය මාර්ගයක් සකස් කරනවා.

ගරු කථානායකතුමනි, ලෝක ආර්ථික වර්ධනයෙන් තුනෙන් එකකට වඩා දායකත්වය සපයන ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව වැනි වෙළඳපොළවල් සමඟ මධ්‍යකාලීනව සම්බන්ධවීමේ ඉහළ හැකියාවක් සහිතව අප ආසියානු සංවර්ධන ක්‍රියාවලියේ කේන්ද්‍රගතව සිටිනවා. මෙවැනි වෙළඳපොළවල් වලට සක්‍රීයව ප්‍රවේශවීමට උත්සාහ කරන අතරම ආසියානු ආර්ථික කලාපයේ සහ අන්තර් පැසිෆික් සහයෝගිතා හවුලේ හා චීනයේ 'එක් කලාපයක් - එක් මඟක්' හා සමඟ සම්බන්ධ වී තවදුරටත් පුළුල් වෙළඳපොළ අවස්ථා ලබා ගැනීමට සක්‍රීයව ක්‍රියාකරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ සෑම කෙනෙක්ම ඇතුලත්වන සමාජ සංවර්ධනයක් ඇතිකිරීමට පහසුකම් සැලසීම සඳහා පුළුල් ප්‍රතිපත්තියක් සකස් කරනු ලබනවා. සංවර්ධන ක්‍රියාවලියට රටේ සැමදෙනාම ඇතුලත්වීම මූලිකව සැලකිල්ලට ගත යුතු අවශ්‍යතාවයක්. සංවර්ධනය සඳහා වන ගමනේදී සමස්ත ජන සමාජයේ සහභාගිත්වය ලබා ගනිමින් 'සැමට සමාජයක් යන සංකල්පය අනුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ අරමුණකි. මේ අනුව 'සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනයක් කරා' යන්න 2017 වර්ෂයේ මෙම ජාතික අයවැයෙහි පුළුල් තේමාවයි.

'සැමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනයක් කරා' යන තේමාව අනුව ක්‍රියාත්මක වීමේදී දැනට රටේ යම් යම් ස්ථානවල කොටස් වශයෙන් ඉතිරි වී ඇති දිළිඳුබව මුලිනුපුටා දැමීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. මෙම ක්‍රියාවලියට අවධානය යොමු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 වසර දිළිඳු බව පිටුදැකීමේ වර්ෂය ලෙස නම්කර තිබෙනවා. අප විසින් මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා අගය කළ හැකි මට්ටමක ආර්ථික වර්ධනයක් ලඟා කර ගනිමින් දිළිඳූකම දුරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුව තිබෙනවා. එමනිසා මෙම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ශක්තිමත් ආර්ථික පදනමක් ඇතිකර ගැනීමට අප විසින් ප්‍රයත්න දරනු ලබනවා. මේ සඳහා තෝරාගෙන ඇති මාර්ගය හරහා ගමන් කිරීම දුෂ්කර වන නමුත් වඩා හිතකර අනාගතයක් බිහිකිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීම 2017 වර්ෂයේ මෙම අයවැයට පදනම වී තිබෙනවා.

2017 අයවැය සඳහා පසුබිම

ගරු කථානායකතුමනි, සම්මුතිවාදී රජයේ කුළුඳුල් අයවැය 2015 වර්ෂයේදී ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය මා ලැබුවා. එහිදී ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි පොදුවේ අවධානය යොමුකරමින් ද රාජ්‍ය මූල්‍ය අංශය වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද අප විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබුවා. රටේ විශාල සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩ කඩ සලසාලමින්, දේශීය හා විදේශීය ආයෝජන වැඩිකිරීම සඳහා 2016 වර්ෂයේදී රජය විසින් ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබුවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකිරීම මෙන්ම ඛනිජතෙල් සහ ගෘහස්ථ ගෑස් මිල ගණන් ලෝක වෙළඳපොළේ මිල අඩුවීමත් සමඟ අඩු කරමින් අප විසින් ජනතාවට දෙනු ලැබූ සහන නිසා මහජනයාට සැලකිය යුතු ඉතිරියක් ඇතිවූ බවට කිසිදු සැකයක් නැහැ. එම ඉතුරුම් මගින් ජනතාවගේ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩකඩ සැලසුන බවද පැහැදිලියි.

අප විසින් ලබා ඇති ජයග්‍රහණ පදනම් කරගෙන සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් තිරසාර අන්දමින් ඉදිරියට ගමන් කළ යුතු වනවා. සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත පිහිටා දැනුම පදනම් කරගත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇතිකිරීම සඳහා අප විසින් උත්සාහ දරනු ලබනවා. ශ්‍රී ලංකාව වර්තමානයේ දී සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයකට අවතීර්ණ වී තිබෙනවා. අද දින ඉදිරිපත් කරන 2017 අයවැය රටේ අනාගතය සම්බන්ධව ඉතා වැදගත් වෙනස්වීමකට මඟ හෙළි කරනු ලබනවා. ඉහළ

රැකියා අවස්ථා සඳහා ජනතාවගේ ඇති අපේක්ෂා මෙන්ම විකල්ප ව්‍යවසායක අවස්ථා පිළිබඳ අපේක්ෂා පුළුල් වෙමින් පවතිනවා. මෙමගින් ඇතිවන ඉල්ලුම සපුරාලීම සඳහා සියළුම ආර්ථික ක්ෂේත්‍රයන්හි අවශ්‍ය වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම අවශ්‍යවනවා.

පසුගිය රාජ්‍ය පාලනය විසින් අපට දායාද කළ අහිතකර උරුමයන්ගෙන් නිදහස් වීම සඳහා ආර්ථිකයේ විවිධ අංශවල ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දිය යුතුව තිබෙනවා. පසුගිය රාජ්‍ය පාලනය විසින් ව්‍යාපාරික පරිසරයට අහිතකර බලපෑමක් ඇති කරමින් බොහෝ ආයතනවල වාණිජමය ක්‍රියාකාරිත්වයන්ට හානි කළ බැවින් විශේෂයෙන්ම අකර්මන්‍ය වී ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත නඟාසිටුවීමට සහ ජාත්‍යන්තර වෙ‍ෙළඳාම සම්බන්ධ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගැනීම ඉතා වැදගත් වනවා. මෙබඳු ප්‍රයත්නයන්, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම දියුණු ආර්ථික කළමනාකරණයකට උපකාරී වන අතර එය පසුගිය රජය විසින් සිදුකරන ලද අක්‍රමිකතාවලට හාත්පසින් වෙනස් තත්ත්වයක් වනවා.

ගරු කථානායකතුමනි, වර්තමානයේ රාජ්‍ය ව්‍යාපාරයන්හි පවතින කනගාටුදායක තත්ත්වය ගැන මවිසින් සවිස්තරාත්මකව කිවයුතු නැහැ. දශක ගණනාවක් තුළ එකතු වී ඇති පාඩු සහ ඌණ මෙහෙයුම් ක්‍රියාකාරිත්වයට, ඒවායේ අයුතු කළමනාකරණය ද හේතු වී ඇති බව පැහැදිලිවම පිළිබිඹු වන අතර එය භාණ්ඩාගාරයේ සම්පත් අපතේ යාමට ද හේතුවක් වී තිබෙනවා. එමනිසා මෙබඳු ව්‍යාපාර ශක්තිමත් කොට වඩා ඵලදායී ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හඳුන්වාදීම අවශ්‍යයි.

අපනයන සංවර්ධනය අපගේ ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් වන අතර, අපනයන සංවර්ධනය සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයන නොකඩවාම පහත වැටී තිබෙනවා. 1990 වර්ෂයන්හි මැද භාගයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට වඩා වැඩි ප්‍රතිශතයක සිට වර්තමානය වන විට සියයට 15 පමණ දක්වා අපනයන පහත වැටීම ආර්ථිකයට යහපත් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ ඵලදායිතාවය වර්ධනය කිරීම, වෙළඳපොළ පහසුකම් වැඩි කිරීම, ද්විපාර්ශවීය ආර්ථික සහයෝගිතා ගිවිසුම් ඇතිකර ගැනීම, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම, ඉතා අත්‍යවශ්‍ය ආයතන පිහිටුවීම සහ විදේශ විනිමය පාලන ඉවත්කිරීම යනාදිය ඉලක්ක කරගත් වෙළඳාම හා ආයෝජන පදනම් වූ ප්‍රතිසංස්කරණයන් සැබෑ වශයෙන්ම වඩා හොඳ ජාත්‍යන්තර වෙ‍ෙළඳ සහ ආයෝජන වාතාවරණයකට හේතු සාධක වනවා. ඇත්ත වශයෙන්ම, අප විසින් නිදහස් වෙ‍ෙළඳාමක් නොව සාධාරණ වෙ‍ෙළඳාමක් අරමුණු කර ගන්නා අතර එමගින් ණය ඇති නොකරන විදේශීය අරමුදල් රටට ගලා ඒමත් දිරිමත් කරනවා.

කෙසේ වෙතත්, අපගේ ක්‍රමවේදයන්, කුසලතාවයන්, ක්‍රියාවලීන් සහ ඵලදායිතාවය වර්ධනය කිරීම ඔස්සේ අප ආර්ථිකයේ තරඟකාරී තත්ත්වයන් තවදුරටත් වැඩිදියුණු කරගත යුතුව තිබෙනවා. ඵලදායිතාව වැඩි කිරීමෙන් ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය වී තිබෙනවා. අප විසින් අපේක්ෂිත ආර්ථික වර්ධනයට ඉතා අවශ්‍ය අංගයන් ලෙස ඵලදායිතා වර්ධනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ යටිතල

පහසුකම්වල සංවර්ධනය ද හඳුනාගෙන තිබෙනවා. යාන්ත්‍රීකරණය, රොබෝ තාක්ෂණය හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවන දියුණුවට අදාළව අපගේ නිපුණතා යාවත්කාලීන විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රය, පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල මෙන්ම ඩිජිටල්කරණ යටිතල පහසුකම්වල කෙරෙන ආයෝජන මගින් නව අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට අපට හැකිවනවා.

ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් වීම නිසාවෙන්, සාගරය මඟින් උපදවනු ලබන ආර්ථික සම්පත් සම්භාරය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතු වනවා. සාගර පර්යේෂණ, සංචාරක ව්‍යාපාරය, ධීවර සම්පත් සහ සාගර සම්පත් මගින් ආර්ථික හැකියාවන් ඉහළ නැංවීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වෙනවා.

සේවා වියුක්ති දර්ශකය මේ වනවිට අඩුවෙමින් පවතිනවා. එක් පසකින් විවිධ ආර්ථික උප අංශයන්හි සේවක අවශ්‍යතා ඉහළ යමින් පවතින අතර අනෙක් පසින් ඉතා සීමිත සංඛ්‍යාවක් එවැනි රැකී රක්ෂා සඳහා ඉල්ලුම් කරනවා. අප වයස්ගත වෙමින් පවතින සමාජයක් වීම හේතුවෙන් ඊට අදාළ සංකීර්ණතා තවත් වැඩිවී තිබෙනවා. මෙබඳු උපනතීන් අපගේ ව්‍යාපාරයන් මත ප්‍රබල අභියෝගයක් එල්ල කර තිබෙනවා. නව අවස්ථාවන් ඇතිවී තිබුණ ද පවතින කම්කරු නීති පද්ධතිවල පවතින ව්‍යාකූලතා මගින් මෙවැනි අවස්ථාවන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සීමාවී ඇති අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය එමගින් තහවුරු කරනවා.

ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වනවා. දැනට අප රට මුහුණපා තිබෙන සාර්ව ආර්ථික අසමතුලිතතාවය ඉතා සැලකිල්ලෙන් යුතුව නිර්මාණය කරනු ලබන ප්‍රතිපත්ති තුළින් විසඳිය යුතුව තිබෙනවා. මේ හා සම්බන්ධ ප්‍රතිපත්ති අතර අය-වැය හිඟය දැරිය හැකි සාධාරණ මට්ටමකට අඩුකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීම තුළින් උද්ධමනය හා පොලී අනුපාවිත වැඩිවීම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම මගින් ඇතිවිය හැකි අනවශ්‍ය පීඩනය අඩුකිරීමට හා පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රයත්නයන් දැරිය යුතුයි. උද්ධමනය වැඩිවීම නිසා ජනතාවට විඳීමට සිදුව තිබූ දුෂ්කරතා අප දැක තිබෙනවා. අප විසින් මේ වන විට උද්ධමනය පාලනය කිරීමට සමත් වී ඇති අතර එය අපගේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ආඩම්බර විය හැකි කාරණයක්. ජනතාව පීඩාවට පත් නොකර මෙම ක්‍රියාදාමය සුබවාදීව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය පියවර අඛණ්ඩව ගනු ලබනවා.

ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් ප්‍රාග්ධන ආයෝජන මෑත වසරවල පිටතට ගලා ගොස් ඇති බැවින් සාර්ව ආර්ථික කළමනාකරණය දුෂ්කර වී ඇත. මෙම අභියෝගය ජය ගැනීමට අතිරේක ආරක්ෂිත විදේශ විනිමය ප්‍රමාණයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති හඳුන්වා දීම මගින් අපගේ ආර්ථිකයේ බාහිර අංශය ශක්තිමත් කළ යුතුවේ.

අපගේ ඉතිරිකිරීම් වැඩි කිරීමටත් ඒවා වඩා ඵලදායී ආර්ථික විකල්ප වෙත යොමු කිරීමටත් එමගින් ආර්ථික වර්ධන හැකියාව ප්‍රසාරණය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ආයෝජනය සඳහා වන පරිසරය වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වන අතර අපගේ ආයෝජන ඉලක්ක නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍යයි. ව්‍යාපාර පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ඉහළ අපේක්ෂාවන් සහිත

ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හඳුන්වා දීම තුළින් අලුතින් බිහිවන ව්‍යවසායකයින්ට ආයෝජනය කිරීමට හිතකර ව්‍යාපාරික වාතාවරණයක් ඇති කිරීම මෙන්ම නව වෙළඳපළවලට පිවිසීම පහසු කර ලීම හා රැකී රක්ෂා අවස්ථා උත්පාදනය කිරීම අපගේ අපේක්ෂාවයි.

මූලික වශයෙන් කර්මාන්ත වෙත වැඩි නැඹුරුවක් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය අපගේ ආර්ථිකයට ඉතා ශක්තිමත් දායකත්වයක් ලබා දෙනවා. මෙවැනි ව්‍යාපාර ඇති කිරීමට, ආරක්ෂා කිරීමට මෙන්ම සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය, අලෙවි සහ අනෙකුත් අදාළ පහසුකම් සලසාලමින් එම අංශය දියුණු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දේශීය හා විදේශීය සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය වන පොදු පහසුකම් දියුණු කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳපළට පිවිසීමටත් අවශ්‍ය පහසුකම් සලසනවා. මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා දැනට ඇති බාධාවලට පිළියමක් ලෙස මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශවීම පහසු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබනවා.

තොරතුරු යුගය සඳහා ප්‍රවේශවීමේ ස්ථානය වන ඩිජිටල්කරණය තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ ශ්‍රී ලංකාව විසින් උපරිම වශයෙන් ලබාගත යුතු බවට මා තරයේ විශ්වාස කරනවා. ඇනලොග් (Analogug) ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික උපාංගවල සිට ඩිජිටල් තාක්ෂණය දක්වා සිදු වී ඇති තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා තුළින් සිදුවන විශ්මය ජනක සංවර්ධනය සිතා ගැනීමටවත් නොහැකි තරම් වෙනවා. අප විසින් මෙරට ඩිජිටල්කරණය සඳහා වූ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතත් එහි උපරිම තලයට ළඟාවීමට දිගු ගමනක් යා යුතුයි.

ගරු කථානායකතුමනි, සංවර්ධනයේ තිරසාර බව තහවුරු කර ගැනීම පිණිස අප විසින් ලබා ගන්නා ආර්ථික වර්ධනයේ වේගය පමණක් නොව, එහි ස්වභාවය හා රටාව පිළිබඳව ද සැලකිලිමත් වනවා. මෙබඳූ ප්‍රයත්නයක් මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සෑම තලයක් වෙතම සමානව විහිදී යනු ඇති බවට සහතික කෙරෙනවා.

ඉඩම්, නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වන අවශ්‍යතාවය කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. එමනිසා, මෙම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම් අඛණ්ඩව සිදු කරනු ලබනවා.

ගොවි ජනතාවගේ දිවි පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා වන අපේ අභිලාෂය තුළ දියුණු තාක්ෂණය පදනම් කරගත් පියවර හඳුන්වා දෙනු ලබනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මහජන හිතකාමී, ජනතාවගේ අවශ්‍යතා සහ වුවමනා සම්බන්ධ වගවිය යුතු වනවා මෙන්ම, ප්‍රතිචාර ද දැක්විය යුතු වනවා. වඩා කාර්යක්ෂම හා ඵලදායී ක්‍රියාවලියක් තුළින් නිලධාරීවාදය අඩු කිරීමෙන් වඩා මහජන හිතකාමී රාජ්‍ය සේවයක් සහතික කිරීම අපගේ බලාපොරොත්තුවයි.

අප දන්නා පරිදි කළමනාකරණයේ දී භාවිත වන ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key performance Indicators - KPIS) බොහෝ රටවල් විසින් සුබවාදීව තම ආයතන හා සේවකයන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා යොදා ගන්නවා. ඒ අනුව අවම වශයෙන්

රාජ්‍ය අංශයේ ප්‍රමුඛ ආයතන කිහිපයකටවත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක හදුන්වාදීමට ඇති හැකියාව අප විසින් සොයා බලනු ලබනවා.

ඕනෑම සංවර්ධන ක්‍රියාවලියකදී පරිසරයේ තිරසාර පැවැත්ම ඉතා අත්‍යවශ්‍ය අංගයක් වනවා. එබැවින් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල් ද ඇතුළුව ගෝලීය උෂ්ණත්වය පිළිබඳව පැරිස් ගිවිසුමෙහි අත්සන්කරුවකු වීමෙන් මේ සඳහා ඇති අපගේ කැපවීම පෙන්නුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ක්‍රියාවලියේ දී 2030 වසරේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඇති වැදගත්කම අප රජය විසින් තේරුම් ගෙන තිබෙනවා. සැවොම ඇතුලත් වන පුළුල් ප්‍රතිපත්ති රාමුවක් මගින් රටේ ආර්ථික, සමාජීය හා පරිසරාත්මක ප්‍රමුඛතා, මධ්‍යකාලීන හා දිගුකාලීන සංවර්ධන සැලසුම් තුළ ඇතුලත් කරමින් මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සහතික කරනු ඇති.

ගරු කථානායකතුමනි, අතීතයේදී උතුරු සහ නැ‍ඟෙනහිර ප්‍රදේශවල තිබූ ප්‍රශ්න සඳහා වෙන් වෙන් වශයෙන් පිළියම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සහ රටේ අනෙකුත් ප්‍රදේශ අතර පවතින සමාජමය හා ආර්ථිකමය අසමතුලිතතාවන් 2020 වන විට ඉවත් කිරීමට කටයුතු කිරීම අපගේ අපේක්ෂාවයි.

ගරු කථානායකතුමනි, රජයේ ණය බර පිළිබඳව මෙම රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපගේ දරුවන් මත ණය බර නිසා ඇතිවී තිබෙන පීඩාකාරී බව ඉවත් කිරීම සඳහා අප රජය කැපවී සිටිනවා. මේ සම්බන්ධයෙන් රටේ සංවර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සකස් කරන ලද ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. රජය විසින් වසර 13 ක් දක්වා අනිවාර්ය වන පාසල් අධ්‍යාපනය, වෘත්තීය, කාර්මික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ද මේ සඳහා උපකාරී වනු ඇත.

2017 වර්ෂයේ අයවැය යෝජනා සකස් කරන ලද්දේ විවිධ මට්ටමින් අදහස් විමසීමේ ක්‍රමවේදයක් තුළිනි. මෙහිදී විශේෂයෙන්ම අයවැය සම්බන්ධයෙන් මහජන අදහස් විමසා සිටින ලද බව මා සඳහන් කිරීමට කැමතියි. අයවැය සකස් කිරීමේ කාර්යයේදී ඉතිහාසයේ පළමු වතාවට මාගේ මඟපෙන්වීම යටතේ මුදල් අමාත්‍යාංශය විසින් '2017 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමේදී මහජන සහභාගිත්වය ලබාගැනීම' යන තේමාව යටතේ නැවුම් මුහුණුවරකින් කටයුතු කළා. එසේම මේ සඳහා විශ්වවිද්‍යාල 12 ක සිටින ශාස්ත්‍රඥයින්ගේ ද සහයෝගය ලබා ගත්තා. ඊට අමතරව, විවිධ මහජන කණ්ඩායම් රාශියක් සහ තවත් විශාල පිරිසක් මේ සඳහා විවිධ අයුරින් දායකත්වය ලබා දුන් අතර මේ අවස්ථාවේදී ඔවුන් සියලුදෙනා වෙත මාගේ කෘතඥතාවය පිරිනැමීමට කැමතියි. මෙම ක්‍රමවේදය තුළින් අප අයවැය සකස් කිරීමේදී ගම් මට්ටමේ සිටින මහජනතාවගේ අදහස් මෙම ක්‍රියාවලිය තුළට ලබා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන ලද බව ද සඳහන් කිරීමට කැමතියි. ඒවායින් සැලකිය යුතු යෝජනා ප්‍රමාණයක් සුදුසු පරිදි මෙම අයවැය තුළට ඇතුලත් කර තිබෙනවා.

තමා ආදරය කරන අය වෙත සත්කාර කිරීම ශ්‍රී ලාංකිකයින් අතීතයේ සිටම පවත්වාගෙන එන යහපත් සම්ප්‍රදායක්. මේ සම්බන්ධයෙන් අප කවර මට්ටමක සිටිනවාද යන්න 'පරිත්‍යාගය පිළිබඳ ලෝක දර්ශකය' (World Charity Index) මගින් සනාථ කර තිබෙනවා. අපගේ සමාජීය යහපැවැත්ම පිළිබඳව ලෝක ප්‍රජාව විසින් මනිනු ලබන මෙම විශ්ව තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අප බැඳී සිටිනවා. එබැවින් විවිධ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් කරනු ලබන සමාජ සේවා කටයුතු නව මුහුණුවරකින් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරනු ඇති. සමාජයේ වඩාත් පහසුවෙන් පීඩාවට පත්විය හැකි කොටස්වල දුක්ගැනවිලි විසඳීම සඳහා ශක්තිමත් සුබසාධන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව අප පිළිගන්නවා.

සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත වඩා හොඳ හෙට දවසක් උදාකරලීම වෙනුවෙන් අප යන ගමනේදී නව අභියෝග රාශියකට මුහුණදීමට අපට සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම වයස් ගතවන වැඩිහිටි පරම්පරාව සාපේක්ෂව වැඩිවීම තුළින් ආර්ථිකය සහ සමාජය මත පැනවෙන මහත්වූ බලපෑම අපගේ විශේෂ අවධානයට යොමුවූ කරුණක්.

දායකත්වයක් නොමැති රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඉදිරි පරම්පරා ගණනාවකට පීඩනයක් ඇති විය හැකි ඵල විපාක ලැබෙන සංකීර්ණ තත්ත්වයක පවතින බව සඳහන් කළ යුතුයි. රජයේ අයවැය තුළ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවෙන් දැරීමට සිදුව ඇති වැය බර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ තුළින් අනාගතයේදී විශ්‍රාමිකයින් වෙනුවෙන් වඩාත් හොඳින් සේවයක් ලබා දිය හැකි සුදුසු විකල්ප යෝජනා හඳුන්වාදීමේ අවශ්‍යතාවය දැඩිව මතු කරනවා.

රජය විසින් යෝජනා කරන ලද විවිධ ක්ෂේත්‍ර යටතේ හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී නොයෙක් අවස්ථාවලදී අතිශෝක්තියෙන් කරනු ලැබූ විවේචන නිසා සීමාවන් පැන නැගී තිබෙනවා. ජාතික යහපත නොතකා හුදෙක්ම දේශපාලන වෙනස්කම් මත විරුද්ධ මත ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් නිසා රට තුළ අවිනිශ්චිතභාවයන් ගොඩ නැගෙනවා. පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට දැක්මක් නොමැතිව දේශපාලන අපේක්ෂා භංගත්වයෙන් නොමඟ ගිය පුද්ගලයින් විසින් ජනතාව මුලාකරමින් විරෝධතා වැඩසටහන්වලට සහභාගි වීම ජාතියේ අවාසනාවකි. ශ්‍රී ලාංකිකයින් වෙත වඩා යහපත් හෙට දිනයක් උදාකරලීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිණිස සියලු ශ්‍රී ලාංකිකයින් පෙළ ගැසෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

රට සංවර්ධනය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත හොඳින් සැලසුම් කරන ලද ප්‍රතිපත්තිමය රාමුවක් අප ඉදිරිපත් කරනවා. දැනට පවත්නා සහ ඉදිරියේදී මතුවිය හැකි අභියෝගවලට මුහුණදීමට සහ ඒවා සාර්ථක ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇතිකර ගැනීම සඳහා අප වෙත ඇති යහපත් දැක්ම ක්‍රියාවට පරිවර්තනය කර ගත යුතු වනවා. අපට ඉදිරියේදී ගමන් කළ යුතුව ඇති මාර්ගය පහසු එකක් නොවන බව අපි දන්නවා. එනමුත්, එසේ කිරීමට අවශ්‍ය හැකියාව ඇති බවට අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. අප ඉදිරියේ පවතින ගැටලු පිටුදැකීමට යෝග්‍ය නව්‍ය ක්‍රමෝපායන් ද ඇතුලත් කර ගනිමින් දැඩි කැපවීමකින් යුතුව සියලු අභියෝගයන්ට මුහුණ දෙනවා.

අපගේ රජය වෙත යොමු කරන ලද ජනතා අපේක්ෂාවන් සහ පැවරුණු කාර්යයන් ඉටු කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් දැඩි අවධානයකින් හා කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබනවා. මෙම කාර්යභාරය වසර 2020 එහාට ද ක්‍රියාත්මක වෙනවා. මේ අනුව 2015 ජනවාරි 08 දින ජනතාව වෙනුවෙන් වූ පොරොන්දු අපි ඒ අයුරින්ම යථා පරිදි ඉටු කරනු ලබනවා.

කෘෂිකර්මාන්තය

ගරු කථානායකතුමනි, කෘෂිකර්මාන්තයට අපේ ආර්ථිකයේ, අපේ සමාජයේ සහ අපේ ජනජීවිතයේ විශාල වැදගත්කමක් හිමිවෙනවා. එම නිසා කෘෂිකාර්මික අංශයට මුල් තැන දෙමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට මා කැමතියි. ආහාර නිෂ්පාදන සහ කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200 ක් පමණ අප විසින් වැය කරනවා. ඉඩම් කුඩා කැබලි වශයෙන් පැවතීම, නවීන තාක්ෂණය හා කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතයට නොගැනීම සහ ස්ථාවර කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම, කෘෂිකාර්මික අංශය තවමත් යැපුම් මට්ටමේ පැවතීමට හේතු වී තිබෙනවා.

කෘෂිකාර්මික අංශයේ නිරත මිලියන 2.5 ක් පමණ වන ජනතාවගෙන් වැඩි කොටසකගේ මාසික ආදායම දළ වශයෙන් රුපියල් 25,000 ක් පමණ වන අතර එය රටේ සාමාන්‍ය මාසික ආදායම වන රුපියල් 41,000 ට වඩා අඩුය.

ගරු කථානායකතුමනි, එක් යුගයක පෙරදිග ධාන්‍යාගාරය වූ රටක් මෙවන් තත්ත්වයකට පත්වී තිබීම අපට පිළිගත හැකි තත්ත්වයක් නොවේ. අඩු ඵලදායීතාවක් සහ අඩු ආදායම් සහිත සීමිත භෝග ප්‍රමාණයක් මත රඳා පවතින යැපුම් කෘෂිකර්මාන්තය, වාණිජ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කර ගොවීන්ගේ ආදායම් ඉහළ නැංවීමටත් සුළු පරිමාණ නිෂ්පාදකයින් මහා පරිමාණ මට්ටමේ කෘෂි අපනයනකරුවන් දක්වා දියුණු කිරීමටත් සහයෝගය ලබා දීමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, වගා බිම් කැබලි වීමේ තත්ත්වය තුළ අපගේ ගොවීන්ට නිෂ්පාදනයේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු වී ඇති අතරම නිෂ්පාදන සඳහා ප්‍රශස්ථ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඔවුන් අතරමැදියන්ගේ ගොදුරු බවට පත් කර තිබෙනවා. අපගේ ගොවීන්ට ණය ලබා ගැනීම මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා සඳහා හොඳ මිලක් ලබා දෙමින් ඔවුන්ව සවිබලගැන්වීම ගොවි සමූපාකාර මගින් සිදු කළ හැකි බව මා විශ්වාස කරන අතර ඒ සඳහා ගොවි සමූපාකාර ඇති කිරීම අප විසින් දිරි ගන්වනු ලබනවා.

කෘෂි නිෂ්පාදන සඳහා වන අගය දාමයේ (Value Chain) වඩාත් හිතකර හා අඛණ්ඩ පැවැත්මක් ඇති කිරීම සඳහා කුඩා පරිමාණ ගොවි නිෂ්පාදකයින් හා මහා පරිමාණයේ මිල දී ගන්නන් සහිත බාහිර ගොවීන් ලවා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය (out – grower model) භාවිතා කිරීම මා දිරි ගන්වනවා. ගරු කථානායකතුමනි, මේ සඳහා තවදුරටත් සහාය වීමට, භාවිතයට නොගෙන ඇති සහ ආර්ථිකමය වශයෙන් ඵලදායීතාවයක් නොමැතිව යොදාගෙන ඇති ඉඩම් කාෂිකර්මාන්තය සඳහා නිදහස් කිරීමටත්, නව තාක්ෂණය සහ නව කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතයට පහසුකම් සැලසීමටත්, වඩා ඵලදායී ලෙස ඉඩම් උපයෝගී කරගනිමින් ඉහළ ඵලදාවක් ලබා දෙන මිශ්‍ර බෝග වගාවන් සිදු කිරීමටත් පහසුකම් සැලසීමටත් රජය බලාපොරොත්තු වෙනවා. මෙමගින් යහපත් මූල්‍ය පහසුකම් සඳහා හා වෙළඳපොළ සඳහා ගොවීන්ට ප්‍රවේශයන් ඇති කිරීමට ද පහසුකම් සලසනු ලබනවා. එසේම, මෙම පහසුකම් සැලසීම තුළින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත වර්ධනයත් සමඟ ගොවි නිෂ්පාදන සඳහා වැඩි විය හැකි ඉල්ලුම සපුරාලීමටත්, විශේෂයෙන් මැදපෙරදිග වෙළදපොළ තුළ ඇති සැලකිය යුතු අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය ආහාර නිෂ්පාදන ක්‍රියාදාමයේ කොටස්කරුවන් වීමටත් හැකි වෙනවා.

ප්‍රධාන ආහාර බෝග පහක් වන අල, ලොකු ලූනු, මිරිස්, බඩඉරිඟු සහ සෝයාවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් 2016 -2018 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අප විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

පලදායිතාව ඉහළ දැමීමට නවීන කුමවේද

වාණිජ කෘෂිකර්මාන්තයට පරිවර්තනය වීම සඳහා විශේෂයෙන් යාන්ත්‍රීකරණය තුළින් ඵලදායීතාව ඉහළ නංවන නවීන කෘෂිකාර්මික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම, බිඳිති ජල හා විසිරි ජල තාක්ෂණය වැනි ඉහළ වාරි තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම මෙන්ම පුරෝකථන විශ්ලේෂණ තුළින් නිවැරදි තීරණ ගැනීමට ඉවහල්වන නවීන කෘෂිකාර්මික ක්‍රමවේද යොදා ගැනීම වැදගත් වනවා. ඒ අනුව, වී, පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, මල් සහ ගෙවතු වගාවන් සඳහා එවැනි ඵලදායීතාවය ඉහළ නංවන තාක්ෂණික ක්‍රමවේද සහ භාවිතාවන් යොදා ගැනීමට ගොවීන් සහ ගොවි සංවිධාන දිරිමත් කරනවා. එසේම, අලිගැටපේර, අන්නාසි, රඹුටන්, බෙල් පෙපර්, කුඩා තක්කාලි (Cherry Tomatoes), ගල් සියඹලා, මොර වැනි පලතුරු හා එළවළු සඳහා ඒවායෙහි අගය එකතු කිරීම් ඉහළ නැංවිය හැකි කෘෂි සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකයින් දිරිමත් කරනවා. ඒ සඳහා ගොවීන්, ගොවි සංවිධාන හා කෘෂි සැකසුම් ආයතන සඳහා මෙන්ම ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හා භාවිත ක්‍රම සඳහා වන ණය වෙනුවෙන් සියයට 50 ක පොලී සහනාධාරයක් ලබාදීමට මා යෝජනා කරනවා.

රට තුළ ප්‍රමාණවත් වී ගබඩා පහසුකම් නොමැති වීමේ ගැටලුවට විසඳුමක් ලෙස අතිරික්ත වී නිෂ්පාදනයක් සහිත තෝරාගත් දිස්ත්‍රික්කවල, ඵලදායීතාව ඉහළ නැංවිය හැකි තාක්ෂණික ක්‍රම හා භාවිතාවන් යොදා ගනිමින් අවම වශයෙන් මෙට්‍රික් ටොන් 5,000 ක ධාරිතාවයකින් යුතු සයිලෝ (Silo) ගබඩා පහසුකම් ඇති කිරීමට ආයෝජනය කරන මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා ද දිනකට අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50 ක ධාරිතාවයකින් යුත් වී මෝල් ඇතුලත් වන පරිදි ඉහත සහනදායී ණය යෝජනා ක්‍රමය වී වගා අංශය වෙත ද පුළුල් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, මෙම පොලී සහනාධාර වැඩසටහන සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

පැළෑටි බද්ධ කිරීම, වල් පැළ නෙළීම වැනි කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම තුළින් එම කාර්යයන් යාන්ත්‍රීකරණය කිරීමට ගොවීන් සහ ගොවි සමූපාකාර දිරිමත් කරනවා. ඒ සඳහා ආනයනය මත පනවා ඇති එකතු කළ අගය මත බද්ද සහ රේගු බද්ද සහ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද අහෝසි කිරීමට මා යෝජනා කරනවා. තවද, ගොවි සමූපකාර සඳහා පහසුකම් සැලසීම පිණිස සියයට 75 ක පොලී සහනාධාරයක් ද ඇති නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපනයන වෙළදපොළ අරමුණු කරගනිමින් දියුණු තාක්ෂණික හා කෘෂිකාර්මික ක්‍රමවේද යොදා ගනිමින් වාණිජ මට්ටමේ එළවළු, පලතුරු හා ප්‍රධාන ආහාර බෝග වර්ග පහ වගා කිරීම සඳහා මාදුරුඔය දකුණු ඉවුර සහ අනෙකුත් ප්‍රදේශවලින් රජයේ ඉඩම් අක්කර 20,000 ක් ලබා දෙනවා. මෙම වැඩසටහන යටතේ, වාණිජ මට්ටමේ ගොවියෙකු සඳහා දීර්ඝකාලීන බදු ක්‍රමය යටතේ අවම වශයෙන් අක්කර 1,000 ක භූමි භාගයක් ලබාදීමට මා යෝජනා කරනවා.

ගලෙන්බිඳුණුවැව හා බුත්තල නව ධාන්‍ය ගබඩාවන්හි දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ක්‍රමය කිලිනොච්චිය, මන්නාරම හා ඇඹිලිපිටියෙහි ද ගඩබාවන් ඉදිකර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා දැනටමත් රුපියල් මිලියන 600 ක් වෙන් කර තිබෙනවා.

මෙම ක්ෂේත්‍රයට තවදුරටත් සහායවීම සඳහා වයඹ විශ්වවිද්‍යාලය තුළ ආහාර තාක්ෂණික පර්යේෂණ ඒකකයක් ස්ථාපනය කිරීමට මා යෝජනා කරනවා.

වැවිලි ආර්ථිකය

ගරු කථානායකතුමනි, 1992 වර්ෂයේ දී රජයේ වතු, ප්‍රාදේශීය වතු සමාගම් බවට පරිවර්තනය කිරීමේ අරමුණ වූයේ වතු සමාගම්වල කළමනාකරණය විධිමත් කර එම වතු ලාභ උපයන ආයතන බවට පත්කිරීමයි. කෙසේ වුවද, නවීන කෘෂිකාර්මික උපකරණ හා භාවිතයන් සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් සිදුනොවීම සහ වත්කම් අවභාවිතය නිසා ඵලදායීතාවය ස්ථාවර මට්ටමක නොමැතිව ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉතා කනගාටුදායක තත්ත්වයක පවතින බව වසර 25 කට පසු අද අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, වඩාත් කාර්යක්ෂම කළමනාකරණයක් සඳහා එක් සමාගමකට තබා ගත හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්කර 5,000 කට සීමා කරන අතර එම සමාගම් ඒකාබද්ධ කිරීමට ඉඩදෙනු නොලැබේ. කෙසේ වුවත්, එමගින් රැකියා අහිමිවීමක් සිදු නොවන බව අප තහවුරු කරන අතර ඉඩම් වෙන් කිරීමේ දී ප්‍රතික්ෂේප කිරීමේ පළමු අයිතිය ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු වෙනවා.

තේ කර්මාන්තය

අපගේ තේ අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් අගය එකතු නොකරන ලද තේ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ලැබෙන මිල පහළ මට්ටමක පවතිනවා. කෙසේ වුවද, 2020 වන විට තේ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වන අතර ඒ සඳහා අගය එකතු කළ තේ අපනයනය වැඩි කිරීම අවශ්‍ය වනවා. එබැවින්, අගය එකතු කළ තේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති අනුව සන්නාම ප්‍රවර්ධනය (brand promotion) සඳහා දේශීය තේ අපනයනකරුවන්ට ඇමෙරිකානු ඩොලර්වලින් ණය ලබා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ඇපකර ලබා දීමට මා යෝජනා කරනවා.

තේ කර්මාන්තකරුවන්ගේ අදහස් අතර මුලින් තියුණු බෙදීමක් පැවතියත් තේ අපනයන අංශය ලිහිල් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් මේ වන විට සැලකිය යුතු කතිකාවක් ගොඩනැගී තිබෙනවා. මේ සම්බන්ධ ගැටලු පුළුල්ව අධ්‍යයනය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. අදාළ සියලු පාර්ශවයන් සමග ප්‍රමාණවත් කතිකාවකින් තොරව අප මේ සම්බන්ධයෙන් අපරීක්ෂාකාරී ලෙස කිසිදු තීරණයක් නොගන්නා බවට මෙම ගරු සභාවට මා සහතික වෙනවා.

ගරු කථානායකතුමනි, වඩාත් සරල වූ බදු හා තීරු බදු ව්‍යුහයන් තුළින් තේ කර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා තේ වල මි.ර.ගැ (CIF) මිල මත අය කරන සියයට එකක ආනයන අපනයන පාලන ගාස්තුව අහෝසි කිරීමටත්, තේ ඇසුරුම් මත අය කරන ගාස්තු ඉවත් කිරීමට හා සංකේත (Logo) ලියාපදිංචිය මත අය කරන ගාස්තු ඉවත් කිරීමටත් මා යෝජනා කරනවා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මෙතෙක් කාණ්ඩ 6 ක් යටතේ පැවති වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම, විශාල සමාගම් සඳහා රුපියල් 500,000 ක හා කුඩා සමාගම් සඳහා රුපියල් 50,000 ක ගාස්තුවකට යටත් වන ලෙස කාණ්ඩ 2 ක් යටතේ අය කරන පරිදි සරල කිරීමටත් මා යෝජනා කරනවා.

සැලකිය යුතු විශාල ගෝලීය වෙළඳපළක් ඇති CTC තේ ප්‍රවර්ධනය දිරි ගන්වනවා. අගය එකතු කර නැවත අපනයනය සඳහා CTC තේ ආනයනයට පහසුකම් සැලසීම සඳහා තේ ආනයනය කරන අවස්ථාවේ දී ඔවුන් මුහුණදෙන බාධක ලිහිල් කිරීමට මා යෝජනා කරනවා.

වර්තමානයේ කසළ තේ අපනයනය කරන බව මා දන්නවා. එය 'සිලෝන් ටී' නාමයට විශාල අහිතකර බලපෑමක් ඇති කරන බැවින් කසළ තේ අපනයනය සඳහා වන තහනම ඉතා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. එම රෙගුලාසි කඩකරන්නන් මත තේ කිලෝවක් සඳහා රුපියල් 300 ක දඩ මුදලක් පනවන අතර එම ක්‍රියාවලියෙහි නියුතු සියලු දෙනා ඒ සම්බන්ධව වගකීම දැරිය යුතු වෙනවා.

රබර් කර්මාන්තය

“රබර් නැවත වගාව, වැඩි ඵලදාවක් සහිත පැළ හඳුන්වා දීම, වැහි ආවරණ තාක්ෂණය වැනි තොරතුරු ඇතුළත් 'රබර් සඳහා වන මහා සැලැස්ම' වහාම ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයෙහි ඉතා ඉහළ තාක්ෂණයෙන් යුතු Finite Element Analysis Stmulation මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමටත් මා යෝජනා කරනවා. රබර් නැවත වගාව සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කරමින් රබර් වගා අංශය සඳහා ආයෝජනය අඛණ්ඩව කරගෙන යනවා.

පොල් කර්මාන්තය

පොල් වගාකරුවන්ගේ ඉහල ඉල්ලුමට සරිලන සේ ජානමය වශයෙන් ප්‍රශස්ත ඉහළ ඵලදාවක් සහිත රෝපණ ද්‍රව්‍ය නිපදවීමට මා පොල් පර්යේෂණ ආයතනය දිරිමත් කරනවා. පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශය නවීකරණය කිරීමටත් පොල් වගාවේ කෘමි හානි පැතිරුණු මූලික ප්‍රදේශයන් සවිස්තරාත්මකව සිතියම් ගත කිරීමටත් පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත රුපියල් මිලියන 75 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රජය දේශීය පොල් කර්මාන්තය සඳහා ප්‍රමාණවත් රැකවරණයක් ලබා දී තිබුණ ද එහි සම්පූර්ණ ඵල නෙළා ගැනීමට අසමත් වී තිබෙනවා. ගරු කථානායකතුමනි, අගය එකතු කිරීම මගින් රටෙහි පොල් සැකසුම් කර්මාන්තය දියුණු කිරීමේ විශාල ඉඩකඩක් පවතිනවා. ඒ සඳහා අගය එකතු කර අපනයනය කිරීමට අමුද්‍රව්‍ය ලෙස යොදාගත හැකි පොල්තෙල් නිෂ්පාදන ආනයනයට අවසර දීමට මා යෝජනා කරනවා. එම ව්‍යාපාරයන්, තම නිෂ්පාදන අපනයනය කරන විට ඔවුන් විසින් අදාළ අමුද්‍රව්‍ය ආනයනයේ දී ගෙවනු ලබන බදු ප්‍රතිපූර්ණය කිරීමට සුදුසුකම් ලබනවා.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කළමනාකරණය යටතේ අක්කර 23,400 ක් පමණ පවතින අතර ඒවා ඌන උපයෝජන තත්ත්වයේ පවතිනවා. ඒවායේ සාමාන්‍ය ඵලදාව ජාතික සාමාන්‍ය ඵලදා මට්ටමට වඩා පහළ මට්ටමක පැවතීම සහ එමගින් දිගින් දිගටම සිදු වී ඇති අලාභයන්ගේ විශාලත්වය හේතුවෙන් රජය මත අධික වියදමක් පැටවී තිබෙනවා. එහෙයින්, එම ඉඩම් සහ අනෙකුත් වත්කම් ගොවි සමූපාකාර සහ තරුණ සංවිධාන හරහා ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර ඒ සඳහා පහසුකම් සැලසීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු 2017 සිට ප්‍රතිව්‍යුහගත කරනවා. මෙම තීරණය හේතුවෙන් කිසිදු රැකියා අහිමිවීමක් සිදු නොවන බවට නැවතත් මා තහවුරු කරන අතර මෙමගින් බදු ආදායමින් රුපියල් බිලියන 29 ක ඉතිරියක් අපේක්ෂා කරනවා.

වර්තමානයේ ප්‍රධාන වෙ‍ෙළඳ ද්‍රව්‍ය වන තේ, රබර් සහ පොල් සාමාන්‍ය වෙන්දේසි මගින් අලෙවි කරනු ලබන අතර ඒ සඳහා විශාල කාලයක් ගතවන අතරම මෙහෙයවීමේ ප්‍රායෝගික ගැටළු ද පවතිනවා. එබැවින් ස්වයංක්‍රීය වෙළඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් (Commodity Exchange) දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එයට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය විසින්ද ඔවුන්ගේ සෙස් අරමුදල් යෙදවීම මගින් මේ සඳහා දායක වනවා ඇත.

සීනි කර්මාන්තය

ගරු කථානායකතුමනි, සීනි ආනයනය සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 - 400 ක් පමණ වැය කරනු ලබනවා. කෙසේ වෙතත්, රට තුළ සීනි නිෂ්පාදනය කිරීමේ ඉහළ හැකියාවක් පවතින බවත් එමගින් විදේශ විනිමය පිටතට ගලායාම නැවත්වීම පමණක් නොව රටතුළ රැකියා උත්පාදනයක් සිදුකිරීමට ද හැකිවන බවත් කියන්න මා කැමතියි. එබැවින් දේශීය ගොවීන් උක් වගාව සඳහා දිරිමත් කිරීම සඳහා කර්මාන්තශාලාවේ නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් මත, උක් දඬු මෙට්‍රික් ටොන් 1 ක් සඳහා රුපියල් 5,000 ක අවම මිලක් 2017 ජනවාරි 1 දින සිට හඳුන්වා දීමට මා යෝජනා කරනවා. මොණරාගල, මඩකලපුව, කිලිනොච්චිය සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිනකට උක් දඬු මෙට්‍රික් ටොන් 2,000 ක් ඇඹරිය හැකි සීනි කර්මාන්තශාලා පිහිටුවීම සඳහා ආයෝජනය කරන ලෙස දේශීය මෙන්ම විදේශීය අයෝජකයන්ට අප ආරාධනා කරනවා. ඒ සඳහා බාහිර ගොවීන් යටතේ උක් වගා කිරීමට අප රජයේ ඉඩම් අදාළ කර්මාන්තශාලා වෙත ලබා දෙනවා. එසේම, එම ආයෝජන සඳහා සියයට 100 ක ප්‍රාග්ධන දීමනාවක් (Capital Allowance) ලබා දෙනු ඇති. එමෙන්ම, වටිනාකම එකතු කිරීම පිණිස අමු සීනි කැට (Sugar Crystal) ආනයනය දිරිමත් කරනු ඇත.

කෘමි උවදුරු හා වන අලි හේතුවෙන් සිදුවන වගා හානි සහ මිල උච්ඡාවචනයන්ගෙන් සිදු වන අහිතකර බලපෑම්වලින් උක් ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික සීනිමත සියයට 2 ක හා ආනයනික එතනෝල් මත සියයට 5 ක සෙස් බද්දක් පැනවීමෙන් ලැබෙන ආදායම මගින් සීනි සඳහා ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමටත් මා යෝජනා කරනවා.

කිරි කර්මාන්තය

ගරු කථානායකතුමනි, දේශීය කිරි නිෂ්පාදනය තවමත් මුළුමනින්ම දේශීය ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. 2015 වර්ෂයේ දී කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 375 ක් දක්වා වර්ධනය වුවද අප තවමත් දළ වශයෙන් වර්ෂයකට කිරිපිටි මෙට්‍රික් ටොන් 81,000 ක් පමණ ආනයනය කරනවා. ඒ අනුව රටෙහි දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඉහළ කිරි නිෂ්පාදනයක් සහිත උසස් තත්ත්වයේ කිරි ගවයින් 15,000 ක් ආනයනය කිරීමට අප විදේශ රටවල් සමඟ සාකච්ඡා කර එකඟ වී තිබෙනවා. එයින් අවම වශයෙන් කිරි ගවයින් 10 ක් බැගින් කිරි ගොවීන් වෙත ලබා දෙන අතර එම එක් ගොවියෙකු අවම වශයෙන් සමෘද්ධිලාභීන් දෙදෙනෙකුට තම ගොවිපොළෙහි රැකියාවන් ලබා දිය යුතු වනවා. කිරි ගවයින් මිල දී ගැනීම සඳහා ගොවීන්ට දැරිය හැකි මුදල හා ආනයනික මිල අතර පරතරය රජය විසින් මූල්‍යනය කරනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. විශේෂයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ඌන උපයෝගී හා භාවිතයට නොගත් ඉඩම්වල රාජ්‍ය හා පෞද්ගලික සහභාගීත්වයෙන් දේශීය කිරි ගොවි කලාප පිහිටුවීම දිරිමත් කරනවා. එමගින් එම ප්‍රදේශයන්හි අදාළ ක්ෂේත්‍රයේ කර්මාන්ත ඇති වනවා.

පසුගිය වර්ෂයේ ග්‍රෑම් 400 ක දේශීය කිරි පැකැට්ටුවක් රුපියල් 295 කට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් අප විසින් හඳුන්වා දෙනු ලැබුවා. මෙය කිරි පිටි සඳහා ජාත්‍යන්තර මිල ඉහළ ගිය ද දේශීය කිරි නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ධීවර කර්මාන්තය

ගරු කථානායකතුමනි, 2015 දී අපගේ ධීවර හා ධීවර ආශ්‍රිත අපනයනයන් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 163 ක පමණ මට්ටමක පැවතුණා. ඉදිරි වසර තුනේ සිට පහක කාලය තුළ අවම වශයෙන් පස් ගුණයකින් අපනයන ආදායම් ඉහළ නැංවීමේ සැලකිය යුතු හැකියාවක් පවතින අතර එය කකුළුවන්, පොකිරිස්සන්, බෙල්ලන් සහ ඉස්සන් අගය එකතු කිරීමෙන් තොරව අපනයනයෙන් පමණක් නොව මත්ස්‍ය සැකසුම් සහ ටින් කිරීම වැනි අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම මගින් සිදු කළ හැකි වෙනවා. ඒ සඳහා හම්බන්තොට, මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජලජීවී වගා කර්මාන්ත කලාප පිහිටුවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. බහුදින ධීවර යාත්‍රාවල මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ අරමුණින් හා පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම දිරිමත් කරනවා. තවදුරටත් ධීවර කර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා මෙට්‍රික් ටොන් 1,000 ක ධාරිතාවයෙන් යුත් ගබඩා පහසුකම් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සහභාගීත්වයෙන් දික්ඕවිට ධීවර වරායේ පිහිටුවීම සඳහා දිරිමත් කරනවා. ඒ අතරම, ධීවර වරායන්හි යටිතල පහසුකම් මෙන්ම නැංගුරම් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,350 ක් දැනටමත් වෙන් කොට තිබෙනවා. එසේම ගන්දර ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

හම්බන්තොට, මඩකලපුව සහ යාපනය ඇතුළත් රටෙහි වෙරළාසන්න දිස්ත්‍රික්ක දහයක කලපු හා වෙරළාසන්න ධීවර නිවාස සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

මිරිදිය ධීවර කර්මාන්තයේ සංවර්ධනය මගින්, පෝෂණ ඌනතා අවම කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම, කර්මාන්ත වැඩි දියුණු කිරීම වැනි බහුවිධ ප්‍රයෝජන ලබා දෙනු ලබනවා. එබැවින් 'වැවක් සහිත ගමක්Ó වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100 ක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, වැඩි වශයෙන් විවිධ වර්ගයේ මත්ස්‍ය පැටවුන් සැපයීම තුළින් කර්මාන්තය දියුණු කිරීමට පහසුකම් සැපයිය හැකි ආකාරයට ජාතික ජල ජීවී සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ඔවුන් දිරිමත් කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම, ධීවර කර්මාන්තය ඉහළ මට්ටමින් වාණිජකරණයට ලක්කිරීමට සම්බන්ධ පර්යේෂණ කටයුතු වැඩි කිරීම සඳහා ජාතික ජලජීවී පර්යේෂණ ආයතනය දිරිමත් කරවනවා.

කුකුළු කර්මාන්තය

ගරු කථානායකතුමනි, බඩ ඉරිඟු කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයි. අපගේ මුළු වාර්ෂික බඩ ඉරි'ගු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 225,000, ක් වන අතර එය දේශීය වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 400,000 සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව මා පිළිගන්නවා. ඒ නිසා සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තය සඳහා දේශීය බඩ ඉරිඟු වෙළඳපල තුළ හිඟවන අවස්ථාවලදී එසේ අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සත්ව ආහාර නිෂ්පාදකයින්ට සෙස් බද්දක් මත ආනයනය කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. මෙම සෙස් බදු කුකුල් මස් අපනයනය කරනු ලබන අවස්ථාවේදී අපනයනය කරනු ලබන කුකුල් මස් ප්‍රමාණයට සාපේක්ෂව අපනයන බදු ප්‍රතිදානයක් ලෙස ලබා දෙනවා.

කෙටි කාලීන වශයෙන් වෙළඳපල හිඟය පියවා ගැනීම සඳහා ආනයන යොදා ගත්තද එය දීර්ඝ කාලීන පිළියමක් වන්නේ නැහැ. ඒ අනුව, අවම වශයෙන් බාහිර ගොවීන් 10,000 ක් ඇතුලත් වන පරිදි අක්කර 20,000 ක් වගා කිරීමේ වැඩසටහනෙහි ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. මෙහි දී ආයෝජකයින් විසින් ඵලදායීතාවය ඉහළ නැංවීමට ව්‍යාප්ති සේවා ලබාදීම අවශ්‍ය වන අතර රජය විසින් ඔවුන්ගේ ණය සඳහා වන පොලී වියදමෙන් සියයට 50 ක් දරනු ලබනවා. ඒ සඳහා රුපියල් මිලියන 350 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගුණාත්මක තත්ත්වයෙන් යුතු කුකුළු නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි මාස 48 කින් පියවෙන ණය ක්‍රමයකට නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් 15,000 ක් සඳහා අධිශීතකරණ ලබා දෙන ලෙස මා කුකුළු නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා වන ණය පොලී වියදම මුළුමනින්ම රජය විසින් දරනු ලබන

අතර ඒ සඳහා රුපියල් මිලියන 75 ක් 2017 වසර සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා.

කුකුළු පාලන කර්මාන්තයේ නිරතවන්නන් සමග කරන ලද සාකච්ඡාවල දී හෙළි වූයේ කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල මෙම කර්මාන්තය වෙනුවෙන් තවදුරටත් ආයෝජනය කිරීමට ප්‍රධාන බාධකය වී ඇති බවයි. ඒ අනුව, දැනට පවතින උපරිම සිල්ලර මිල ලිහිල් කරන අතර නිෂ්පාදකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ සම්පූර්ණ කුකුළෙකුගේ මිල කිලෝ 1 ක් සඳහා රුපියල් 420 කට අඩු මට්ටමක පවත්වාගෙන යන ලෙසටයි. එමෙන්ම මුළු වෙ‍ෙළඳපළ කුකුළු මස් සැපයුමෙන් සියයට 40 ක් සම්පුර්ණ කුකුලන් ලෙස වෙළඳපළට සැපයිය යුතු වෙනවා. කෙසේ වුවද, ආසාධාරණ ලෙස වෙළඳුන් මිල ඉහළ නංවන්නේ නම් වෙළඳපල මිල පාලනය කිරීම සඳහා කුකුළු මස් ආනයනය කිරීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ.

තවද, නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ කුකුළු පැටවුන් ජනන මධ්‍යස්ථාන ඇති කිරීමට අපගේ රජය විසින් පෞද්ගලික අංශය දිරි ගන්වනවා. ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

මල් වගාව හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය

ගරු කථානායකතුමනි, වර්ධනය වන මල් වගාව දිරිගැන්වීම සඳහා පැළ තවාන් 2,000 ක් ඇති කිරීම වෙනුවෙන් රජය විසින් සියයට 50 ක ණය පොලී සහනයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඊට අමතරව, සියයට 50 ක පොලී සහනයක් ලැබෙන නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් ලක්ෂ 5 ක් දක්වා වූ ණය ලබාදීම තුළින් ද එයට සහයෝගය ලබා දෙනු ඇත. මෙම ණය යෝජනා ක්‍රමය විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ද ව්‍යාප්ත කරනවා. එමගින් විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සමඟ බාහිර වගාකරුවන්ද සම්බන්ධ වීම මගින් වඩා වැඩි විභවතාවයකින් මෙම කර්මාන්තය ව්‍යාප්ත කිරීමට හැකි වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අතුරු බෝග වගාව දිරිමත් කිරීම

රබර්, පොල් වගාවන් සමඟ කොකෝවා, කෝපි, පුවක් සහ ගම්මිරිස් වැනි බෝග අතුරු බෝග ලෙස වගා කිරීම දිරි ගන්වන අතර මෙය කුඩා වතු හිමියන්ගේ ඉඩම් උපරිම ඵලදායී ලෙස යොදා ගනිමින් ආදායම වැඩි කිරීමට හේතුවනු ඇත.

වාරිමාර්ග සහ මහවැලි සංවර්ධනය

ගරු කථානායකතුමනි, මොරගහකන්ද, උමා ඔය හා යාන් ඔය වැනි උතුරු, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ගොවි පවුල්වලට ප්‍රතිලාභ ලැබෙන බහු කාර්ය වාරිමාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපගේ රජය කටයුතු කරනවා. මෙම ව්‍යාපෘති මගින් ගොවිතැන්වලට දැඩි අවශ්‍යතාවයක් වන ජල සැපයුමට අමතරව විදුලිබල නිෂ්පාදනය මෙන්ම පානීය ජල සැපයුම ද සිදු කරනු ලබනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක

කිරීම සඳහා අප විසින් 2017 වර්ෂය සඳහා දැනටමත් රුපියල් මිලියන 60,045 ක් වෙන් කර තිබෙනවා.

එසේම, මෙම ප්‍රතිපාදනය තුළ උමා ඔය ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රුපියල් මිලියන 13,000 ක් ඇතුළත් වෙනවා. ගරු කථානායකතුමනි, තල්පිටිගල ජලාශය ඉදිකිරීම ඇතුළු උමා ඔය පහළ කොටසේ සංවර්ධන කටයුතු සඳහා දැනටමත් රුපියල් මිලියන 2,900 ක් වෙන් කර තිබෙනවා.

යාන් ඔය ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 2,400 ක් අප විසින් වෙන් කර තිබෙනවා. කෙසේ වුවද, මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම, පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා තවත් රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,020 ක් වෙන් කර තිබෙනවා. විශාල වේලි 33 ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම තවත් විශාල වේලි 80 කට මූලික පහසුකම් සැපයෙනවා. ජල මාපක සහ කෘෂි කාලගුණික මධ්‍යස්ථාන 50 ක් ඇති කිරීම සහ සංවර්ධනය කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙනවා.

පසුගිය වසරේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඵලදායීතා සංවර්ධන සහ වාරි පද්ධති කාර්යක්ෂමතා කළමනාකරණ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළා. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන එය තව දුරටත් පුළුල් කිරීමට 2017 වර්ෂය සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

මිනිපේ වම් ඉවුරු පුනරුත්ථාපනය සඳහා ද අප සහයෝගය ලබා දෙනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සහ ගංවතුර පාලනය සඳහා කිතුල්වැව සහ රූගම්වැව ඒකාබද්ධ කර විශාල තනි ජලාශයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. බහුකාර්ය යෝජනා ක්‍රමයක් වන කුඹුක්කන්ඔය ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි තාරාපුරම් වැව ද ප්‍රතිසංස්කරණය කරනවා. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

එසේම, අලුතින් වගා කළ හැකි ඉඩම් අක්කර 1,675 ක් සඳහා වාරි ජලය සැපයීමට සහ දැනටමත් වගා කරන ඉඩම් අක්කර 11,440 ක් සඳහා අඛණ්ඩව ජල සැපයුම තහවුරු කිරීමට හැඩ ඔය ජලාශය සහ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් ලාහුගල, පොතුවිල්, පානම සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල ජනතාවට පානීය නල ජලය බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 20 ක් වන අතර එය විදේශ අරමුදල් මගින් මූල්‍යනය කරනු ලබනවා.

ගරු කථානායකතුමනි, වර්ධනය වන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් භූගත ජලය අපවිත්‍ර විය හැකි තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ අනුව, තෝරාගත් දිස්ත්‍රික්කවල භූගත ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීමට නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කරන අතර එය පොළොන්නරුව හා හම්බන්තොට ඇතුළුව දිස්ත්‍රික්ක 8 ක් ආවරණය වන ලෙස ව්‍යාප්ත කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

අධ්‍යාපන අංශය

ගරු කථානායකතුමනි, අපගේ සංවර්ධන ක්‍රියාදාමයේ කේන්ද්‍රය වන්නේ අධ්‍යාපනයයි. අප රජය බලයට පත්වූ දා සිට අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම තහවුරු කරමින් අපගේ පොරොන්දු ඉටු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, පසුගිය රජයේ අවිධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් පසුගිය වසරේ දී උග්‍ර රාජ්‍ය මූල්‍ය අර්බුදයන්ට ලක්වුවද 2014 වසරේ දී මෙන් තුන් ගුණයක ප්‍රතිපාදන අප 2016 වර්ෂයේ දී වෙන් කරනු ලැබුවා. එහෙත්, 2016 වර්ෂයේ තුන්වන කාර්තුව අවසන් වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාවිතා කිරීමට හැකි වී ඇත්තේ රුපියල් මිලියන 38,850 ක් පමණයි. එම නිසා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2017 වසර සඳහා රුපියල් මිලියන 90,000 ක පමණ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. 2017 වසර සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන 2016 වසරට වඩා අඩු බව මා පිළිගන්නා නමුත්, එය 2014 වසරට වඩා සියයට 70 කින් වැඩිවීමක්. තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 17,480 ක අතිරේක ප්‍රතිපාදනයක් ලබාදීමටත් මා යෝජනා කරනවා.

අධ්‍යාපනය සඳහා යෝජිත ආයෝජන මගින් දුර්වල යටිතල පහසුකම් ගැටලුව, ගුරු පුහුණුව, විෂය මාලා සංවර්ධනය සහ විශේෂයෙන් පාසල් හැරයාම මුළුමනින්ම නැති කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ, වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය පදනම් කරගත් උසස් අධ්‍යාපනය නොකඩවා කරගෙන යාමට විකල්පයන් ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පූර්ව ළමා විය අධ්‍යාපනයේ සිට ප්‍රාථමික සහ ද්විතියික පාසල් අධ්‍යාපනය මෙන්ම තෘතීයික අධ්‍යාපනය දක්වා වන සියලු අංශ වෙත අප අවධානය යොමු කර තිබෙනවා. මෙමගින් අපගේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ සහ කුසලතාවයන්ගෙන් හෙබි පුද්ගලයන් නිර්මාණය කිරීමට පෙළගස්වනු ලබනවා.

ජනප්‍රිය පාසල් යැයි කියාගන්නා පාසල්වලට ඇති ඉල්ලුම ඊට අදාළ සියලුම පාර්ශවකරුවන්ට ගැටලු නිර්මාණය කර තිබෙනවා. සියලු දෙනාටම සමාන අවස්ථාවන් ඇති කිරීම සඳහා සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය අප පිළිගන්නවා මෙන්ම ආරක්ෂා කරනවා. ප්‍රාථමික සහ ද්විතියික පාසල්වල මූලික පහසුකම් සහිත පන්ති කාමර, විද්‍යාගාර සහ පුස්තකාල ඉදිකිරීමට මින් පෙර නොවූ පරිදි රුපියල් මිලියන 21,000 ක් වෙන් කිරීමෙන්ම ඒ සඳහා වන අපගේ කැපවීම පැහැදිළි වෙනවා.

වසර 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා විද්‍යාගාර උපකරණ හා ලී බඩු ඇතුලත්ව පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

2017 වසර අවසානය වන විට දිවයිනේ පාසල් 1,000 ක් සඳහා මූලික පහසුකම් වන ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වන බව තහවුරු කිරීමේ අරමුණින් දැනටමත් රුපියල් මිලියන 3,000 ක් වෙන් කර ඇති අතර 2016 වර්ෂය තුළ පාසල් 450 ක මෙම වැඩසටහන අවසන් කර තිබෙනවා. තවදුරටත් මෙම වැඩසටහන කඩිනම් කිරීම සඳහා 2017 වසර සඳහා රුපියල් මිලියන 2,000 ක අතිරේක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපගේ ශිෂ්‍ය ප්‍රජාව සඳහා පහසුවෙන් දැනුම ලබා ගත හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කළ යුතු වෙනවා. ඔවුන්ට උසස් තත්ත්වයේ පන්ති කාමර ලබා දිය යුතු වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500 ක් දැනටමත් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා 2017 වර්ෂයේ උසස් පෙළ පන්තිවලට ඇතුලත් වන සිසුන් 175,000 කට සහ උසස් පෙළ ගුරුවරුන් 28,000 කට නොමිලයේ පරිගණක ලබා දීමට අප විසින් කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා සබඳතා ලබාදෙමින් සහයෝගය දක්වන ලෙස දුරකතන සේවා සපයන්නන්ට මා ආරධනා කර සිටිනවා.

පාසල් 3,500 ක තොරතුරු තාක්ෂණ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක් පාසලකට උපරිම වශයෙන් පරිගණක 50 ක් බැගින් කුලී පදනමට ලබා ගැනීමට යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය ධාරාවන්ට පවත්නා විෂයයන්ට අමතරව සත්කාර සේවා කළමනාකරණය, මෝස්තර නිර්මාණය, ඩිජිටල් තාක්ෂණය, සැපයීම් සේවා කළමනාකරණය සහ මූල්‍ය සාක්ෂරතාව වැනි විෂයයන්ද හඳුන්වා දෙනු ලබනවා.

ගරු කථානායකතුමනි, ගුරුවරුන් සඳහා අඛණ්ඩව ගුරු පුහුණුව ලබාදීමේ සංකල්පය පසුගිය වසරේ අප විසින් හඳුන්වා දෙනු ලැබුවා. ජාතික අධ්‍යාපන ආයතනය විසින් අඛණ්ඩ ගුරු පුහුණු වැඩසටහනක් සකස් කරමින් තිබෙන බව මා සතුටින් සඳහන් කරන අතර මධ්‍යම රජයේ සහ පළාත්බද පාසල්වල විදුහල්පතිවරුන්ගේ මෙන්ම අධ්‍යාපන පරිපාලකයින්ගේ කළමනාකරණ හැකියාවන් ඉහළ නැංවීමට ද ඉලක්ක කරනවා. මෙම කාර්යයන් සඳහා දැනටමත් රුපියල් මිලියන 700 ක් වෙන් කර තිබෙනවා.

අපගේ රජයේ සියලු අංශ ඇතුලත් සංවර්ධන ක්‍රමෝපායන්ට අනුව දැනටමත් උසස් තත්ත්වයට පත් කර ඇති විශේෂයෙන්ම කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවල වතු පාසල් 25 ට අමතරව තවත් වතු පාසල් 25 ක තත්ත්වය උසස් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ක්‍රීඩා, කලා සහ නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට විවිධ සුවිශේෂී හැකියාවන් දායාද කරගත් සිසු දරු දැරියන් විශාල ප්‍රමාණයක් අප රටේ සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන උපකාර කළ යුතු වෙනවා. මෙවැනි හැකියාවන් දායාද කරගත් සිසුන් 1,000 කට සහාය දැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 'සුභගÓ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරනු ලබනවා. මෙවැනි හැකියාවන් සහිත, හය වන වසරින් ඉහළ ශිෂ්‍යයන් සඳහා එක් ශිෂ්‍යයෙකුට මසකට රු. 2,500 බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන අතර මේ සඳහා රුපියල් මිලියන 30 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

සිසුන් 150,000 කට පමණ ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය සලසන ජාත්‍යන්තර පාසල් සහ ඒවායේ ශාඛා ඇතූළුව පෞද්ගලික පාසල් 100 ක් පමණ රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙම පාසල් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර මෙම පාසල් බදු ගෙවීමකින් තොරව ක්‍රියාත්මක වෙනවා. එමගින් රජයට රුපියල් බිලියන 10 කට වඩා මූල්‍ය බලපෑමක් ඇති වෙනවා. මෙම පාසල්වල ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය, භෞතික යටිතල පහසුකම් සහ විෂය මාලාවල විශාල වෙනස්කම් පවතිනවා. රජයට මෙම පාසල්වල ක්‍රියාකාරිත්වයට අත පෙවීමට අවශ්‍ය නැති වුවද සියලුම සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට ඇති හිමිකම තහවුරු කිරීමට අපට වගකීමක් තිබෙනවා. ඒ අනුව, එවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන ප්‍රතීතනකරණ, නියාමන, අධීක්ෂණ සහ තත්ත්ව සහතික කිරීමේ අධිකාරියක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීමට මා යෝජනා කරනවා.

රජයෙන් වැටුප් ලබන අර්ධ රාජ්‍ය ගණයට ගැනෙන පාසල්වල ගුරු භවතුන් සඳහා අග්‍රහාර රක්ෂණ ක්‍රමය, දේපළ ණය හා ආපදා ණය පහසුකම ලබාදීමට මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රාජ්‍ය සේවකයන්ට උසස් අධ්‍යාපන අවස්ථා

ගරු කථානායකතුමනි,

ශිෂ්‍ය ප්‍රජාව තුළ විශේෂ අවධානයට යොමු විය යුතු ශිෂ්‍ය කොට්ඨාසයක් වන්නේ කථන ආබාධිත, වර්ධනයේ දුර්වලතා සහිත සහ වෙනස් හැකියාවන්ගෙන් යුත් විශේෂ ඉගෙනුම් අවශ්‍යතා සහිත දරුවන් ය. මෙවැනි විශේෂ ඉගෙනුම් අවශ්‍යතා ඇති දරු දැරියන් වෙනුවෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන වැඩි වෙමින් පැවතුණා. එසේ වුව ද, ශ්‍රවණ සහ දෘශ්‍ය සහ දෘශ්‍ය ආධාරක සැපයීම මෙන්ම විශේෂ අධ්‍යාපන වැඩසටහන් සහ අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වෙනවා. එසේම විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන් සඳහා ගෙවනු ලබන දෛනික දීමනාව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා වැඩි කිරීමට ද මා යෝජනා කරනවා. ඒ අනුව විශේෂ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සහ විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන්ගේ දෛනික දීමනාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 175ක් ද වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ශිෂ්‍ය ප්‍රජාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද දිරි ගැන්වීම සඳහා 2017 ජනවාරි 08 වන දින සෑම දරුවෙකු සඳහාම ඉතිරි කිරීමේ ගිණුමක් ආයතනික හා සමාජීය වගකීමක් ලෙස සලකා විවෘත කර දෙන ලෙස සියළු ඉතිරි කිරීමේ සහ වාණිජ බැංකු වෙතින් මා ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, අප රජය, අපගේ දරුවන්ට උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමට කැප වූ රජයක්. ඒ අනුව, අවුරුදු 5 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5 ක් වූ පාසල් දරුවන් සඳහා සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණ ආවරණයක් ලැබෙන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. මෙය විප්ලවීය ආරම්භයක් ලෙස සලකනවා. මෙම රක්ෂණ ආවරණය මගින් බාහිර හා නේවාසික ප්‍රතිකාර ආවරණය කරන අතර බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000 ක් හා රෝහල්ගතවීමක දී රුපියල් 100,000 කට යටත්ව ආවරණය සලසනු ඇත. රක්ෂණ වාරිකය රජය විසින් දරනු ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 2,700 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, 2016 හා සසඳන විට 2017 වර්ෂයේ දී අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල අඩු බවට බොහෝ සංවාද හා විවේචන තිබෙන බව මා දන්නවා. අධ්‍යාපන

ක්ෂේත්‍රය සඳහා තව දුරටත් ආයෝජන අවශ්‍ය වුවහොත් එම අවශ්‍යතා එම වර්ෂය තුළ වෙන් කිරීමට මා මෙම ගරු සභාවට නිර්දේශ කරනවා.

උසස් අධ්‍යාපනය

ගරු කථානායකතුමනි, වර්ෂ 1995 දී 9,245 ක් වූ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 2015 වර්ෂය වන විට 26,000 ක් දක්වා වැඩි වී තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දළ අනුපාතය අනෙකුත් සමාන රටවල් හා සැසඳීමේ දී සියයට 17 කට වඩා අඩු අගයක් ගන්නවා. ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා මෑතකදී මෙම සභාව වෙත ඉදිරිපත් කරන ලද අපගේ ආර්ථිකය පිළිබද ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට අපගේ එක් ඉලක්කයක් වන්නේ අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන අවස්ථා වැඩි කරලීමයි. 2015 වර්ෂයේ දී 26,000 ක් වූ විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කරගනු ලබන සිසුන් සංඛ්‍යාව දෙගුණයක් කරමින් 2020 දී සිසුන් 50,000 දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි, අපගේ අධ්‍යාපන ක්‍රමය සහ ශ්‍රම වෙළඳපොළ අතර නිසි සම්බන්ධතාවයක් නොමැති බව පසුගිය දිනවලදී අප විසින් ශ්‍රම වෙළඳපොළ සමඟ කරන ලද සාකච්ඡාවලදී හෙළි වුණා. ශ්‍රම වෙළඳපොළ තුළ විශේෂයෙන් මූල්‍ය, තොරතුරු තාක්ෂණය, බැංකු, සංචාරක ක්ෂේත්‍රය වැනි විවිධ අංශවලට වෘත්තිකයින් සඳහා වැඩි ඉල්ලුමක් තිබෙනවා.

අපගේ ප්‍රතිසංස්කරණවල ඉලක්කය වන්නේ මූලිකව රටේ අනාගත පරපුර වන තරුණ තරුණියන්ට රැකියා වෙළඳපොළට ඇතුළුවීම සඳහා අවශ්‍ය කුසලතාවයන් ඉහළ නැංවීම හා රැකියා වෙලඳපොළ තුළ දැනටමත් පවතින කුසලතා නව මඟකට යොමු කරමින් ඉහළ නැංවීමයි. බැංකුකරණය, අවදානම් කළමනාකරණය, ව්‍යවහාරික සංඛ්‍යානය, සම සෞඛ්‍ය විද්‍යාව, රොබෝ විද්‍යාව සහ යන්ත්‍ර හා ජීවීන්ගේ සන්නිවේදන හා ස්වයංක්‍රීය පාලන ක්‍රම පිළිබද විද්‍යාව (Cybernetic) සත්කාර කළමනාකරණය වැනි විෂයයන් ඇතුළත් කොට උපාධි විෂය ධාරාවන් විවිධාංගීකරණය කිරීම සහ දැනට තිබෙන කලා උපාධි විෂය ධාරාවට ගණිතය, සංඛ්‍යානය හා තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් හඳුන්වා දීමට කටයුතු කරනවා. මේ වෙනුවෙන් දේශනශාලා, විද්‍යාගාර, හෝටල් සහ අනෙකුත් ආශ්‍රිත යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 13,318 ක මුදලක් දැනටමත් වෙන් කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගත හැකි සිසුන් සංඛ්‍යාව 160 සිට 300 දක්වා වැඩිකරලීමට හැකිවන පරිදි මහල් 10 කින් යුතු ගොඩනැගිල්ලක් කරාපිටියේ වෛද්‍ය පීඨය තුළ ඉදිකිරීමට කටයුතු කරනවා.2017 වර්ෂයේ දී මේ සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, රුහුණ, යාපනය හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි, අපගේ උපාධි අපේක්ෂකයින්ට ලෝකයේ අති දක්ෂයින් සමඟ තරඟ කිරීමේ හැකියාවක් පවතිනවා. මේ සම්බන්ධව එක්සත් රාජධානියේ පවත්වන ලද 2016 ෆෝර්මියුලා ශිෂ්‍ය තරඟයට (Formula student UK 2016) සහභාගී වී 'පළමු පන්තියේ හොඳම නවකයා', 'ෆෝර්මියුලා ශිෂ්‍ය ප්‍රදානයට කැපවීම' සහ 'හොඳම තනි රියදුරු' ලෙස විරුදාවලිලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ෂාර්ක් රේසිං කණ්ඩායමට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. එම කණ්ඩයමට අද දින මෙම සභාවට පැමිණෙන ලෙස ද ආරාධනා කර තිබෙනවා. එවැනි විවිධ වැඩසටහන් සඳහා අපගේ විශ්වවිද්‍යාල සිසුන් සහභාගී වී දක්ෂතා පෙන්වන බව මා දන්නවා. සිසුන්ට දක්ෂතා දියුණු කර ගැනීමට පෞද්ගලික අංශය ද එවැනි තරඟ සඳහා කරනු ලබන දායකත්වය මා අගය කරනවා.

ගරු කථානායකතුමනි, ඒ ආකාරයට අපගේ දක්ෂතම හා දීප්තිමත්ම ශිෂ්‍යයින්ගේ කුසලතා වර්ධනය වෙනුවෙන්, විශ්වවිද්‍යාල 17 ඉංජිනේරු, වෛද්‍ය, ජීව විද්‍යා, භෞතික විද්‍යා, ගණකාධිකරණය, මූල්‍ය සහ නීතිය යන පීඨවලින් බිහිවන හොඳම ශිෂ්‍යයින් තිදෙනෙකුට 'හාවර්ඩ්Ó, MIT ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (NUS) වැනි ලොව උසස්ම විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය දක්වා පාඨමාලා හැදෑරීමට හැකිවන සේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ශිෂ්‍යයින් ඉල්ලුම් කරන්නේ නම් මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය දේශීය විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම දක්වා ද යොදා ගත හැකි වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, කැලණිය විශ්වවිද්‍යාලය තුළ රාජ්‍ය අංශයේ පර්යේෂණ හා අධ්‍යයන පහසුකම් සැලසීමට සංවර්ධන අධ්‍යයන ඒකකයක් පිහිටුවීමට මා යෝජනා කරනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ක්‍රීඩා, කලා කටයුතු වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නියැළීම උනන්දු කරවීම සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ජාතික වෘත්තීය සමිති පෙරමුණ සමග මා කරන ලද සාකච්ඡාවලදී යෝජනා වූයේ විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වීමේ කාලය රාත්‍රී 8 දක්වා දීර්ඝ කරන ලෙසටයි. මෙමගින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකි ශිෂ්‍යයින් සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම සම්පත් උපරිම ලෙස භාවිතා කිරීමට ද හේතුවන බව මා විශ්වාස කරනවා.

විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා පරිපාලන අංශ සඳහා ශික්ෂණ ශාස්ත්‍රය (pedagogical) ඇතුළත් කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට මා යෝජනා කරන අතර ඒ සඳහා විදේශ විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව සහභාගීත්ව සම්බන්ධතා වර්ධනය කර ගැනීම ද ධෛර්යමත් කරනවා.

ගරු කථානායකතුමනි, මා ඉහතින් සඳහන් කළ පරිදි, 2015 වර්ෂය හා සසඳන විට 2020 වර්ෂය වන විට රජයේ විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට සියයකින් වැඩි කර දෙගුණයක් කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව, විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 50,000 දක්වා පමණක් වැඩි වනු ඇත. සංඛ්‍යා දත්ත අනුව හෙළිවන්නේ 150,000-200,000 අතර වන ශිෂ්‍ය ප්‍රජාවගෙන් 35,000 කට ආසන්න සිසුන් ප්‍රමාණයක් විවෘත විශ්වවිද්‍යාලය, විදේශ විශ්වවිද්‍යාල හෝ රජයේ නොවන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපන පහසුකම් ලබන බවයි. කෙසේ නමුත් අප දැනුමේ කේන්ද්‍රස්ථානයක් වීමේ උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන රජයක් ලෙස තරුණ

තරුණියන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමට තිබෙන අවස්ථා වැඩි කළ යුතුයි. මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. අප බලයට පැමිණි පසු අධ්‍යාපනය සඳහා සැලකිය යුතු අයුරින් අරමුදල් වැඩි කර තිබෙනවා. නමුත්, විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන පහසුකම් ඇති කරලීමට නම් අප ප්‍රායෝගික විය යුතුයි. රජයට පමණක් මෙම අභියෝගය ජයගත නොහැකියි. පෞද්ගලික අංශය ද ඒ සඳහා දායක විය යුතුයි. එබැවින් රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන රටතුළ ඇති කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා.

වගකිව යුතු රජයක් වශයෙන්, අවස්ථාවාදීව දේශපාලන මතවාද මුල් කරගෙන පෝස්ටර් රැගෙන හැසිරෙන කණ්ඩායම්වලට රටේ සංවර්ධනය නැවැත්වීමට ඉඩ ලබා දිය නොහැකියි. ඒ සමගම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය උපරිම මට්ටමින් පවත්වා ගැනීමද ඉතා වැදගත්. ඒ සඳහා ජාතික මට්ටමේ ස්වාධීන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ඉතා සුළු ලකුණු ප්‍රමාණයක් අහිමි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මග හැරුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක් සිටින බවට ඔබතුමාද එකඟ වනු ඇත. ඔවුන්ව නොසලකා හැරීමට අපට හැකියාවක් නැහැ. එමනිසා ඔවුන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනවා. මේ යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත කරන ලද රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතනවලින් වෙළඳපළ ඉල්ලුම සපුරාලීමට ඉහවල්වන විෂයන් හැදෑරීම සඳහා ඉසෙඩ් (Z) ලකුණු මත පදනම්ව, සිසුන් 15,000 ක් සඳහා එක් සිසුවෙකුට පාඨමාලා ගාස්තුවලින් රුපියල් අට ලක්ෂය (800,000) දක්වා වූ ණය මුදලක් ලබා දීමට යෝජනා කරන අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවන සේ 2017 වර්ෂය සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල විද්‍යාව, ගණිතය, තාක්ෂණය සහ ඉංග්‍රීසි වැනි විෂයන්වලට ඉහළ දක්ෂතා ඇති ගුරුවරුන්ගේ හිඟය පිරවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අනුමත කරන ලද රාජ්‍ය නොවන විද්‍යායතනවල ගණිතය, විද්‍යාව, තාක්ෂණය, සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාළව අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් සඳහා රුපියල් 500,000 ක සියයට 100 ක පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා සහභාගී වන සිසුන් ග්‍රාමීය පාසල්වල අවම වශයෙන් වසර 3 ක් සේවය කළ යුතුයි. ඔවුන් වසර 3 සම්පූර්ණවීමට පෙර එම පාසැල්වලින් ඉවත් වන්නේ නම් එසේ ඉවත්වන අවස්ථාවේදීම අදාළ ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවිමට ඔවුන්ට සිදුවනු ඇත. මෙම ණය යෝජනා ක්‍රමය මගින් ශිෂ්‍යයින් 5,000 කට ණය මුදල් ලබා දීම අපගේ මූලික ඉලක්කය වන අතර ඒ සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල වෙතින් සහතික කරනු ලබන පාඨමාලා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන හරහා පිරිනැමීමට ඇති හැකියාව පිළිබඳව අප විසින් සොයා බැලිය යුතු වෙනවා. එමගින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා වඩාත් උසස් මට්ටමේ පාඨමාලා බව සහතික කෙරෙනු ඇත.

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රජා විද්‍යාල (Community College) ඇති කිරීමට ඇති හැකියාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන බලධාරීන්ට සොයා බලන ලෙස මා ආරාධනා කරනවා.

ගරු කථානායකතුමනි, අපගේ රට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට ඇති උනන්දුව සහතික කරනු වස් 2017 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට කැමැති විදේශ සිසුන් සඳහා වසර 5 ක බහුවාර පිවිසුම් වීසා (Multiple Entry visa) ලබා දීමට මා යෝජනා කරනවා. මෙය අධ්‍යාපන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද රුකුලක් වනු ඇත.

ගරු කථානායකතුමනි, අපගේ විශ්වවිද්‍යාල තුළ නවක වදය හා සිසු අරගල සම්බන්ධ ගැටලු ඇති බව ඔබතුමා ද සැකයකින් තොරව පිළිගනු ඇත. එහෙයින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සාධාරණත්වය, ලිංගික හා ලිංගිකත්වය පදනම් වූ හිංසන හා නවක වදය පිටුදැකීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ඔබතුමා මෙන්ම මෙම සභාවත් දැනුවත් වී ඇති පරිදි රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඉතා අධික මුදලක් අප විසින් වියදම් කරන බව මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරනු ලබන බදු මුදලින් මෙම සිසුන්ගේ අධ්‍යාපනය සඳහා කෙතරම් මුදලක් වැය කරන්නේ ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට හැකිවන සේ විශ්වවිද්‍යාලයට පිවිසෙන අවස්ථාවේ දී තමා වෙනුවෙන් දරන වියදම ඇතුළත් වියදම් විස්තරයක් සෑම සිසුවෙකුටම ලබා දීමට මා යෝජනා කරනවා.

කුසලතා සංවර්ධනය

ගරු කථානායකතුමනි, විවිධ කර්මාන්තකරුවන් සම'ග කරන ලද සාකච්ඡාවලදී සංචාරක කර්මාන්තය සඳහා පුහුණු ශ්‍රමිකයින් 100,000 ක්, ඇගලුම් කර්මාන්තය සඳහා 60,000 ක්, ඉදිකිරීම් කර්මාන්තය සඳහා 400,000 ක් පමණ අවශ්‍ය වන බව මා වෙත දන්වා සිටියා. කුරුඳු කර්මාන්තය සඳහා ද එවැනි තත්ත්වයක් ඇති බව අනාවරණය වුණා. පසුගිය අයවැයෙන් ඒ සඳහා වෙනම පුහුණු ආයතනයක් පිහිටුවීමට යෝජනා කරන ලද්දේ ඒ හේතුවෙනි. යෝජිත නිදහස් වෙළඳ කලාපයන් සමඟ පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා. පැහැදිලිවම කුසලතා පරතරය (Skills Gap) පිළිබඳ තදබල ගැටළුවක් මතුවන අතර එයට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. එම නිසා ගරු කථානායකතුමනි, වෘත්තීය පුහුණු ප්‍රතිපත්ති රාමුවට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මා යෝජනා කරනවා. රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන සෑම අයෙකු වෙතම ශිෂ්‍යත්වයක් ලබා දීමට මා යෝජනා කරනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ සියලු දෙනා වෙත කිසිම වියදමකින් තොරව වෘත්තීය පුහුණු හැකියාවන් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ගරු කථානායකතුමනි, මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කර දීමට මා යෝජනා කරනවා.

වෙළඳපළ හා කර්මාන්ත ක්ෂේත්‍රය තුළ රැකියා අවශ්‍යතා ඉටුකළ හැකි වනසේ මැණික් කර්මාන්තය, මැණික් කැපීම, ආභරණ මෝස්තර නිර්මාණය, වටිනා ගල් වර්ග කැපීම හා ඔප දැමීම, බතික්, උණබම්බු ආශ්‍රිත හස්ත කර්මාන්ත ආදී විෂයයන් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ මට්ටමේ පාඨමාලාවලට ඇතුළත් වන ලෙස තම විෂය ධාරාවන් පුළුල් කරන ලෙස වෘත්තීය හා තාක්ෂණික ආයතන දිරිමත් කිරීමට මා කැමතියි.

ඒ සමඟම, ඇඟලුම්, සෞඛ්‍ය පහසුකම් ලබා දීම, ආගන්තුක සත්කාර සේවා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන පුහුණු කාලයෙන් පසු කර්මාන්ත ක්ෂේත්‍රය වෙත බඳවා ගැනීම සඳහා තරුණ තරුණියන් 10,000 ක් පුහුණු කිරීම සඳහා මා පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. පෞද්ගලික අංශයට සහාය වීම සඳහා රජය විසින් සෑම පුහුණුකරුවෙකුට මාස 3 ක කාලයක් සඳහා රුපියල් 10,000 ක් බැගින් වන මාසික දීමනාවක් ලබා දෙමින් මේ සඳහා පෞද්ගලික අංශයට සහාය වනු ඇත. මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදන ලබා දීමට මා යෝජනා කරනවා.

මාතර ජර්මානු තාක්ෂණික පුහුණු පාසල සහ හෝටල් පුහුණු පාසල වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, රටේ සෑම නිවාස හතරකටම එක් නිවසක පරිගණකයක් ඇති බැවින් නිවසේ සිටම පුහුණු පාඨමාලාවන් හැදෑරීමට තොරතුරු තාක්ෂණය යොදා ගත හැකියි. එබැවින් 'ඉ' අධ්‍යාපන (e - lerning) සම්පත් මධ්‍යස්ථානයක් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පිහිටුවීමට මා යෝජනා කරනවා. මේ සඳහා වසර දෙකක කාලයක් තුළ රුපියල් මිලියන 250 ක් වැය කරනවා. රුපියල් මිලියන 125 ක් 2017 දී වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙම මධ්‍යස්ථානය පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව 'ඉ' පුහුණු විෂයධාරාව නිර්මාණය කරනු ඇත. මෙම පුහුණු වැඩසටහන් පිළිගත හැකි ප්‍රමිති සහතිකයක් ලැබෙන පරිදි ක්‍රියාත්මක කරනු ඇති අතර පාඨමාලාව අවසන් කළ පසු ඒ හා සමාන මට්ටමේ ඕනෑම පුහුණු ආයතනයක් ලබා දෙන තරම් ඉහළ මට්ටමේ සහතිකයක් ලබා දෙනු ඇත.

සෞඛ්‍යය

ගරු කථානායකතුමනි, සම්පත් හිඟ තත්ත්වයක් යටතේ වුවද, අපගේ රටට හොඳින් ක්‍රියාත්මක වීමට හැකි වන මට්ටමේ ඉහළ සෞඛ්‍ය සේවාවක්, බොහෝ විට ඉහළ ආදායම් මට්ටමක් පවතින අනෙකුත් රටවල ප්‍රධාන සෞඛ්‍ය දර්ශකවල මට්ටමට වඩා ඉහළ තත්ත්වයක, පවත්වා ගැනීම පිළිබදව සෞඛ්‍ය සේවාවේ නියුතු පුද්ගලයින්ගේ සේවය මා අගය කිරීමට කැමැතියි. ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මැලේරියා සහ බරවා රෝගය සහමුලින්ම පිටුදැකීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධාන සහතිකය ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. මෙය පසුගිය වර්ෂ ගණනාවක් තුළ සෞඛ්‍ය සේවාවේ නිරත පුද්ගලයින් විසින් පෙන්නුම් කරන ලද ඉහළ වෘත්තීයමයභාවය සහ කැපවීම පිළිබිඹු වන හොඳම සාක්ෂියක්.

පසුගිය මහ මැතිවරණයේ දී හිඟයකින් තොරව සාධාරණ මිලකට ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දීමට වූ පොරොන්දුව ඉටු කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත හඳුන්වා දීමට හැකිවූ බව මෙහි දී සඳහන් කිරීමට කැමතියි. මෙමගින් මේ වන විට ඖෂධ වර්ග 48 ක මිල ගණන් සියයට 40 කින් අඩු කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ අතරම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් කිහිපයකට වැට් බදු සීමා කිරීම නිසා අපට අහිමි වන ආදායම රුපියල් මිලියන 17,000 ක් පමණ වෙනවා.

ගරු කථානායකතුමනි, මේ තමයි වගකිව යුතු රජයක් කටයුතු කරන ආකාරය, අප අනවශ්‍ය ලෙස මහජනතාව මත බර පටවන රජයක් නොවේ. ඉන් අපගේ රජය 'කියන දේ කරන, කරන දේ කියන' රජයක් බව තහවුරු වෙනවා.

ගරු කථානායකතුමනි, රටේ මුළු මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයකට හේතුවන අපේ ප්‍රජා විද්‍යාත්මක වසංගත රෝගවල සංක්‍රමණීය තත්ත්වයන් මෙන්ම බෝ නොවන රෝග ඉහළ යාම අපට නව අභියෝග රැසක් ඇති කරනවා. මෙම නව අභියෝගවලට ගැළපෙන පරිදි, අනිවාර්යයෙන්ම අපගේ සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදයන් නවතාවයකින් යුක්තව ශක්තිමත් කළ යුතු වෙනවා. එබැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයට උපදෙස් ලබා දීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට මා යෝජනා කරනවා.

මා සඳහන් කළ ආකාරයට අපගේ රටේ සෑහෙන පිරිසක් හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මෙය සෞඛ්‍ය ගැටලුවක් පමණක්ම නොව මේ වන විට සමාජ ගැටලුවක් බවට ද පත්ව තිබෙනවා. ගරු කථානායකතුමනි, දැනටමත් හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝග හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 2,225 ක ප්‍රතිපාදන වෙන් කර දී ඇති අතර තවත් රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන 2017 වර්ෂය තුළ වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, 2016 වර්ෂය තුළ දී බාහිර රෝගී වාට්ටු, හදිසි අනතුරු වාට්ටු, ශල්‍යාගාර, විද්‍යාගාර සංකීර්ණ සහ වෛද්‍ය උපකරණ වැනි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා රුපියල් මිලියන 23,147 ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. 2017 වර්ෂයේදී ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් දැනටමත් රුපියල් මිලියන 25,200 ක් වෙන් කර තිබෙනවා. තෝරා ගත් පළාත්බද රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කිරීම සහ රෝගීන්ට සත්කාර කිරීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000 ක් දැනටමත් ලබා දී තිබෙනවා.

හෙද අභ්‍යාස විද්‍යාල වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අප නිරෝගී සහ ජවසම්පන්න තරුණ පරම්පරාවක් ඇති කරගත යුතු වෙනවා. මා තේරුම් ගෙන ඇති ආකාරයට දියවැඩියාව, පිළිකා, ඇදුම වැනි ප්‍රධාන ගණයේ ලා ගැනෙන බෝ නොවන රෝග වැඩිහිටියන් අතර පමණක් නොව ළමුන් අතර ද ඉහළ යන ප්‍රවණතාවක් පවතිනවා. නියම වේලාවට හඳුනාගතහොත් බෝ නොවන රෝග වැඩි ප්‍රමාණයකින් ආරක්ෂා වීමට, වළක්වා ගැනීමට හෝ සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කළ හැකියි. මේ සම්බන්ධව කටයුතු කිරීමට සෑම පාසල් වාරයක් තුළම දිවයිනේ සෑම ප්‍රාථමික පාසලකටම සෞඛ්‍ය බලධාරීන් පැමිණ පරීක්ෂා කරන ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. මේ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

එසේම, දිවයින තුළ පවතින වකුගඩු රෝග සහ බෝ නොවන රෝගවලට අදාළ පරියේෂණවලට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජාතික විද්‍යා පදනම (National science Foundation) (NSF) වෙත රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකාව තුළ ළමුන් සඳහා විශේෂිත වූ රෝහල් වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල යන රෝහල් පමණයි. සෑම වසරකම ළමුන් 1,000 කට ළමුන් 9.9 ක් පස්වෙනි වසර උපන්දිනය සැමරීමට පෙර මිය යන බව මගේ අවධානයට ලක්වුණා. සහශ්‍ර සංවර්ධන ඉලක්ක අනුව වසර 5 කට අඩු ළමා මරණ අනුපාතය ළමුන් 1,000 කට ළමුන් 4 කි. තිරසාර සංවර්ධන ඉලක්කවල අරමුණ වන්නේ ළමා මරණ අනුපාතය ශුන්‍ය මට්ටමට ගෙන ඒමයි. ගරු කථානායකතුමනි, තිරසාර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා අපගේ කැපවීම සහතික කරමින් ළමා රෝග වළක්වා ගැනීම සඳහා කරාපිටිය, අම්පාර සහ යාපනය යන රෝහල්වල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. නින්දවූර් නගරයේ මූලික රෝහලක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කිරීමටත් කරාපිටිය ශික්ෂණ රෝහල තුළ මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමටත් මා යෝජනා කරනවා.

තවදුරටත් නිදහස් සෞඛ්‍ය සේවාව රටතුළ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය මත 2017 වර්ෂයේ දී නවීන තාක්ෂණයට අනුකූලව කාසල් වීදිය මාතෘ රෝහල රුපියල් මිලියන 3,000 ක වියදමක් දරා වැඩිදියුණු කරනු ලබනවා.

ගරු කථානායකතුමනි, තැලසීමියා, වසාගැටිති, ලියුකේමියා සහ තවත් එවැනි රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර රෝහලට අනුබද්ධව ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

සෞඛ්‍ය ආරක්ෂාව සඳහා තොරතුරු තාක්ෂණ භාවිතයට පහසුකම් සැලසිය යුතුයි. එම නිසා තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහාය ඇතිව අඩු තරමින් තෝරාගත් මූලික රෝහල් පහකවත් ටෙලි මෙඩිසින් වැඩසටහන (Telemedicine programme) වැඩිදියුණු කිරීමට දිරිමත් කරනවා.

ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා මහජන සෞඛ්‍ය හෙද සේවාව නැවත ක්‍රියාත්මක කරනවා.

දැනට අපේ රටේ පෝෂණවේදීන් සහ සෞඛ්‍ය සේවකයින් ප්‍රමාණවත් පිරිසක් නොමැති බව අයවැය සකස් කිරීමේ සාකච්ඡාවේ දී මා හට දැන ගැනීමට හැකි වුණා. ගරු කථානායකතුමනි, ඉදිරි වසර 3 ක කාලය තුළ සෞඛ්‍ය හා පෝෂණ ක්‍රියාකාරීන් 300 දෙනෙකු දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.

පෞද්ගලික අංශය සමග එකතු වී රජය මගින් පාලනය කෙරෙන රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමට මා යෝජනා කරන අතර රජයේ රෝහල්වල රෝග නිශ්චය කර ගැනීමේ රසායනාගාර පිහිටුවීමට ද පෞද්ගලික අංශයට ආරාධනා කරනවා.

අප රටේ ලියාපදිංචි නොවූ ඔසුසල් විශාල ප්‍රමාණයක් තිබෙන අතර සුදුසුකම් නොලැබූ ඖෂධවේදීන් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. මෙම ප්‍රවණතාවය ඉතා කඩිනමින් අවධානයට යොමු කළ යුතු කරුණක්. එම නිසා සියලුම ඔසුසල් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි විය යුතු බවට මා යෝජනා කරන අතර එසේ ලියාපදිංචි වීමට අපොහොසත් වන ඔසුසල් සඳහා රුපියල් 100,000 ක දඩයක් පැනවීමට කටයුතු කරනු ලබනවා.

ගරු කථානායකතුමනි, විශේෂයෙන් ආයුර්වේද ඖෂධ සම්බන්ධව සිදු කරන පරීක්ෂණ හා සංවර්ධනය වෙනුවෙන් ආයුර්වේද පශ්චාත් උපාධි ආයතනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අප රට තුළ, නිදහස් සෞඛ්‍ය පහසුකම් ලබා දීමට අප බැඳී සිටිනවා. මේ සඳහා අප නිරන්තරයෙන්ම යොදවන අරමුදල් ප්‍රමාණය පිළිබඳව සාමාන්‍ය ජනතාව දන්නේදැයි මා තුළ සැකයක් පවතිනවා. එම නිසා සියලුම රජයේ රෝහල් විසින් රෝගීන් ප්‍රතිකාර ලබාගෙන පිටවන අවස්ථාවේ දී ඔහු හෝ ඇයගේ ප්‍රතිකාර සඳහා රජය විසින් දරන ලද මුදල ඇතුළත් කර පිරිවැය පත්‍රයක් (Cost sheet) නිකුත් කිරීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු පහසු කිරීම

ගරු කථානායකතුමනි, ව්‍යාපාර ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසරයක් ඇති කිරිමට අප රජය සහතික වී තිබෙනවා. ඒ සඳහා බාධා අවම කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධව ඇති දර්ශක පැහැදිලි කිරීමට මා කැමතියි. දැනට අප රට ව්‍යාපාර ආරම්භ කිරීමට පහසු කිරීමේ 2015 දර්ශකයේ 110 වන ස්ථානයේ සිටිනවා. අප රටේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අවම වශයෙන් ක්‍රියාවලීන් 8 ක් සම්පූර්ණ කළ යුතුයි. මෙය සමාන රටවල පවත්නා තත්ත්වයන්ට වඩා වැඩි අගයකි. 2020 වන විට මෙම ක්‍රියාවලි ගණන 05 දක්වා අඩු කර ගැනීම අපේ අරමුණයි. 2018 වන විට මෙම දර්ශකයේ ඉහළම රටවල් 70 අතරට පැමිණීමට මෙම ක්‍රියාමාර්ග සහ වෙනත් ක්‍රමෝපායන් අප විසින් ගනු ලබනවා.

එම නිසා සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය පෝය දින ඇතුළු සතියේ දින 7 තුළදීම විවෘත කර තැබීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමටත්, කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ කටයුතු පහසු කිරීමටත් මා යෝජනා කරනවා. එමගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගතවන දින 10 ක කාලය දින 04 දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

මුල්‍ය පාලනයට ශක්තිමත් නියාමනයක්

සියලු ව්‍යාපාරයන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන බැවින් ජාතික ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමට මා යෝජනා කරනවා. එසේම, රජය විසින් එළඹෙන වෙළඳ ගිවිසුම් නිසියාකාරව නීතිගත කිරීම තහවුරු කිරීම සඳහා ජාතික වෙළද පැමිණිලි මෙහෙයවන්නෙකු පත් කිරීමට අප පියවර ගන්නවා. ඒ අනුව, ජාතික වෙළද පැමිණිලි මෙහෙයවීමේ කාර්යාලයක් සහ ජාතික ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ගැනීම් සඳහා ඇති ඉඩ ප්‍රස්ථාවන් වැඩි කිරීම සඳහා සුරක්ෂිත ගනුදෙනු පනතට අදාළ සංශෝධනය හඳුන්වා දීමට අප කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි, ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් තිබීම වැදගත් වෙනවා. එම නිසා සීමාසහිත පොදු සමාගම්වලට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීම සඳහා නීති හඳුන්වා දීමට මා යෝජනා කරනවා. එසේම වැඩි කොටස් අයිතිය විදේශිකයන් සතු පෞද්ගලික සමාගම් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබා දීමට මා යෝජනා කරනවා. ඒ සඳහා එම සමාගම් ඉඩම් වටිනාකම හැර අවම වශයෙන් රුපියල් මිලියන 250 ක් ආයෝජනය කළ යුතු අතර අවම වශයෙන් සේවකයින් 250 කට රැකියා අවස්ථා සැලසිය යුතු වෙනවා. මෙම තත්ත්වය අවම වශයෙන් වසර 03 ක කාලයක් දක්වා පවත්වාගෙන යා යුතු වෙනවා. එසේ නොවන්නේ නම් වසර 03 ක කාලය තුළ ගිවිසුමේ සඳහන් කොන්දේසි සම්පූර්ණ නොකිරීම මත සියයට 100 ක බදු මුදල් එකවර ගෙවීමට සිදු වෙනවා. අදාළ බදු කුලිය ඉඩමේ වාණිජ වටිනාකම මත රජයේ තක්සේරුකරු විසින් තීරණය කරනු ලබනවා.

දැනට ක්‍රියාත්මක වන 2007 අංක 07 දරන සමාගම් පනත අනුව සභාපති සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වීමෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීමට නොහැකියි. කෙසේ වුවද, සමාගම්වල අයිතිය හිමි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අයිතිය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා දැනට පවතින අවුරුදු 70 වයස් සීමාව ඉවත් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, මූල්‍ය අංශය සඳහා ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් වෙනුවෙන් කැපවුවද, ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදීම අසාධාරණ ලෙස පාලනය නොකල යුතු බවට මා විශ්වාස කරනවා. එම නිසා මූලික ණය සීමාව ලක්ෂ 05 දක්වා වූ ණයකරුවන්ගේ ණය ඉතිහාස තොරතුරු ලබා නොදෙන ලෙස ණය තොරතුරු කාර්යාංශයට මම නිර්දේශ කරනවා.

වර්තමානයේ පවතින නවීන ව්‍යාපාරයන්ට අනුගත වීමටනම් බුන්වත්බව හා බංකොලොත් බවට අදාළ පවතින නීති සංශෝධනය කිරීම අවශ්‍යයි. ඒ අනුව ඒ සඳහා උචිත හා ඵලදායී නීති ගෙන ඒමට අප කටයුතු කරනවා.

අයවැය සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාවල දී බොහෝ වෙළඳුන් රාත්‍රී 11 දක්වා වත් වෙළඳසැල් විවෘත කර තැබීම අවශ්‍ය බව දන්වන ලදී. මේ සඳහා රාත්‍රී 11 න් පසුව බස් ධාවනය කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සහාය දක්වන්නේ නම් මෙය දිරිමත් කිරීමට මා කැමතියි.

විදේශ විනිමය පාලන පනත වෙනුවට විදේශ විනිමය හුවමාරු පනත හඳුන්වා දෙන අතර අවිධිමත් ගනුදෙනු වැළැක්වීමෙන් විදේශ සංචිත ආරක්ෂා කිරීම එමගින් තහවුරු කරනු ලබනවා.

සවි බලගන්වන ලද සහ ඉහළ වැටුප් ලබන ශ්‍රම බලකායක්

ගරු කථානායකතුමනි, ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් පමණ විධිමත් අංශයේ රැකියාවන්හි යෙදී සිටින්නන් වන අතර ඉතිරි තුනෙන් දෙකක් පමණ වන ප්‍රමාණය අවිධිමත් අංශයේ රැකියාවන්හි යෙදී සිටිනවා. විධිමත් අංශයට නම්‍යශීලී වැඩ පැය ගණනක් නොමැත. අර්ධ කාලීන වැඩ, පැය 45 හෝ සතියට දවස් පහ හමාරක සේවය

කළ යුතු කාලයේ වෙනසක් නොකළ හැකි ලෙස කම්කරු නීතිවලින් ඉහළ ආරක්ෂණයක් ලබා දෙනවා. අනිත් අතට ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයක් අවිධිමත් අංශයේ රැකියාවන්හි යෙදී සිටින අතර ඔවුන්ට කම්කරු නීති මගින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයකට අප රටෙහි පවත්නා යල් පැන ගිය කම්කරු නීතිවල ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 ක් පමණ වන ඉදිරි වසර 5 තුළ දී සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි වේගයෙන් දියුණු වන අංශවල දායකත්වයෙන් ඉහළම වර්ධනයක් ළඟා කර ගනු ඇතැයි අපේක්ෂිත සේවා අංශයෙහි ක්‍රියාකාරීත්වයට අපගේ කම්කරු නීති තුළින් විශාල වශයෙන් අභියෝග එල්ල කරනු ලබනවා. නූතන සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අපට ඇති වාසිදායක තරඟකාරී තත්ත්වය තුළ බාහිර පාර්ශ්වයන් වෙතින් ව්‍යාපාර ක්‍රියාකාරකම් කරගැනීමේ ව්‍යාපාර (BPO)ල සහ බාහිර පාර්ශ්වයන් වෙතින් දැනුම ලබා ගන්නා වූ ව්‍යාපාර (KPO) හා නීති ක්‍රියාවලිය බාහිර පාර්ශ්වයන්ගෙන් ඉටු කරගන්නා වූ ව්‍යාපාර (LPO) සඳහා අප රට තුළ ඉතා සුදුසු වාතාවරණයක් තිබෙනවා. කෙසේ වුවත්, මෙම අංශ සඳහා නම්‍යශීලි සේවා පැය ගණන්, රාත්‍රී කාලයේ සේවය කිරීම, අර්ධකාලීන සේවා සහ නිවසේ සිට සේවය කිරීමට ඇති හැකියාව ද අවශ්‍ය වෙනවා. දැනටමත් තොරතුරු තාක්ෂණය සහ සංචාරක අංශ සාපේක්ෂ වශයෙන් ඉහළ වැටුප් ලබන අතර, ඉහළ වර්ධන හැකියාව හේතුවෙන් ඉදිරියේ දී මෙම අංශයන් හි වැටුප් තලවල අඛණ්ඩ ඉහළ යාමක් සිදුවනු ඇත. තාක්ෂණයේ වර්ධනයත් සමඟ සේවා නියුක්ති අවස්ථා විශාල ලෙස වෙනස් වී ඇති බව අපිට පිළිගැනීමට සිදු වෙනවා. කෙසේ වුවද, තාක්ෂණය නිසා විශේෂයෙන් සේවා කර්මාන්තයේ ඇති සුවිශේෂී වූ අවස්ථාවන් අනුව කම්කරු නිතීවලට සංශෝධනයන් එකතු කිරීමට අවශ්‍ය වෙනවා. මෙම සංශෝධන මගින් විශේෂයෙන් රැකියා සුරක්ෂිතභාවයට ගැටලුවක් නොවන ආකාරයට අපේ තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබා දෙන බව මට තහවුරු කිරීමට හැකි වනවා. සේවා යෝජකයින් හා සේවාදායකයින් යන දෙපාර්ශ්වයටම එකඟවිය හැකි කම්කරු නීතිවල කඩිනම් සංවර්ධනය සඳහා සිදු කළ යුතු වෙනස්කම් යෝජනා කිරීමේ දී ජාතික වෘත්තීය සමිති පෙරමුණ දක්වන ලද ප්‍රතිචාරය මා ධෛර්යමත් කළා.

(අ). පෞද්ගලික අංශය සඳහා පැය 45 ක් හා සතියට දවස් 05 ක් වූ සහ රජයේ සේවකයින් සඳහා සතියකට පැය 40 ක් වූ නම්‍යශීලී සේවා පැය ගණනක් හඳුන්වා දීම

(ආ). කොන්ත්‍රාත් සේවකයිනගේ සේවා කාලය මාස 6 සිට අවුරුදු 1 ක් දක්වා දීර්ඝ කිරීම

(ඇ). කාර්ය සාධනය මත පදනම්ව වැටුප් ගෙවීම.

එසේම, මිනිස් බල සේවා (Manpower) සැපයීම පෞද්ගලික ආරක්ෂක, පිරිසිදු කිරීම්, ආපනශාලා සහ ප්‍රවාහන ක්‍රියාකාරකම්වලට පමණක් සීමා කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, සේවානියුක්ති භාර අරමුදල (ETF) , සේවක අර්ථසාධක අරමුදල (EPF)ල සහ කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ දත්ත පද්ධති තුළ විෂමතා පවතින අතර ඒවා සැලකිල්ලට ගෙන එම දත්ත පද්ධති එක් කර සරල, කාර්යක්ෂම එක් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමටත් එය යෝජිත මධ්‍යම විශ්‍රාම අරමුදල පිහිටුවීම සම'ග සිදු කිරීමට කටයුතු කරනු ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්

ආර්ථිකයේ සියයට 50 ක් පමණ දායකත්වයක් දරන සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් වෙනවා. සාම්ප්‍රදායික සංකල්ප මත සුරැකුම් මත පමණක් ණය ලබා දීමට බැංකු විසින් තවමත් කටයුතු කිරීම සහ ව්‍යාපාර සැලසුම් මත මූල්‍ය සම්පාදනය කිරීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශවීම සීමාසහිත වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පුළුල් කිරීම හා වර්ධනය දැඩි ලෙස සීමා වී තිබෙනවා. එම නිසා සුරැකුම් නොමැතිවීමේ ගැටලුවට විසඳුමක් ලෙස සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශයන් පහසු කිරීම සඳහා අප විසින් දැනටමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සුරැකුම් ක්‍රමයක් ආරම්භ කර ඇති අතර එහි මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙම යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය මත ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් සපයමින් රජයේ කැපවීමට සහාය වෙනවා. මෙයට අමතරව, බැංකුවලට ඔවුන්ගේ ණය කළඹින් සියයට 10 ක් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වෙන් කිරීමට බැංකු යොමු කරවනවා.

විශේෂයෙන්ම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, මල්වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම් හා ඇගලුම් වැනි ක්ෂේත්‍රවල නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඒ ඒ ව්‍යාපාරයේ වෙළඳ පිරිවැටුම් සහ නිෂ්පාදනය කරනු ලබන රැකියා ප්‍රමාණය මත පදනම්ව සහනදායී ණය යෝජනා ක්‍රම ලබා දීම මගින් පහසුකම් සැලසීමට අප කටයුතු කරනවා. වෙළඳ පිරිවැටුම් රුපියල් මිලියන 25 සිට රුපියල් මිලියන 250 අතර සහ සේවක සංඛ්‍යාව 10 ත් 50 ත් අතර වන ව්‍යවසායකයින් වෙනුවෙන් සියයට 50 ක සහනදායී පොලී අනුපාතයක් මත ණය ලබා දෙනු ඇත. වෙළඳ පිරිවැටුම මිලියන 250 සිට රුපියල් මිලියන 750 අතර වන සහ අවම වශයෙන් රැකියා අවස්ථා 50 ත් 300 ත් අතර ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් වෙනුවෙන් සියයට 25 ක පොලී සහනයක් මත ණය ලබා දීම සඳහා කටයුතු කරනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

කලකට ඉහතදී ඉතාමත් සමෘද්ධිමත්ව පැවැති රෙදි පිළි සහ අත්යන්ත්‍ර කර්මාන්තයට නැවත ජීවය ලබා දීමට දැඩි අවශ්‍යතාවයක් අපට තිබෙනවා. මෙම නිෂ්පාදන සඳහා සැලකිය යුතු මට්ටමේ දේශීය වෙළඳපොළක් පවතින අතර මෙමගින් සැලකිය යුතු රැකියා අවස්ථා ගණනක් ද ඇති කරනු ඇත. ඒ අනුව, මේ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට සහ පුහුණුව ලබා දීමට මා නිර්දේශ කරනවා. එසේම, සුළු පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා තම දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය කර්මාන්තකරුවන් වෙත එම සහයෝගය ලබා දීමට කටයුතු කරන මෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා. මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

තඹ, පිත්තල සහ පැරණි යකඩ කර්මාන්තයේ තුන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් යෙදී සිටිනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කුඩා පරිමාණයේ ව්‍යවසායකයෝ වෙනවා. විදේශ මිල ගණන්වල උච්ඡාවචනයන් හේතුවෙන් එකතු කරනු ලබන ඉවත දමන ලද ද්‍රව්‍ය විකුණා ගැනීමේ දී ඔවුන්ට දැඩි ගැටලුවකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. එනිසා, ඔවුන් වෙත ජාත්‍යන්තර මිල ගණන්වලට සරිලන සාධාරණ මිලක් ලබා දෙන ලෙසට දේශීය යකඩ නිෂ්පාදකයින් දිරිමත් කරනවා. මෙම කර්මාන්තය හා සම්බන්ධ අගය එකතු කිරීම දිරි ගන්වනු ලබන අතර එකතු කළ යකඩ අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම අධෛර්යමත් කළ යුතු වෙනවා.

දේශීය කලාකරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමේ දී ලක්සල විසින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ප්‍රමුඛස්ථානයක් ගත යුතු යැයි සඳහන් කරනවා. වර්තමානයේ දී මෙම දේශීය කලාකරුවන් දැඩි මූල්‍ය ගැටලුවලට මුහුණ පා සිටිනවා. මෙම කර්මාන්තයේ සැලකිය යුතු පිරිසක් සේවා නියුක්තිව සිටින බැවින් ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මසක කාලයක් තුළ ගෙවා නිදහස් කරන ලෙස මා උදක්ම ඉල්ලා සිටිනවා.

කොළඹ නගරයේ විශේෂිත අත්කම් අලෙවි මධ්‍යස්ථානයක් රාජ්‍ය, පෞද්ගලික දෙ අංශයේ සහයෝගීත්ව (PPP) පදනමින් ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර එමගින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට තොග වෙළඳාමේ, විශේෂයෙන්ම අත්කම්, රෙදිපිළි හා පාවහන් කර්මාන්තවල නියැළීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙනවා. 2017 වසරේ මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 375,000 ක් පමණ සපයනු ලබන උළු හා පිඟන් ගඩොල් කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධාන දේශීය අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනීම පිළිබඳ ප්‍රබල ගැටලුවක් පවතිනවා. එකිනෙකට පරස්පර රෙගුලාසි පැවතීම මෙයට මූලික හේතුවයි. මෙම ගැටලුව විසඳීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලද පරිදි මෙම කාරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියළුම පාර්ශ්වයන් නියෝජනය වන පරිදි පූර්ණ බලතල සහිත ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීමට මා යෝජනා කරනවා. එසේම ඔප නොදමන ලද පිඟන් ගඩොල් සඳහා අගය එකතු කිරීමට හා රැකී රක්ෂා උත්පාදනය සඳහා බද්ධ ව්‍යාපාර කටයුතු ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම දිරිමත් කරනවා.

මෙරට දූපතක් වුවත් අපට අවශ්‍ය ලුණු ආනයනය කිරීමට සිදුවීම හාස්‍යයට කරුණක්. එවැනි වටපිටාවක් යටතේ වැඩි ආයෝජනයක් ලබා ගත හැකිවන පරිදි මෙම කර්මාන්තය රාජ්‍ය සහ පුද්ගලික සහයෝගීත්ව ව්‍යාපාර සඳහා විවෘත කිරීමට මා යෝජනා කරනවා.

සෞභාග්‍යා සහ ස්මයිල් වැනි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සහනදායී ණය සහ සුරැකුම් යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ කිරීම සඳහා 2017 මාර්තු 31 දිනට පෙර මහා භාණ්ඩාගාරය වෙත මාරු කරනු ලබනවා. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ඉලක්ක කර ගත් ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.

ආයෝජන

ගරු කථානායකතුමනි, ආර්ථික වර්ධන වේගය යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් ආයෝජන ඉතා වැදගත් වෙනවා. පසුගිය දශකය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30.1 ක් ලෙස අයෝජන පවත්වාගෙන ගිය ද එයට වැඩි දායකත්වයක් ලැබුණේ රාජ්‍ය අංශයෙනි. එහි ප්‍රතිඵලය වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76 කට ආසන්න ප්‍රමාණයක ණය බරක් පවත්වාගෙන යාමයි. මෙම ප්‍රමාණය අපගේ අසල්වැසි රටවලට වඩා ඉහළයි. ඒ සමඟම පෞද්ගලික අංශයේ ආයෝජන එකම මට්ටමක පැවතෙනවා. කෙසේ නමුත්, රාජ්‍ය මූල්‍ය සීමාවන් තුළ අප වෙත විශාල ණය බරක් පැටවී ඇත. මෙම තත්ත්වය තව දුරටත් එලෙසින්ම පවත්වාගෙන යාමෙන් ණය බර තවත් වැඩිකරලීම සුදුසු යැයි මා සිතන්නේ නැහැ. මේ සඳහා විකල්පය වන්නේ පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර හවුල්කාරීත්වයන් ඇති වීම සඳහා පහසුකම් සැලසීමයි. නිෂ්පාදන සහ අගය එකතු කළ රැකියා අවස්ථා ඇති කිරීම තුළින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍රවල ආයෝජනය දිරිමත් කිරීම කළ යුතු වෙනවා. එසේම, කෘෂිකර්ම, නිෂ්පාදන, ධීවර කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය වගාව, සූර්යබලශක්ති උපාංග නිෂ්පාදනය, දුම්රිය මැදිරි නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදනය, කුකුළු පාලනය, සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කරන දේශීය ව්‍යවසායකයින් සඳහා අප උපකාර කළ යුතුයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වැඩි දියුණු කරන ලද පහසුකම් ඇති කිරීම පිණිස සංවර්ධනය සඳහා වූ ආයතනයක් පිහිටුවනු ලබනවා. කෙසේ වුවද, ආයතන සම්බන්ධයෙන් තීරණ ගැනීමට දින 50 කට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් එම ආයෝජන ව්‍යාපෘති සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ හැකියි.

මේ අතරම රට තුළ සිදුවන ප්‍රධාන ආයෝජන සඳහා යම් කිසි දිරි දීමනාවක් ලබා දෙන්නේ නම් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් එය මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම සඳහා නිර්දේශ කළ යුතු වෙනවා.

අපගේ රජය රටේ වත්කම් වර්ධනය කිරීම සහ ආදායම් බෙදී යාමේ සමානාත්මතාවය ඇති කිරීම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීම සඳහා කැපවී සිටිනවා. උතුරු, නැගෙනහිර, ඌව ප්‍රදේශවලින් රටේ දළ දේශීය නිෂ්පාදනයට අඩු දායකත්වයක් ලැබෙන අතර මෙම තත්ත්වය නිවැරදි කිරීමට ස්ථායී ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම අපට සිදු වෙනවා. ඒ අනුව, ඇ. ඩොලර් මිලියන 3 ට වඩා වැඩි මුදලක් (ඉඩම් හැර) ආයෝජනය කරමින් නව රැකියා අවස්ථා 250 කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන උතුරු පළාතේ ව්‍යාපාරවල කරනු ලබන ආයෝජන සඳහා සියයට 200 ක ප්‍රාග්ධන දීමනාවක් සහ ඌව සහ නැගෙනහිර පළාත්වල කරනු ලබන ආයෝජන සඳහා සියයට 100 ක ප්‍රාග්ධන දීමනාවක් ලබා දීමට හෝ රැකියා අවස්ථා 500 සිට 800 දක්වා ප්‍රමාණයක් ජනනය කරන ව්‍යාපාර සඳහා අවුරුදු 3 සිට 5 දක්වා අර්ධ වාර්ෂික බදු විරාම ලබා දීමට ද මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ඉහළ ප්‍රතිලාභ සහිත ආයෝජනයන් සොයා යාමේ දී අප සංවර්ධනාත්මක චින්තනයක් ඇතිව සැලසුම් සහගත අවදානමක් දැරීමට පසුබට නොවන

රජයක්. ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ත් 100 ත් අතර (ඉඩම් වටිනාකම හැර) 500 කට වඩා වැඩි රැකියා අවස්ථා ඇති කරනු ලබන හා සියයට 40 කට වඩා එකතු කළ වටිනාකම වැඩි කරන දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරවල කරනු ලබන ආයෝජන වෙනුවෙන් එම ආයෝජන වටිනාකමින් සියයට 5 ක ප්‍රමාණයක් එවැනි ව්‍යාපාරයක මෙහෙයුම් ආරම්භ කර වසර 2 ක් අවසානයේ දී ලබා දෙනු ඇත. මෙම තත්ත්වය වසර 5 ක් පුරා පවත්වාගෙන ගියහොත් එම ව්‍යාපෘතියේ මූලික ආයෝජනයෙන් සියයට 5 ක ප්‍රමාණයක් රජය විසින් තවදුරටත් ලබා දෙනු ඇත. එවැනි ව්‍යාපාර වෙනුවෙන් තව දුරටත් සියයට 100 ක ප්‍රාග්ධන දීමනාවක් ලබා දීමට අප කටයුතු කරනවා.

අප රටෙහි පවතින තත්ත්වය ඉහළ නැංවිය හැකි ඇමෙරිකානු ඩොලර් මිලියන 100 හා 500 අතර වන අයෝජන සඳහා සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවනු ලබන ආයෝජන සඳහා බදු විරාම සහිත විශේෂ පැකේජයක් අප විසින් සැලසුම් කරනු ලබනවා.

එවැනි ආයෝජකයින් සහ ඔවුන්ගේ විශේෂඥ ශ්‍රමිකයින් සඳහා අවුරුදු 5 කට බහු පිවිසුම් වීසා නිකුත් කිරීමට මා යෝජනා කරනවා.

සීඝ්‍ර වර්ධන ප්‍රවනතාවක් පෙන්නුම් කරන ඉදිකිරීම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට, පෙර සවි ආකෘති සඳහා පනවා තිබූ සියයට 25 සෙස් බද්ද අහෝසි කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපගේ ව්‍යාපාරවල ඵලදායීතාවය ඉහළ නංවන යන්ත්‍රසූත්‍ර හා උපකරණවල ආයෝජනය කිරීම අඩු වීම හේතුවෙන් එහි ඵලදායීතාවය අඩු වීම හෝ දීර්ඝ කාලයක් එකම මට්ටමේ පැවතීමට හේතු වෙනවා. එම ව්‍යාපාරවල ධාරිතාවය වර්ධනය කිරීම සඳහා අධි තාක්ෂණික ස්වංක්‍රීය යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනයන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව වරාය හා ගුවන්තොටුපළ ගාස්තුවලින් සියයට 75 ක්ම නිදහස් කිරීමට මා යෝජනා කරනවා.

ආයෝජන මණ්ඩලය සතු දැනට පවතින නිදහස් වෙළඳ කලාපයේ තරඟකාරීත්වය වැඩි කරමින් ඒ සඳහා වටිනාකමක් එකතු කරමින් එහි කළමනාකරණයෙහි සහ සපයන සේවාවන් හි තත්ත්වය උසස් කිරීම සඳහා එම නිදහස් වෙළඳ කලාප කළමනාකරණය සඳහා අප පෞද්ගලික අංශයට ආරාධනා කරනවා.

ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ අත්දැකීම් අධ්‍යයනය කිරීමෙන් පසු අවම සීමාවන් සහිතව රට තුළට ප්‍රේෂණ ගලා ඒමට පහසුකම් සැලසීම සඳහා ඉදිරියේ දී ආයෝජන ගලා ඒමේ කළමනාකරණ පනත (Investment Inflow Management Act) හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල් අතර පවතින පොලී වෙනස්කම්වල වාසිය ලබා ගන්නා මෙන් විදේශීය සමාගම්වලට අප ආරාධනා කරනවා. එවැනි වෙළඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යුහයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම තහවුරු කරනවා.

ගරු කථානායකතුමනි, ඉන්දියානු සාගරය තුළ දී අප වෙත හිමි වී ඇති උපාය මාර්ගික තත්ත්වය අප හොඳින් ප්‍රයෝජනයට ගත යුතුයි. පවතින දේශපාලන ස්ථාවරත්වය සහ රටේ නීතිය හා සාමය ස්ථාපිත වීම තුළින් අන්තර්ජාතික ආයතනවල සහ ව්‍යාපාරවල ප්‍රධාන කාර්යාල අප රට තුළ පිහිටුවීම ආකර්ෂණය කිරීම සඳහා විශාල ඉඩකඩක් තිබෙනවා. මේ වන විටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය කොළඹ පිහිටුවන ලද බව මා ඉතා සතුටින් මෙම සභාවට දන්වා සිටිනවා. ජාත්‍යන්තර සංවිධාන සහ ව්‍යාපාර ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම ධෛර්යමත් කිරීම සඳහා ඔවුන් ආයතනික බදුවලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ඇඟලුම් සමාගම්වලට ඔවුන්ගේ පසුගිය වර්ෂ තුනක දළ අපනයන ආදායමින් සියයට 5 ක් දක්වා මුදලක් මෝස්තර නිර්මාණය කිරීම සහ නිෂ්පාදනයේ නිරත විදේශ ආයතනවල අයෝජනය කිරීම සඳහා අප ඉඩකඩ ලබා දෙනවා. විදේශයන්හි පිහිටු වනු ලැබූ එවැනි ව්‍යවසායයන්ගෙන් ලැබෙන ලාභ සහ ආදායම් ආයෝජනය කරනු ලැබූ ශ්‍රී ලංකා සමාගම් වෙත ලැබිය යුතුය.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් බාහිර ආයෝජන ගිණුම (Outward Investment Account) හරහා ශ්‍රී ලංකාවෙන් පිටත කරන ලද ආයෝජන සඳහා ලැබූ ප්‍රාග්ධන ඉපැයීම්වලින් සියයට 50 ක් විදේශයක ආයෝජනය කළ හැකි සීමාවන්ට යටත් නොවී එම බාහිර අයෝජන ගිණුම හරහාම නැවත ආයෝජනය කිරීමට අවසර ලබා දෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රැගෙන එන ඇමෙරිකානු ඩොලර් 15,000 වැඩි ප්‍රමාණය ප්‍රකාශයට පත් කළ යුතු අතර එම සීමාව ඇමෙරිකානු ඩොලර් 40,000 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. විනිමය හුවමාරුවේ දී පවත්නා අවදානම දරා ගැනීමට යටත් ඕනෑම සමාගමකට තම ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය මත අන්තර්ජාතික වශයෙන් ණය ලබා ගැනීමට ඉඩ දෙනු ලබනවා. මෙම නීති කඩ කිරීමක් කරනු ලැබුවහොත් එය රුපියල් මිලියන 50 ක දඩයකට යටත් වනු ඇත. බැංකු නොවන මූල්‍ය ආයතනවලට තම ශේෂ පත්‍රයේ මුළු වත්කම්වලින් සියයට 35 කට වැඩියෙන් වුවද ඔවුන්ගේ විශේෂ වගකීම් ප්‍රමාණය වැඩි කර ගැනීමට මෙම ආයතන මත පනවා තිබූ බාධක ඉවත් කිරීමට මා යෝජනා කරනවා.

කොළඹ නගරයේ අහස් තලය වෙනස් කරන විශේෂිත වූ සංධිස්ථාන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන විසින් රුපියල් බිලියන 10 ක් ආයෝජනය කරනු ලබනවා. මෙම ගොඩනැගිලි ආයෝජන සහ ආර්ථික කටයුතු සඳහා කේන්ද්‍රස්ථාන වනු ඇත. මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අපනයන

ගරු කථානායකතුමනි, අපගේ අපනයන ඉපයීම් මූලික වශයෙන් ලෝක වෙළඳපළ අභියෝගයන් සමඟ බැඳී තිබෙනවා. පැහැදිලිවම, තරඟකාරී සීමාව තුළ රැඳී සිටීමට නම් අපගේ කර්මාන්ත සහ අපනයන විවිධාංගීකරණය කිරීම අවශ්‍යම වෙනවා. අපි ගෝලීය අගය එකතු කිරීමේ දාමය තුළට අවතීර්ණ විය යුතුය. වටිනාකම් එකතුව, වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නව්‍යකරණය මේ සඳහා ඇති ඉදිරි මාර්ගය වෙනවා. සිංගප්පූරුව, චීනය, ජපානය, කොරියාව, බංගලිදේශය සහ දියුණු වෙමින් පවතින අප්‍රිකානු වෙළඳපළ ඇතුළු වැදගත් වෙළඳපළවල් සමඟ වෙළඳ ගිවිසුම්වලට යොමු කරනු ලබන වෙළඳ පහසුකම් සැලසීම කෙරෙහි ද අපගේ රජය මැදිහත් වී ක්‍රියා කරනවා. යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීමට හැකිවීම මෙයට සමාන ජයග්‍රහණයකි. අප විසින් GSP + සහනය නැවත ලබා ගැනීම

සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ කරනු ලබන සාකච්ඡා තවදුරටත් යුරෝපයට කරනු ලබන අපනයනයන්ගේ අභිවෘද්ධියට හේතුවන බව මට විශ්වාසයි. ජාත්‍යන්තර වෙළඳ නියෝජිතායතනය (Agancy for International Trade) පිහිටුවීම තුළින් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම කඩිනම් කර ගැනීම සහ ජාත්‍යන්තර වෙළඳාම සඳහා ප්‍රවේශයක් ඇති කිරීමට පහසුකම් සැලසෙනවා.

ශක්තිමත් අපනයන කාර්ය සාධනයක් පවත්වා ගෙන යාමට නම් සාර්ව ආර්ථික මූලධර්මයන් ශක්තිමත් කරමින්, විශේෂයෙන්ම ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන යාම සහ ශක්තිමත් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, වෙළඳ කටයුතු සඳහා වන ගෝලීය තත්ත්වය තරමක් උදාසීනව පැවතීම අපනයනයකරුවන් අභියෝගකාරී පරිසරයකට මුහුණ පෑමට හේතු වී තිබෙනවා. ඒ ආකාරයට මෙවැනි අස්ථාවර තත්ත්වයන්හි දී හොඳින් කටයුතු කරනු ලබන අපනයනකරුවන් වෙත බදු පහසුකම් ලබාදෙමින් දිරිමත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂය වන විට ඔවුන්ගේ අපනයන ආදායම් සියයට 15 කින් වත් වැඩිකර ගෙන තිබෙන්නේ නම් ඔවුන් වෙත සියයට 25 ක බදු විරාමයක් ලැබෙනවා. එම සහනය ලැබෙනුයේ 2016 ට සාපේක්ෂව 2017 දී ස්වකීය අපනයන ආදායම් සියයට 15 කින් වත් වැඩිකරගෙන ඇත්නම් පමණි. සියයට 7.5 ක් අපනයන ආදායම වැඩි වුවහොත් සියයට 5 ක බදු විරාමයක් ලැබෙනවා.

වෙනදාට වඩා අපට අද ආනයන අපනයන බැංකුවක (Exim Banka) අවශ්‍යතාවය හොඳින්ම දැනෙනවා. එබැවින් එහි මෙහෙයුම් කටයුතු 2017 වර්ෂය තුළ ආරම්භ කිරීමට කටයුතු කරනවා. ආනයන අපනයන බැංකුවේ මූලික ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 25,000 ක් වන අතර මෙම බැංකුව රජය සහ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබනවා. එහි රජයේ මූලික ප්‍රාග්ධන දායකත්වය ලෙස රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන, සංචාරක සහ අපනයන වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා සන්නාමය ප්‍රචලිත කිරීම සඳහා අප ව්‍යුහාත්මක වූත්, ශක්තිමත් වූත් ලෝක වෙළඳපළ කේන්ද්‍ර කරගත් අලවි ප්‍රවර්ධන වැඩසටහන් කිරීම වැදගත් වෙනවා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත වෙන්කිරීමට මා යෝජනා කරනවා.

ඒ සමඟම කැන්ටන්, ඉන්දියන්, ජර්මන් වැනි ප්‍රධාන වෙළෙඳ ප්‍රදර්ශනවලට වාර්ෂිකව සහභාගී වීම සහතික කරන අතර එමගින් ව්‍යාපාර සම්බන්ධතා හා වෙළඳපළ ගිවිසුම් සඳහා පහසුකම් සපයනු ලබනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයට, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අනෙකුත් ප්‍රවර්ධනාත්මක ආයතන සහ පෞද්ගලික අංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සියලුම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම උදෙසා කොළඹ ප්‍රදර්ශන (Colombo Fair) නමින් වාර්ෂිකව ප්‍රදර්ශන සංවිධානය කිරීමට මා නිර්දේශ කරනවා. මේ සඳහා රු.මිලියන 50 ක මුදලක් වෙන් කර දීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපි මේ රටේ ඇති අධිවේගී මාර්ගවලින් ලැබෙන ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගන්නවා කියා මා හිතන්නෙ නැහැ. ආර්ථික කටයුතු ධෛර්යමත් වන ආකාරයට අප එම අධිවේගී මාර්ගවලින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රාග්ධනිත

කළ යුතුයි. එබැවින්, අධිවේගී මාර්ගවල දෙපස ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන රජය හවුල්කරුවකු ලෙස මැදිහත් වෙමින් නිදහස් වෙළඳ කලාප ඇති කිරීමට පුද්ගලික අංශය දිරි ගැන්විය යුතු බව මා යෝජනා කරනවා. මෙම කාරණය සඳහා අවශ්‍ය ඉඩම් රජය සපයන අතර අවශ්‍ය විදුලිය හා ජලය වෙළඳ කලාපය දක්වා ලබාදීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන්කිරීමට මා යෝජනා කරනවා.

ඒ සමඟම, ඖෂධ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, රෙදිපිළි නිෂ්පාදන, ඛණිජ සම්පත්, රසායනික ද්‍රව්‍ය සහ මෝටර් රථ කර්මාන්ත අරමුණු කරගත් නිදහස් වෙළඳකලාප 4 ක් කළුතර (බණ්ඩාරගම), රත්නපුර (ඇඹිලිපිටිය), වවුනියාව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පිහිටුවීමට දිරිමත් කරනවා.

විශේෂීකරණය තුළින් ප්‍රතිලාභ නෙළා ගැනීමට, රජයේ හා පුද්ගලික අංශයේ සහභාගිත්වයෙන් අපනයන ගම්මාන 15 ක් පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. මෙහිදී අප මූලික වශයෙන් පරිගණක , රොබෝ විද්‍යාව විලාසිතා නිර්මාණ ඉහල අගයක් ගත් ඇඟලුම් සහ බෝට්ටු නිෂ්පාදනය වැනි විශේෂිත කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

ලොව උසස්ම තත්ත්වයේ කුරුඳූ අප නිපදවූවත්, සියයට

තරම් ප්‍රමාණයක් අපනයනය කරනුයේ අමුද්‍රව්‍ය වශයෙන් වන අතර ඛනිජ කර්මාන්තයේ මෙන්ම කුරුඳු නිෂ්පාදනයේ ද අගය එකතු කිරීමක් සිදුවන්නේ නැහැ. එම නිසා, අගය එකතු කල අපනයන ප්‍රවර්ධනය සඳහා මා දේශීය නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් දිරිගන්වනවා.

ඇඟළුම් සහ පේෂකර්ම කර්මාන්ත ප්‍රධාන විදේශ විනිමය උපදවන කර්මාන්ත ලෙස 2015 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4,800 කට ආසන්න මුදලක් ඉපයූවත් ඒ සඳහා අප 2015 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,296 ක පමණ රෙදි ආනයනය කර තිබෙනවා. එමනිසා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා රෙදි රට තුළම නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් වෙනවා. පේෂකර්මාන්ත අංශය නැංවීම සඳහා පුද්ගලික අංශය විසින් ප්‍රමාණ කිරීම , වර්ණ ගැන්වීම , සහ නිමැවුම් ඒකක ඇතුළත් වන පරිදි රෙදිපිළි කර්මාන්ත අංශයන් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. මෙම ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා ආයෝජන සහන හා ප්‍රමාණවත් ඉඩකඩ ලබා දෙමින් මෙම කර්මාන්තය සඳහා රජය සහයෝගය දක්වනවා. මෙම කර්මාන්තයෙන් වර්ෂයකට අවම වශයෙන් ඇ. ඩොලර් මිලියන 2,000 ක විදේශ විනිමය ඉතුරුවක් ඇස්තමේන්තු කරනවා.

ඇඟළුම් අපනයන ආදායම් සඳහා අතිරේක මූලාශ්‍රයන් සකස් කිරීම අරමුණු කර ගනිමින් සන්නම් නාම සහිත භාණ්ඩ ආනයනය කිරීමට ව්‍යාපාරවලට අවසර ලබා දෙනු ඇත. වාණිජ කේන්ද්‍ර රෙගුලාසිවලට අනුව ඒවා සැකසීම සිදු කෙරේ. වරණාත්මක භාවිතයන් නොමැති රටවල් වෙත එවැනි ඇගළුම් අපනයනය කරනවා.

සංචාරක ප්‍ර‍වර්ධනයට ඉලෙක්ට්‍රොනික වීසා

විශේෂයෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාන නිෂ්පාදන පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රවර්ධන වැඩමුළුවල කෙරෙන වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා වාණිජ දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා නිර්දේශ කරනවා.

රාජ්‍ය ව්‍යාපාර (SOFT)

ගරු කථානායකතුමනි, අප රජය බලයට පැමිණීමෙන් පසු රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය වැඩිදියුණු කිරීමට කැපවීමෙන් කටයුතු කර ඇති අතර භාණ්ඩාගාරයට බරක් නොවෙමින් රජය සතු ව්‍යාපාර බදු හා ලාභාංශ වශයෙන් රුපියල් බිලියන 65 කින් දායක වී ඇති අතර එය 2014 වර්ෂයට වඩා සියයට 50 වැඩිවීමකි.

ගරු අගමැතිතුමා සඳහන් කර ඇති ආකාරයට රජය සතු ව්‍යාපාර උසස් කාර්යසාධනයක් ඇති ව්‍යාපාර බවට පත් කරනවා. මෙම ව්‍යාපාර සඳහා පිරිවැය පිළිබිඹු වන මිල ව්‍යුහයක් සහ මෙහෙයුම් ස්වාධීනත්වයක් ඇති ව්‍යාපාර බව තහවුරු කිරීමට කටයුතු කරනවා. මෙම පසුබිම තුළ තෝරා ගත් රජය සතු ව්‍යාපාරවල ප්‍රධාන කාර්යසාධක දර්ශක සම්බන්ධයෙන් රජය විසින් කාර්යසාධන ගිවිසුම්වලට එළඹෙනු ඇත.

අතිවිශාල පාඩුවක් සිදුකල ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ආයතනය පුද්ගලික අංශයත් සමඟ සම්බන්ධවී නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමින් පවතින බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමතියි. මිහින් ලංකා සමාගමේ මෙහෙයුම් කටයුතු නවත්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ ඒකාබද්ධ කරනු ලැබුවා.

රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසත් පවතින වෙළඳපළ උපනතීන් අනුවත් සලකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් වෙළඳපළ ඉල්ලුම සපුරාලීමට හැකිවන සේ සියළුම ගෘහ උපකරණ හා මෙවලන්වලින් සමන්විත දැවන්ත ප්‍රදර්ශනාගාරයක් පිහිටුවනු ලබනවා. ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අප 2017 වර්ෂය තුළ Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt සහ Hambanthota වැනි උපායමාර්ගික නොවන වාණිජ ව්‍යාපාර, ලැයිස්තුගත කිරීමට (listing) බලාපොරොත්තු වෙනවා. එසේ ලැයිස්තුගත කිරීමෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක් රජයට ලබා ගැනීමට ඉඩකඩ සැලසෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙමගින් පසුගිය රජයෙන් අපට උරුම වී ඇති අනාර්ථික, ප්‍රශ්න සහගත ඉහළ පොළී සහිත ණය ගෙවීමට යොදා ගන්නවා. 2017 වර්ෂය තුළ සිදුවන අනෙකුත් ලැයිස්තුගත කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇත.

සමුද්‍රීය ආර්ථිකය

ගරු කථානායකතුමනි, අප රට සේද මාවතේ මධ්‍යයේ පිහිටියත්, සමුද්‍රීය ආර්ථික අංශය මගින් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන ප්‍රමාණය සියයට 2.5 ක් පමණ වීමෙන් පැහැදිලි වන්නේ අප ඉන් ලබාගෙන ඇති වාසි පිලිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි. අපගේ ඉලක්කය වන්නේ ආසියාවේ ප්‍රධානතම සමුද්‍රීය මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. මෙම පසුබිම යටතේ, රටේ ජාතික ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන පරිදි සමුද්‍රීය ආර්ථිකයක් සඳහා අවශ්‍ය හිතකර වටපිටාවක් ඇති කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු වෙනවා.

පුද්ගලික සහ රාජ්‍ය සහභාගිත්වය ඇති සමුද්‍රීය අධිකාරියක් පිහිටුවීම මගින් සැමට එකලෙස කටයුතු කළ හැකි පරිසරයක් සහ විශ්වාසනීය නියාමන ක්‍රමවේදයක් ඇති කිරීමට උනන්දු කරනවා.

ශ්‍රී ලංකා ධජය සහ නැව් ලේඛනයක්, සමුද්‍රීය රක්ෂණය, නැව් කළමනාකරණය සහ සේවා එනම් ආරවුල් බේරුම් කිරීම , අද්මිරාල් උසාවි සහ නාවික නීති වැනි ආනුශාංගික සේවා දියුණු කිරීමට කටයුතු කළ යුතුය.

කොළඹ සහ ඒ ආශ්‍රිත වාහන තදබදය ලිහිල් කිරීමට උපකාරී වන පරිදි විශාල නැව් බඩු කොළඹ වරායෙන් පිටතට රැගෙනයාමට පියවර ගතයුතු යැයි මම ඕනෑකමින් නිර්දේශ කරනවා. මෙය කොළඹින් පිටත රැකීරක්ෂා ඇති කිරීමට උපකාරී වේ. රේගුවේ සම්පූර්ණ පරීක්ෂාව යටතේ LCL (Less than Container Load) ආනයන හඳූනාගන්නා බඩු ප්‍රවාහන ස්ථාන (Freight Stations) ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියානු දොරටු පර්යන්තය (SAGT) කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) ඇතුළුව කොළඹ වරායෙන් ඇතුළත සහ පිටත විධිමත් පරිදි පිහිටුවීමටත් එමගින් කොළඹ නගරයේ වාහන තදබදය අඩුකර ගැනීමටත්, මෙහෙයුම් ක්‍රියාවලිය සරල කිරීමටත් එමගින් මෙහෙයුම් කටයුතු වඩා තරඟකාරිත්වයක් යටතේ සිදු කිරීමටත් මා යෝජනා කරනවා.

එසේම, ළඟා වන නැව් ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් නැව්වලට කරනු ලබන සැපයුම් සේවා, බංකර් පහසුකම් , නැව් කාර්ය මණ්ඩල මාරුවීම් වැනි ආනුශංගික සේවා ලබා ගැනීමට උනන්දු කරවීම පිණිස මේ සඳහා පිටත නැංගුරම් ගාස්තු පැය 12 ක් සඳහා නිදහස් කිරීමටත් මා යෝජනා කරනවා.

එසේම විශාල නැව් කුලියට ගැනීමේ ගාස්තු

ගාස්තු නැව තෙක් නොමිලේ (FOB) අගයෙන් සියයට 15 ක් හෝ සාමාන්‍ය නැව් කුලී ගාස්තු යන දෙකෙන් අඩු අගයට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්විය යුතු යැයි මා යෝජනා කරනවා

අප රට සංචාරකයින් ගේ ගමනාන්තයක් බවට පත්වීමත් සමඟ මගී නෞකා වැඩි වැඩියෙන් පැමිණෙනවා. එබැවින් එවැනි මගී නෞකා මෙහෙයවීම සඳහා විශේෂිත නැවතුම්පොළක් ලෙස බණ්ඩාරනායක ජැටිය වෙන්කර වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා.

සැපයුම් සේවා කේන්ද්‍රස්ථානය

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා නොයෙක් සාකච්ඡා කර තිබුන ද එම අංශයේ ක්‍රියාකාරකම්වල පැහැදිලි ප්‍රගතියක් දැකගත නොහැකි වී ඇත්තේ බොහෝ විදේශීය හා දේශීය ආයෝජන මගින් ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිඵල ජනනය කරන ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බැවිනි. අප විසින් කේන්ද්‍රස්ථාන මෙහෙයුම්කරුවන් වැනි පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති අතර, අපගේ අවධානයට ලක්කර ඇති කරුණක් වන්නේ දැනට පවතින ගැටලු ප්‍රායෝගිකව සලකා බලා විසඳන්නේ නම් අපනයන කාර්යසාධනය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි. අවධානයට යොමුවූ ප්‍රධාන ගැටලු වන්නේ අලුත් ව්‍යාපාර පිහිටුවීමට හා පවතින ව්‍යාපාර පුළුල් කිරීමට මෙම අරමුණ සඳහා හඳූනාගත් ප්‍රදේශවල අවශ්‍ය තරම් ඉඩකඩම් නොමැති වීමත්, ආයෝජන ක්ෂේත්‍රයේ පවතින බාධාවන් හා අවශ්‍ය තරම් ක්‍රියාකාරී මාර්ගෝපදේශන නොමැති වීම ආදියත්ය.

මෙම ගැටලු විසඳීම සඳහා අවශ්‍යතාවය අනුව දැනට පවතින අදාළ නීති රීති සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා. මෙම සංශෝධන තුළින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා වරායන්හි සිට කිලෝ මීටර් 5 ක දුරින් අවසරලත් මෙහෙයුම්කරුවන්ට කේන්ද්‍රීය කටයුතු සඳහා සුදුසු ප්‍රදේශ හඳූනාගැනීමට ඉඩ සැලසෙනවා. වසරක කාලයක් තුළ ආයෝජනය කළ යුතු කාරක ප්‍රාග්ධනය හා ස්ථාවර මූලධනය ද ආවරණය වන පරිදි මෙම නීති රීතිවල ඇති ආයෝජන අවශ්‍යතා ලිහිල් කරනවා. ලබාගනු ලබන අත්දැකීම් පදනම් කරගෙන මෙම කටයුතු පුළුල් කරනු ලබන අතර මේ සම්බන්ධව සියලුම අංශ ආවරණය වන පරිදි විශේෂිත මෙහෙයුම් මාර්ගෝපදේශ වහා නිකුත් කරනු ලබනවා.

දේශීය වශයෙන් භාණ්ඩ එකතු කිරීමක් රහිත බහුවිධ රටවල් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බහලුම්, ප්‍රති නැව්ගත බහලුම් ලෙස සැලකෙන අතර පර්යන්ත මෙහෙයුම් ගාස්තු මෙවැනි බහලුම් සඳහා අදාළ නොවේ. බහුවිධ රටවල් ඒකාබද්ධව මෙහෙයවන බහාලුම්වල රැගෙන එන භාණ්ඩ ගොඩබෑම ඉහත ගාස්තුවලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් ඕනෑම පරියන්ත ක්‍රියාකරුවකු සැපයීම් හා සේවා කේන්ද්‍රීය රෙගුලාසි මගින් පාලනය වන පරිදි සෑම පර්යන්තයකම ඉහත සඳහන් බහාලුම්වලින් භාණ්ඩ ගොඩබෑම පහසුකරවීමට ද මා යෝජනා කරනවා.

අන්තරාල වෙළෙඳාම

සැපයුම් හා සේවා පරිහරණ සඳහා වූ ගාස්තු ගෙවනු ලැබ ඇත්නම් 'විදේශ විනිමය අන්තර්ගත නොවූ 'අන්තරාල වෙළඳාම ආශ්‍රිත ආනයන හා අපනයන සඳහා ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දෙනු ඇත.

සංවර්ධනය පිණිස විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය

ගරු කථානායකතුමනි, ස්වයංපෝෂිත ආහාර බෝග වගාවන් / බෝග ආරක්ෂණය, සෞඛ්‍ය සම්පන්න ජන සංයුතියක් ඇතිකරලීම, ගෝලීය වටිනාකම් දාමය තුළ කටයුතු කිරීම තිරසර සංවර්ධන ඉලක්ක ලඟා කර ගැනීම සහ වඩාත් හොඳ රාජ්‍ය සේවයක් ලබාදීමේ ක්‍රමයක් ඇතුළු අපට සෑහීමකට පත්විය හැකි අපේම සංවර්ධනයක් සහ ප්‍රතිපත්ති ඉලක්ක ගැන අපට අවබෝධයක් ඇති කර ගැනීමට නම් විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා අප ප්‍රමාණවත් මුදලක් සහ සහායත් ලබාදීම වැදගත් යැයි මා විශ්වාස කරනවා. විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදනය (STI spectrum) වැඩිදියුණු කිරීම සඳහා පසුගිය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 826 ක් වෙන්කරන ලද අතර මේ වර්ෂය සඳහා රුපියල් මිලියන 1,306 ක් දැනටමත් වෙන්කර ඇත. රජය මේ වෙනුවෙන් සාමාන්‍යයෙන් ලබාදෙන මුදල් පිළිබඳ පවතින සැක සංකා මෙමගින් දුරුවන බව මට විශ්වාසයි. අපගේ රජය අවදානම් සහිත පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලට හවුල්කරුවෙකු වීමට කැමැත්තෙන් සිටින බවට මට සහතිකයක් දිය හැකියි. අපි විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදනය සඳහා මං සලසන පරිසරයකින් යුත් රටක් ඇති කිරීමට කැපවෙනවා.

පසුගිය වර්ෂයේ දී නව්‍යකරණ වේගවත් කිරීමේ අරමුදල හඳුන්වා දීමේ අරමුණ වූයේ නව්‍යකරණයේ දී අවසන් අදියරට අවශ්‍ය මූල්‍ය සම්පාදනය හා ඒවා වාණිජකරණයයි. මෙම නව උත්පාදන අංශය සඳහා අරමුදල් සැපයීම අඩුවීම හේතුවෙන් ඒවාට ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම අවහිර වී ඇති බව අප තේරුම්ගෙන ඇති අතර නව්‍යකරණ වාණිජකරණය කළ යුතුයි. මෙය සරලව කිවහොත් පර්යේෂණ මුදල් බවට පරිවර්තනය කිරීමය. එබැවින් නව්‍යකරණ කටයුතු තවදුරටත් කරගෙන යාම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

විශේෂයෙන් ඖෂධ නිෂ්පාදනය ජාන තාක්ෂණ ආදී කර්මාන්තවල නිරත සමාගම්වලට පහසුකම් සැලසීම සඳහා ජීව තාක්ෂණ නව්‍යකරණ උද්‍යානයක් ආරම්භ කරනු ලබනවා. විද්‍යා, තාක්ෂණ සහ නව නිපැයුම් සඳහා වන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI) රාජ්‍ය සහ පෞද්ගලික අංශ හවුල්කාරීත්වයෙන් යුතුව මෙම ජීව තාක්ෂණ උද්‍යානය ඇති කිරීම සඳහා පෙරමුණ ගන්නා ලෙස දිරිමත් කරනවා. ඒ සඳහා රජය විසින් ඉඩම්, විදුලිය සහ ජල පහසුකම් වැනි උපයෝජන සේවා ලබා දෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ඉලෙක්ට්‍රොනික අංශයේ විශේෂිත ක්ෂේත්‍ර සඳහා සමාගම් ඇති කිරීමට සහාය වීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් ඉලෙක්ට්‍රොනික නිර්මාණ මධ්‍යස්ථානයට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එමෙන්ම SLINTEC ආයතනය සඳහා තවත් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රොබෝ තාක්ෂණය භාවිතය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Center for Excellence in Robotics Applications (CERA) ඇති කිරීමට අප දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර එහි කාර්යයන් තව දුරටත් ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ජාන විද්‍යාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

කාර්මික තාක්ෂණ ආයතනය තුළ ඖෂධ විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

ජෛව විද්‍යාත්මක උපයෝජන ද්‍රව්‍ය, උපකරණ සහ නියැදි ආනයනය කරන විට රේගුවේ දී විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව මා තේරුම්ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙන්ම අනෙකුත් අදාළ පාර්ශවයන්හි සහභාගීත්වයෙන් මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. එසේම, මූලාකෘති (Prototypes) නිර්මාණය කිරීම සඳහා අදාළ වන රේගු ගාස්තු ඉවත් කරනවා.

අප රොබෝ තාක්ෂණය, සත්‍යාන්ත්‍රික විද්‍යාව (Cybernetics), ඉලෙක්ට්‍රොනික ආදිය සම්බන්ධයෙන් නැ'ගී එන කර්මාන්තවලට සහාය ලබාදීම පිණිස එවැනි කර්මාන්ත සඳහා බදු සහන ලබා දීමට මා යෝජනා කරනවා.

වැඩි වශයෙන් පර්යේෂණ සහ සංවර්ධන ධෛර්යමත් කිරීම සඳහා ඵලදායී ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩල උනන්දු කරවීමටත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන් රඳවා තබා ගැනීමට හැකි වනසේ හ්ර්ෂෙ දර්ශකයට (Hirsche Inex) අනුකූල විනිවිදභාවයකින් යුතු පර්යේෂණ මත පදනම් වූ කාර්ය සාධන ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මා යෝජනා කරනවා. මෙය දැනටමත් ගෙවන පර්යේෂණ දීමනාවලට අමතරව ක්‍රියාත්මක වේ.

ගරු කථානායකතුමනි, නිෂ්පාදන සැලසුම් ඉංජිනේරු විද්‍යාව, Product Design Engineering (PDE) යනු, දැනට පවතින තාක්ෂණය, ඒවායේ උපාංග සහ මොඩියුලයන් ඒකාබද්ධ කොට භාණ්ඩ සැලසුම් කරන විද්‍යාවයි. මෙය පර්යේෂණ හා සංවර්ධනය නොවේ. නිෂ්පාදන සැලසුම් ඉංජිනේරු විද්‍යාව ඉල්ලුම අනුව නිෂ්පාදනය කිරීමට ඉඩකඩ සලසන අතර, මා විශ්වාස කරන පරිදි ඩ්‍රෝන (Drones) වැනි යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දැනටමත් ඇති තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කළ හැකියි. ඒ අනුව මෙම කර්මාන්තයට පහසුකම් සැලසීමට මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 5 කින් යුත් අරමුදලක් ඇති කිරීමට මා යෝජනා කරනවා. මෙම කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින්ට ණය සහ ඇපකර ලබා දෙමින් අනුග්‍රහය දැක්වීම මෙම අරමුදල මගින් සිදු කරනු ඇත. මේ සඳහා 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අපේ රට තුළ යහපත් ලෙස නව ආයතන බිහිවීමේ වාතාවරණයක් බිහි වී තිබෙනවා. මෙවැනි අලුතින් බිහිවන ආයතනවලට සහාය වීම සඳහා නැණසල සමඟ සහයෝගීතාවය ඇතිව දිස්ත්‍රික්ක 5 ක ඉන්කියුබේටර්ස් (Incubators) ඇති කිරීමට මා යෝජනා කරනවා. තවද, වර්ෂ 2020 වන විට දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පෞද්ගලික හා රාජ්‍ය අංශ හවුල්කාරීත්වයෙන් ඒවා ව්‍යාප්ත කිරීමට අදහස් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

සංචාරක කර්මාන්තය

ගරු කථානායකතුමනි, 2015 හා සසඳන විට 2016 මුල් කාර්තු තුන තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම සියයට 15 කින් වැඩිවී තිබෙනවා. සංචාරකයින්ගෙන් ලැබෙන ශුද්ධ ඉපැයීම වැඩි කර ගැනීමේ අභියෝගයකට අපට මුහුණ දීමට සිදුවී ඇත. මෙම වාතාවරණය තුළ රජය විසින් ප්‍රධාන සංචාරක ප්‍රදේශ වශයෙන් ත්‍රිකුණාමලයේ සිට පාසිකුඩා දක්වාත්, මඩකලපුව සිට ආරුගම්බේ දක්වාත්, මොණරාගල ඇල්ල තීරයත්, හලාවත සිට කල්පිටිය දක්වා වූ කලාපයත් සහ දේද්දුව වැවේ සිට අකුරල දක්වා වූ ප්‍රදේශයත් හඳුනාගෙන තිබෙනවා. එසේම ඇල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ යන ප්‍රදේශ පරිසර හිතකාමී සංචාරක ත්‍රිකෝණ ලෙස ද හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ නියාමන රාමුවක් ඇතිකිරීම තුළින් මේ සඳහා වඩා හොඳ පරිසරයක් ගොඩනැගීමට අප කටයුතු කරන්නෙමු. ඇත්ත වශයෙන්ම, මේ වන විටත් අප බදුල්ල දිස්ත්‍රික්කය තුළ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අභ්‍යන්තර ගුවන්තොටුපලක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. එයට සමගාමීව බදුලු දිස්ත්‍රික්කය දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා.

ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,900 ක් ඉක්මවා ගිය ආදායම් උපදවමින් සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් පවතී. මෙම කර්මාන්තය මධ්‍ය කාලීනව ප්‍රධාන වර්ධන අංශයක් වන අතර රටේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සහ රැකියා උත්පාදනය සඳහා මේ තුළ විශාල ඉඩකඩක් තිබෙන බව මා විශ්වාස කරනවා.

අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ සුදුසු නියාමන තත්ත්වයක් ඇති කිරීම තුළින් මෙම අංශයට සහයෝගය ලබා දීම අපගේ සැලසුම වෙනවා.

වසර 10 කට වැඩි කාලයක් මෙහෙයුම් කටයුතුවල යෙදී සිටින හෝටල් වර්තමානයේ දී නවීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නවීකරණය කරමින් උසස් කිරීම සඳහා අප විසින් සහයෝගය ලබා දෙනවා. මේ සඳහා රුපියල් බිලියන 25 කට ආසන්න මුදලක් වැය වනු ඇත. මේ වෙනුවෙන් දරන ලද වියදම් සඳහා පොලී සහන රජය විසින් ලබා දීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

බොහෝ දෙනෙකු දන්නා ආකාරයට හෝටල් කාමර, ප්‍රවාහන පහසුකම් ආදිය agoda, airbnb, bookings.com ආදී අන්තර්ජාල වෙබ් අඩවි හරහා වෙන් කළ හැකියි. ගෙවීමට නියමිත අදාළ බදු ප්‍රමාණයන් සහ සෙස් බද්ද ගෙවීම මඟ හරිමින් මාර්ගගත ප්‍රවාහන ඒජන්තවරුන් (online travel agents) තම මෙහෙයුම් රට තුළ ව්‍යාප්ත කර තිබෙනවා. මා විසින් පසුගිය දිනවල හෝටල් ක්ෂේත්‍රයේ අදාළ පාර්ශවයන් සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් රට තුළ නවාතැන් සැපයීමේ ව්‍යාපාරයට පොදු තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. මෙයටම ආගන්තුක සත්කාරයට අදාළ බදු ප්‍රතිපත්තියක් ද ඇතුලත් කරනු ඇත. මෙම පොදු තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ විධිමත් ක්ෂේත්‍රයට අදාළවන බදු පැනවීම සඳහා මා යෝජනා කරනවා. මේ යටතේ රුපියල් බිලියන 25 ක පමණ ආදායමක් අපේක්ෂා කළ හැකිය.

සංචාරක කර්මාන්තයට අදාළ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ සංචාරක කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම පිණිස වසරකට රුපියල් මිලියන 12 කට වඩා අඩු ආදායමක් සහිත ව්‍යාපාර වෙනුවෙන් සියයට 0.5 ක සංචාරක සංවර්ධන බද්දක් පැනවීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ආගමික නිවාඩු දිනවල හැර ඉතිරි සෑම දිනකම සංචාරක ප්‍රවර්ධන අරමුදල උපයෝගී කර ගනිමින් විවිධ වර්ගයේ සංස්කෘතික සංදර්ශන පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙසට මා සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සැලසීම වෙනුවෙන් මේ වන විට ඉලෙක්ට්‍රොනික වීසා ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. සංචාරකයින් දිවයිනට ගොඩබසින අවස්ථාවේ දීම වීසා ලබා දීමට (on arrival) තවදුරටත් මා යෝජනා කරනවා. එසේ වුවද, වීසා කාලය ඉකුත් වී නැවතී සිටින්නන් හට රුපියල් ලක්ෂ 5 ක දඩයක් නියම කරනු ලබනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය තුළින් ඒ හා බැඳුණු කර්මාන්ත ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා. දේශීය නිෂ්පාදන වෙනුවෙන් ඉහළ වටිනාකම් නිර්මාණය වන ආකාරයට සංචාරක ව්‍යාපාරය තුළ එම නිෂ්පාදන භාවිතා කිරීම දිරිමත් කරනවා. මෙමගින් ආර්ථිකයේ දේශීය එකතු කළ වටිනාකම් දාමය ශක්තිමත් වනු ඇත. මෙය ශ්‍රී ලංකාව පිළිබඳ අනන්‍යතාවය වර්ධනය කිරීමට ද උපකාරී වනු ඇත.

සංචාරක ආකර්ෂණය දිනා ගත් පින්නවල, පේරාදෙණිය උද්භිද උද්‍යානය, කොළඹ කෞතුකාගාරය වැනි ස්ථාන සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත වශයෙන් ඇති මග පෙන්වීම්, විස්තර පත්‍රිකා ආදිය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවතීමත් සහ ඒවා යල්පැන

ගිය ඒවා වීමත් යන්න පවත්නා පොදු චෝදනාවක්. එම නිසා මෙම තත්ත්වය නිවැරදි කිරීමට වහාම නිසි පියවර ගන්නා ලෙස මා අදාළ ආයතනවලින් ඉල්ලා සිටිනවා. මේ සඳහා රුපියල් මිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, පසුගිය වසර කිහිපය තුළ දී MICE Industry - සම්මේලන ස්ථාන කර්මාන්තය සඳහා ඉහළ පිළිගැනීමක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ එවැනි පහසුකම් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම සඳහා ආසන 5,000 කින් යුත් MICE සම්මේලන මධ්‍යස්ථානයක් 2019 වර්ෂය වන විට කොළඹ නගරයේ ඉදිකර අවසන් කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. තර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂලතා සඳහා වන අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය (CITES Convention) පාර්ශ්වකරුවන්ගේ රැස්වීම 2019 වර්ෂයේ දී කොළඹ දී පැවැත්වෙන බව මා සඳහන් කිරීමට කැමතියි. ඒ සඟම එවැනි MICE මධ්‍යස්ථාන මහනුවර, අනුරාධපුරය, ගාල්ල, මඩකලපුව, බදුල්ල යන දිස්ත්‍රික්කවල පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙහි හවුල්කාරීත්වයෙන් (PPP) ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල ඉඩ ප්‍රස්ථා ඇති නැගෙනහිර වෙරළ තීරයේ දේශීය අත්කම් ප්‍රදර්ශන සහ අලෙවි පහසුකම් ඇති විවිධ ඒකාබද්ධ තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

ජල ක්‍රීඩා සඳහා රට තුළ පවතින විශාල ඉඩකඩ සැලකිල්ලට ගෙන මුහුදු රළ මත ලිස්සා යන බෝට්ටු (Surf Boards), ජලමත ක්‍රීඩා කිරීමේ බයිසිකල් (Quad Bikes), විවේකය ගත කිරීම සඳහා බෝට්ටු (Leisure Boats), සහ ජෙට් බෝට්ටු (Jet Skis) වෙනුවෙන් රේගු බදු සහන ලබා දීමට මා යෝජනා කරනවා.

කුඩා රුවල් නැව් ශ්‍රී ලංකාව තුළ බාධාවකින් තොරව ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි වෙළඳ නාවික අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලබනවා.

ශ්‍රී ලංකාව තුළ සුව සේවා සංචාරක කර්මාන්තය සඳහා ඉතා ඉහළ ඉඩකඩක් පවතී. එසේ වුවත්, ඉහළ තත්ත්ව පාලනයන් පවත්වා ගැනීම සඳහා ශක්තිමත් නීති රාමුවක් හා සුපරීක්ෂා කිරීම් සඳහා යාන්ත්‍රණයක් තුළින් මෙම අංශය ප්‍රවේශමින් කළමනාකරණය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ඇති එක් ගැටලුවක් වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපගේ රක්ෂණ ක්‍රමවේදය තුළ ආවරණය නොකිරීමයි. එමනිසා විදේශීය රක්ෂණ සමාගම් ද තම රක්ෂණ ආවරණ ලබා දීමේ දී ආවරණය කළ හැකිව තිබෙන මෙම ක්ෂේත්‍රය ආවරණය නොකිරීමට හේතුවක් කර ගනී. එබැවින් මා දේශීය රක්ෂණ සමාගම්වලින් ඉල්ලා සිටින්නේ මෙම ක්ෂේත්‍රය ආවරණය කිරීමට ද කටයුතු යොදන ලෙසයි.

නාගරික හෝටල්වලට අදාළවන අවම කාමර කුලියෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව රජය ඉතා සමීපව අධීක්ෂණය කරනු ලබනවා. අවම ගාස්තු ක්‍රමය 2018 දී නිම කරනවා. අවම ගාස්තු තීරණය කිරීම තුළින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගෙන තිබේ නම් දිගු කාලීන තරඟකාරී මිල ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එම ප්‍රතිපත්ති තීරණය නැවත සලකා බලනවා.

අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් දෙන ලද උපදෙස් පරිදි මුම්ටාස් මහල් සහ ඇක්ලන්ඩ් හවුස් රාජ්‍ය අමුත්තන් වෙත නවාතැන් සපයා දිය හැකි තත්ත්වයේ අලංකාරත්වයෙන් යුත් පූර්ණ කුඩා හෝටල් බවට පත් කිරීමට යෝජනා කරනවා.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංචාරක බංගලා ජාලයක් අප සතුව පවතිනවා. මෙම සංචාරක බංගලා අතුරින් සමහරක් ඉතා හොඳින් නඩත්තු කරන අතර ඉන් කොටසක් දැඩි ලෙස නොසලකා හැර ඇත. එබැවින් මෙම සියලුම සංචාරක බංගලා එක් අධිකාරියක් යටතට පත් කිරීමට මා යෝජනා කරනවා. ඒ තුළින් මේවායේ තත්ත්වය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

සංචාරක කර්මාන්තයේ වර්ධනය පිණිස නිසි ආරක්ෂාවක් සපයා දීම ඉතා වැදගත්.

ගරු කථානායකතුමනි, එම නිසා ප්‍රධාන සංචාරක ස්ථානවල, ආරක්ෂාව තර කිරීම උදෙසා සංචාරක කටයුතු බහුල ප්‍රදේශවල සංචාරක පොලීසි ස්ථාපිත කිරීමට මා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙම පියවර අනුව අදාළ ප්‍රදේශවල සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු වන අතර එමගින් ඔවුන්ගේ සංචාරය සාමකාමී වනු ඇත.

ඉහළ සබඳතාවයක් සහ මනා සංචලතාවක් ඇතුලත් දියුණු ප්‍රවාහන පද්ධතියක්

ගරු කථානායකතුමනි, තිරසාර වූ ඒකාබද්ධ ප්‍රවාහන උපාය මාර්ගයක අවශ්‍යතාවයක් කාලයක සිට පවතී. ප්‍රවාහන යටිතල පහසුකම් යනු සංවර්ධනයේ ප්‍රබල දර්ශකයක් වන අතර එය ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන ප්‍රබල සාධකයකි. ප්‍රවාහන පහසුකම් පිළිබඳව බහුවිධ පැති මානයන් ඇතුලත් ප්‍රවේශයක් අප සතුව ඇති අතර මහානගර සැලැස්ම යටතේ බස්නාහිර පළාත තුළ පවතින ප්‍රවාහන ගැටලු රාශියක් විසඳෙනු ඇත. මෙයට සමගාමීව නවීකරණය කරන ලද දුම්රිය මාර්ග පද්ධතියක්, විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් සහ රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරන පරිදි අධිවේගී මාර්ග පද්ධතියක් අපගේ උපායමාර්ගවල ඇතුලත් වී ඇත.

මධ්‍යම - රුවන්පුර අධිවේගී මාර්ග 2019දී වැඩ අවසන්

අප රජය බලයට පත් වූ දා සිට අධිවේගී මාර්ගවල වියදම අඩු කිරීමට විශාල උත්සාහයක් දැරූ බව මා සඳහන් කිරීමට කැමතියි. අපගේ උත්සාහයට ප්‍රතිඵල ලැබුණු බව දැන් මා ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්. එමඟින් සියයට 22 ක් පමණ වියදම අඩු කරන්න සමත් වුණු බැව් සඳහන් කරන අතර එසේ නොවුනානම් එම මුදල නාස්ති වෙන්න තිබුණා. ගරු කථානායකතුමනි, මින් පෙනෙන්නේ යහ පාලනය ක්‍රියාත්මක වෙමින් පවතින බව ජල ව්‍යාපෘති, විදුලි බල සහ නිවාස ව්‍යාපෘති සඳහා එම ක්‍රමවේද අනුගමනය කරමින් වියදම් අඩු කරන ලෙස අදාළ විෂයභාර අමාත්‍යාංශවලින් සහ මහා භාණ්ඩාගාරයෙන් මා ඉල්ලා සිටිනවා.

මෙම සභාවට මා කියන්න කැමතියි මධ්‍යම අධිවේගී මාර්ගය සහ රුවන්පුර අධිවේගී මාර්ගය ඇ. ඩොලර් බිලියන 6 ක් වැයකොට 2019 වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂිත බව. මෙය සැලකිය යුතු ආර්ථික හා සමාජීය ප්‍රතිඵල ලබා දෙන භූ දර්ශන වෙනස් කරන ආයෝජනයකි. තවද, ඉදිරියේ දී කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කරනු ලැබේ. ඊට අමතරව දකුණු අධිවේගී මාර්ගය 2018 ජූලි පමණ වන විට ගොඩගම සිට හම්බන්තොට දක්වා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනවා. කඩවත සිට කෙරවලපිටිය දක්වා වන පිටත වටරවුම් මාර්ගය 2019 ජූලි වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.

නව කැලණි පාලම හා අතුරුගිරිය යා කරමින් උන්නත මාර්ගයේ (Elevated) වැඩ කටයුතු ද කැලණි පාලම සිට වරාය දක්වා දිවෙන මාර්ගය ද අප විසින් 2017 වසරේදී ආරම්භ කර ඇත. කොළඹ නගරයේ වාහන තදබදය ලිහිල් කිරීම සඳහා පහත සඳහන් නගර ඇතුලත්ව බස්නාහිර පළාත තුළ හඳූනාගත් ප්‍රවේශ දොරටු 7 ක් ඔස්සේ ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් ද (LRT) අප විසින් හඳූන්වා දෙනු ලබනවා.

අ. බොරැල්ල - බත්තරමුල්ල - මාලබේ

ආ. කොට්ටාව - මාලබේ

ඇ. මාලබේ - කඩුවෙල

ඈ. පෑලියගොඩ - කඩවත

ඉ. කොටුව - මරදාන - මට්ටක්කුලිය - පෑලියගොඩ

ඊ. දෙමටගොඩ - කිරුලපන - බම්බලපිටිය

එ. කොටුව - බම්බලපිටිය - බොරැල්ල - මරදාන

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා අප රජය වර්ෂයකට රුපියල් බිලියන 25 ක් මූල්‍යනය කරනු ලබනවා. ප්‍රවාහන සේවා ඉතා අයහපත් මට්ටමකින් ක්‍රියාත්මක වන නිසා රටට විශාල ආර්ථික පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. එසේ වුවත්, මෙම ආයතන දෙකම වාණිජමය වශයෙන් වාසිදායක ව්‍යාපාර සැලැස්මක් මත දැනට ප්‍රයෝජනයට නොගෙන ඇති වත්කම් යොදාගෙන ස්වයං මූල්‍යකරණ ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වීමට 2018 වර්ෂයෙන් පසුව හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

එසේම, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඔවුන් සතු බස්රථ හා දුම්රිය ප්‍රචාරණය සඳහා ලබා දී අමතර ආදායම් මාර්ග ඇති කර ගැනීමට දිරිමත් කරනවා.

කොළඹ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව පොදු ප්‍රවාහන සේවය නවීකරණ වැඩසටහන යටතේ කොළඹ නගරය සහ යාබද නගරවල බස්රථ සඳහාම වෙන්වූ මංතීරු හඳුන්වා දෙනු ලබනවා.

ඒ සමඟම වේයන්ගොඩ සිට පානදුර දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දුම්රිය ධාවනය විදුලිබලයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය දැනටමත් සිදු කෙරෙමින් පවතී.

පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා කොටසේ සහ අළුත්ගම සිට ගාල්ල දක්වා කොටසේත් දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු 2017 වර්ෂයේදී ආරම්භ කරනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන්කරනු ලබනවා. එමෙන්ම, උතුරු දුම්රිය මාර්ගය කන්කසන්තුරේ සිට පොන්නලේ දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. එය ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර් සහ චංකානේ යන ප්‍රදේශවල මහජනයා වෙත ගමනාගමනය පහසු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට රුපියල් මිලියන 3,000 ක් පමණ අවශ්‍ය වන අතර එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මත සිදු කිරීමට අපේක්ෂා කරනවා.

පුත්තලම සිට කොළඹ දක්වා සහ කොළඹ සිට ගාල්ල දක්වා ජලාශ්‍රිත ප්‍රවාහන කටයුතු දිරිමත් කරන අතර ඒ සඳහා රජය විසින් තොටුපොලවල් සඳහා ආයෝජනය කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු වර්ධනය කිරීමට අධිවේගී බෝට්ටු සහ යාන්ත්‍රික බෝට්ටු සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරන අතර ඔවුන් සඳහා බදු සහන ලබා දීමට යෝජනා කරනවා.

අපගේ මාර්ගවල අද වන විට මිලියන 1.3 ක් පමණ ත්‍රිරෝද රථ ධාවනය වෙනවා. වැඩියෙන්ම අනතුරුවලට ලක්වන්නේ ඒවායි. එමනිසා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා ත්‍රිරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් රථ හඳුන්වා දීම දිරිමත් කරනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස රජය විසින් බැංකු මගින් ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ඔස්සේ විද්‍යුත් කාර් රථ 1,000 ක් මිලදී ගැනීමට උපකාර කරනු ඇත. මෙහිදී රජය විසින් ඔවුනට වැයවන පොලී මුදලින් සියයට 50 ක් දරනු ලබන අතර 2017 වසර සඳහා රුපියල් මිලියන 200 ක් ඒ වෙනුවෙන් වෙන් කිරීමට යෝජනා කරනවා.

පාසැල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ හිමියන්ට ආසන 32 බස් රථවලට මාරුවීමට දිරි ගන්වනවා. මේ සඳහා සියයට 75 ක පොලී සහනාධාරයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ත්‍රිරෝද රථ ග්‍රාමීය සහ නාගරික යන දෙඅංශය තුළම ඉතා වැදගත් ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. නියාමන ක්‍රමවේදයේ දැනට තිබෙන අඩුපාඩු නිසා මෙම කර්මාන්තයේ වර්ධනය අක්‍රමවත් ලෙස සිදුවේ. මෙම තත්ත්වය පාසැල් වෑන් රථ අංශයට ද පොදුය. පැහැදිළිවම ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් හා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන් මෙම ක්ෂේත්‍රය සඳහා නියාමන යාන්ත්‍රණයක් එම කර්මාන්තයේ දියුණුව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම පිණිස නියාමනයක් කිරීමට ත්‍රිරෝද රථකරුවන් සහ පාසල් වෑන් රථ ක්‍රියාකරුවන් එකඟ වනු ඇත. ඒ අනුව ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ නියාමනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට මා යෝජනා කරනවා. මෙම නියාමන යාන්ත්‍රණය තුළ සියලුම ත්‍රිරෝද රථ සහ වෑන් රථ තම සේවා ලබා දීමට නම් ලියාපදිංචි විය යුතුය. ඒ සමඟ මෙම නියාමන අධිකාරිය විසින් මෙම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් කාලානූරූපීව සකස් කිරීමට හා කර්මාන්තයට අදාළ යෝග්‍යතා පරීක්ෂණ ද සිදු කළ යුතුයි.

මගීන් සඳහා ඉහළ සේවාවක් ලබා දීම සහ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ සංගමය විසින් ඒකාබද්ධ කාලසටහන් යටතේ ප්‍රවාහන කටයුතු සිදුකළ යුතුය. සම්පත්වල ඉහළ උපයෝජනය තහවුරු කරමින් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හවුල්කාරීත්වය ඇතිව “නාගරික ප්‍රවාහන සංස්ථාවÓ නමින් නව ආයතනයක් පිහිටුවනු ලබනවා.

මාර්ග සහ දුම්රිය ප්‍රවාහනයෙන් ඉහළ සේවයක් ලබා දීම සඳහා පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීමට යෝජනා කරනවා. ආදායම්හි වර්ධනයත් සමඟ බස් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරන ලෙස ප්‍රවාහන සේවා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගුවන් සේවා කර්මාන්තය

එසේම 2017 මාර්තු 31 දිනට ප්‍රථම නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිතයි. ගුවන් හමුදාව, හෝටල් කර්මාන්තය, සංචාරක නියෝජිතයන් හා අනෙකුත් පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් හා එක්ව රාජ්‍ය පෞද්ගලික සහභාගීත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් සේවය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙහි ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපේ රටට ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය තුළ ගුවන් නියමු පුහුණු කිරීම කර්මාන්තයක් ලෙස වර්ධනය වෙන තත්ත්වයට පත්වී තිබෙනවා. ඒ අනුව, මේ සඳහා පහසුකම් සැලසීමට ගුවන් යානා ඉන්ධන තරඟකාරී මිලකට ලබා දෙන ලෙස ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටිනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියට යටත්ව ගුවන් යානා අමතර කොටස් සියලුම බදුවලින් නිදහස් කරනවා.

පොදු පහසුකම් නිසි කළමනාකරණය 

ජලය

ගරු කථානායකතුමනි, වර්තමානයේ දී ජනගහනයෙන් මිලියන 9.6 ක් හෝ සියයට 46 ක් වෙනුවෙන් පවතින ආරක්ෂිත පානීය ජල සම්පාදනය 2020 වන විට ජනගහනයෙන් සියයට 60 ක් හෝ මිලියන 12.6 ක් ආවරණය වන පරිදි වැඩි කරනු ඇත. මේ සඳහා අමතර වශයෙන් කියුබික් ලීටර් 600,000 ක් දිනකට අවශ්‍ය වේ. අක්‍රමවත් වැසි රටා, භූගත ජලය හිඟකම, භූගත ජලය අපවිත්‍රවීම යන පාරිසරික ගැටලු ජලසම්පාදන පහසුකම් සැපයීමේ දී අභියෝගයක් වී ඇත. එමෙන්ම, ඉදිරි වසර තුන සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 300 ක වත් ආයෝජනය කළ යුතුය. කෙසේ වෙතත්, ජනතාව සඳහා පිරිසිදු ජලය ලබා දීම වෙනුවෙන් අපගේ රජය කැපවී සිටිනවා. මෙයින් තිරසාර සංවර්ධන ඉලක්ක ලඟා කර ගැනීම සඳහා සියලු මනුෂ්‍යයින්ගේ මානුෂික අවශ්‍යතා ලබා දීම කෙරෙහි අපගේ ඇති කැපවීම මෙයින් පිළිබිඹු වෙනවා. ඒ අනුව මේ වන විට අප ආසන්න වශයෙන් රුපියල් බිලියන 428 ක් අවශ්‍ය වන ව්‍යාපෘති 35 ක් පමණ ආරම්භ කොට තිබෙනවා. මෙම ව්‍යාපෘතිවලට ආණමඩුව ජල ව්‍යාපෘතිය, කැලණි දකුණු ඉවුරු ව්‍යාපෘතිය, කුණ්ඩසාල-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර සහ යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුලත් වෙනවා.

මෙයට අමතරව, වැඩි දුරටත් ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීම පුළුල් කිරීම හා කඩිනම් කිරීම පිණිස ඉදිකිරීම් අයිතිය සහ ක්‍රියාත්මක කිරීම (Build, Own and Operate) යන ක්‍රමවේද යටතේ ජලය ව්‍යාපෘති කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබා දීමට යෝජනා කරනවා. 2017 වර්ෂය තුළ මේ සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 150 ක් වත් ආයෝජන ඇති කිරීමට අපේක්ෂා කරනවා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පවත්නා කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ වූ ශක්‍යතා සලකා අපගේ රජය ජලය, විදුලිය වැනි පොදු පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 600 ක් ත්‍රිකුණාමල ජල සැපයුම් ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

යාපනය සහ පුත්තලම මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ඒකක පිහිටුවීමේ ශක්‍යතාවය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් පෞද්ගලික අංශයත් එක්ව රාජ්‍ය පෞද්ගලික සහභාගීත්ව ව්‍යාපෘතියක් ලෙස කටයුතු සිදුකිරීමට දිරිමත් කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

බලශක්ති

ගරු කථානායකතුමනි, තිරසාර සංවර්ධන රාමුව තුළ බලශක්තිය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රතිපත්තිය වෙනවා. එසේ වුවත් වැඩිවන දේශීය ඉල්ලුමට එරෙහිව ඉන්ධන මිල ඉහලයාම සහ පාරිසරික තත්ත්වයන් මත පැන නැගෙන අභියෝගයන් පැහැදිලිවම විකල්ප උපාය මාර්ගවල අවශ්‍යතාවය මතු කරනවා. නව තාක්ෂණික ක්‍රමවේදයන් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම ද නව මූල්‍ය ක්‍රමවේදයන් ද මෙම උපාය මාර්ගවලට ඇතුලත් වෙනවා.

වර්තමානයේ රටේ විදුලිබල උත්පාදනය මෙගා වොට් 4,000 ක මට්ටමක පවතී. වර්ධනය වන වාණිජ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත සඳහා 2020 වන විට විදුලිබල උත්පාදනය මෙගා වොට් 5,300 දක්වා ද 2025 දී මෙගා වොට් 7,500 දක්වා ද වැඩි කළ යුතු වෙනවා. තවද පරිසර හිතකාමී තිරසාර රාමුවක් තුළ බාධාවකින් තොරව අවම පිරිවැයට විදුලි බලය ලබාදීමට ද අප බැඳී ඉන්නවා.

මෙම පසුබිම තුළ රජය සිය බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායුව (LNG) සහ හරිත ශක්ති ප්‍රභවයන් ඇතුලත් කිරීමට ක්‍රමවේද සොයමින් සිටිනවා. පසුගිය කාලය තුළ විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන බොහෝ දුරට බලශක්ති ජනනය මුල්කොට ගෙන පැවතුනි. එමනිසා බලශක්ති සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා ද ප්‍රමාණවත් ආයෝජනයක් සිදුවන බවට සහතික විය යුතුය. මේ සඳහා සෑම පළාතක් තුළම සම්ප්‍රේෂණ පහසුකම් ඇති කිරීමට පෞද්ගලික අංශයේ සහභාගිත්වය ද දිරිගන්වනු ලබනවා.

මීට සමාන්තරව අප විසින් යෝජිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද එනම් ඛණිජ තෙල් නල පද්ධතිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම ද කඩිනම් කරනවා. උතුරු පළාතේ ඉන්ධන අඛණ්ඩව සැපයීම තහවුරු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) ආයතනය එක්ව කන්කසන්තුරේ පිහිටි තොග තෙල් ගබඩාව අත්පත් කරගෙන සංවර්ධනය කරනු ඇත. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම එක්ව ත්‍රිකුණාමලයේ ඉහළ කොටසේ ඇති තෙල් ටැංකි පද්ධතිය පුනරුත්ථාපනය කොට සංවර්ධනය කරනු ලබනවා.

ගරු කථානායකතුමනි, රට පුරා විදුලි සංදේශ කුලුනු 5,200 ක් පමණ පිහිටුවා තිබෙනවා. සෑම තොරතුරු සන්නිවේදන පහසුකම් සපයන්නෙකුටම මෙම සම්ප්‍රේෂණ කුලුනු ඉදිකිරීමට වියදමක් දැරීමට සිදුවී තිබෙනවා. එමනිසා රාජ්‍ය පෞද්ගලික සහයෝගීත්වය යටතේ මෙම විදුලි සංදේශ කුලුනුවල අයිතිය හිමි සමාගමක් පිහිටුවීමට මා යෝජනා කරනවා. වත්කම් හවුලේ භාවිතා කිරීම මගින් ඇතිවන හිතකර වාතාවරණය තුළින් තොරතුරු සන්නිවේදන කර්මාන්තයේ මෙහෙයුම් වියදම් අඩුකර ගැනීමට හැකියාවක් සහ විශේෂඥතාවයත් ගොඩනැගෙනවා.

මූල්‍ය අංශය

ගරු කථානායකතුමනි, අප රට මූල්‍ය කේන්ද්‍රයක් බවට පත්වීමට ඇති හැකියාව සලකා මේ වන විටත් රජය 'කොළඹ අන්තර් ජාතික මූල්‍ය කේන්ද්‍රය' පිහිටුවීමට අවශ්‍ය වන මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම කොළඹ අන්තර් ජාතික මූල්‍ය කේන්ද්‍රය පිහිටුවීමට අවශ්‍යවන නීති ඉක්මණින් මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මීට අමතර වශයෙන් මූල්‍ය අංශයේ වර්ධනය සහ ස්ථායිත්වය සහතික කිරීම සඳහා අවශ්‍යවන නියාමන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමුකර තිබෙනවා. මේ පසුබිම තුළ පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.

දැනට අප රට තුළ පාරිභෝගික මූල්‍ය පහසුකම් හා සේවා සඳහා විනිවිදභාවය සහ සාධාරණත්වය වැඩිදියුණු කරන මෙන්ම මූල්‍ය ගනුදෙනුකරුවන් ගේ අභිලාශයන් ආරක්ෂා කිරීම සඳහා කැපවූ අධිකාරී ආයතනයක් නොමැත. මේ හේතුව නිසා පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට යෝජනා කරනවා. මෙම ආයතනයට මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම, මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ මූල්‍ය වෙලඳපල හා ආයතනවල තරගකාරිත්වය ඇති කිරීම තුළින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. එමගින් මුළු රටේම මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වනු ඇත.

නීත්‍යානුකූල නොවන තැන්පතු යෝජනාක්‍රම සඳහා දැනට පවත්නා නීතිමය ප්‍රතිපාදන පවතින්නේ 1988 අංක 30 දරන බැංකු පනත තුළය. පිරමීඩ ක්‍රමය වැනි නීත්‍යානුකූල නොවන යෝජනා ක්‍රම මැඩලීම සඳහා පියවර ගැනීමට මෙම පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණවත් අධිකාරී බලය ලැබී නැත. මෙම පසුබිම තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවයට මෙවැනි නීත්‍යානුකූල නොවන තැන්පතු යෝජනා ක්‍රම මගින් ඇති කරන අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවට ශක්තිමත් නීති බලාත්මක කිරීමේ ප්‍රතිපාදන සහිත නව පනතක් ගෙන ඒමට මා යෝජනා කරනවා. එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව වඩා හොඳ මූල්‍ය නියාමකයකු වනු ඇත.

ගරු කථානායකතුමනි, දැනට 1990 අංක 02 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අදාළ වනුයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු කීපයකට පමණයි. එමනිසා බැංකු සහ මූල්‍ය ආයතනවල ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා 1990 අංක 02 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සඳහා සියලු බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට අදාළ වන පරිදි සංශෝධන හඳූන්වාදීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අප රජය භාරගන්නා අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගෙන් සමහරු සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්ව තිබූ අතර තවත් සමහරු වචනයෙන් පැවසිය නොහැකි තරම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පා තිබුණා. වගකිව යුතු රජයක් ලෙස අප දැනටමත් කුඩා පරිමාණ තැන්පත් කරුවන්ගේ තැන්පතු නිරවුල් කරදී තිබෙනවා. ඉදිරියේදී ඉතිරි ගෙවීම් ද නිරවුල් කිරීමට කටයුතු කරනවා. මේ සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ගෝල්ඩන් කී සමාගමේ සියලු වත්කම් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි, බොහෝ මූල්‍ය සමාගම්වල අය නොවන ණය ශේෂ අනුපාත ඉහල මට්ටමක පවතින නිසා එම සමාගම් සමස්ත මූල්‍ය ක්ෂේත්‍රයට ඇති කරනු ලැබිය හැකි අවිනිශ්චිත හානිකර තත්වයන් හඳූනාගෙන එලෙස අසාර්ථකවන මූල්‍ය සමාගම්වලට සහායවීම සඳහා පසුගිය වසරේදී මා මූල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක් පිහිටුවීමට යෝජනා කළා. ඒ අනුව අගතියට පත් මූල්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම ආයතනය පිහිටුවීමට ආරම්භක ස්කන්ධ ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 10 ක් වෙන්කිරීමට ද වසර 7 කින් කල් පිරෙන රුපියල් බිලියන 10 ක් වටිනා භාණ්ඩාගාර බැඳූම්කරයක් නිකුත් කිරීමටද මා යෝජනා කරනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා විදේශීය මුදල් හුවමාරුකරුවන් සඳහා බලපත්‍ර 200 ක් නිකුත් කිරීමට මා යෝජනා කරනවා.

බැංකුකරණය

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ ඇති මූල්‍ය වත්කම් පදනමින් සියයට 65 ක් පමණ වන රුපියල් බිලියන 5,600 ක ප්‍රමාණය, 34 ක් වන මුළු බැංකු සංඛ්‍යාවෙන් බැංකු 6 ක් වටා කේන්ද්‍ර ගතවී තිබෙනවා. ඉතිරි බැංකු 28 ම සතු වන්නේ මුළු වත්කම් ප්‍රමාණයෙන් ඉතිරි සියයට 35 පමණි. 2019 වර්ෂය වන විට බැංකු විසින් “Basel III” අවශ්‍යතාවයන් සපුරාලිය යුතු හෙයින් මූල්‍ය ආයතන ඒකාබද්ධ වීම දිගුකාලීන වශයෙන් ප්‍රතිඵලදායී වන බව රජයේ විශ්වාසයයි. එමනිසා විශේෂයෙන් පෞද්ගලික අංශයේ බැංකු ස්වකැමැත්තෙන් ඒකාබද්ධ වීම ධෛර්යමත් කරනවා. එවැනි බැංකු ඒකාබද්ධ වීම් මගින් බැංකුවේ පරිමාව විශාල වීම, විවිධ මූල්‍ය ප්‍රභවයන්ගෙන් අරමුදල් රැස් කර ගත හැකිවීම, සහ අවදානම් දැරීමේ හැකියාවන් වර්ධනය වීමද සිදුවෙනවා. එමෙන්ම එමගින් දැනට වඩා වැඩි ප්‍රමාණයකින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘතිවලට දායක වීමට ඉඩ කඩ ලැබෙන අතර මෙහෙයුම් වියදම් අවම වීම තුළින් වැඩි වාසි අත්කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. මේ සඳහා අපගේ බැංකු ඉහළ මට්ටමකින් ප්‍රාග්ධනීකරණය කළ යුතු අතර බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා අවම ප්‍රාග්ධනය රුපියල් මිලියන 20,000 ක් ද බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා රුපියල් මිලියන 7,500 ක් ද ප්‍රාථමික තැරැව්කාර සමාගම් සඳහා (primary Dealers) රුපියල් මිලියන 1,500 ක් ද දක්වා වැඩිකිරීමට මා යෝජනා කරනවා.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC බැංකුව) හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඒකාබද්ධ කොට එක් නිවාස බැංකුවක් ස්ථාපිත කිරීමට කටයුතු ආරම්භ කරනු ඇත. මේ සඳහා ප්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 7,500 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

තවද, ග්‍රාමීය අංශයෙහි ක්ෂද්‍ර ණය දීම අරමුණු කරගත් ශක්තිමත් බැංකුවක් ඇතිකිරීම සඳහා සමුපකාර ග්‍රාමීය බැංකු සහ දිවිනැගුම බැංකුව ඒකාබද්ධ කරනු ඇත.

ගරු කථානායකතුමනි, දැනට බැංකු සඳහා තනි කොටස්කරුවකුගේ අයිතිය සියයට 10 කට සීමා වී ඇත. උපරිම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවා කළ හැක්කේ අවුරුදු 9 ක්

පමණි. මෙම කරුණු බැංකු ඒකාබද්ධතාවය පිළිබඳ අලුත් ප්‍රතිපත්ති යටතේ යළි සලකා බැලිය යුතු වෙනවා.

බැංකුවේ ණය කළඹ (Lending Portfolio) තුළ සියයට 10 ක් කෘෂිකර්මය සඳහා ද සියයට 10 ක් සුලු හා මධ්‍ය පරිමාණ අංශය සඳහා ද, සියයට 10 අපනයන සඳහා ද, සියයට 10 සංචාරක කර්මාන්තය සඳහා ද, සියයට 5 ක් තරුණ තරුණියන් සඳහා ද සියයට 5 ක් කාන්තාවන් සඳහා ද වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම බැංකු විසින් සිය තැන්පතු වලින් සියයට 15 ක ප්‍රමාණයක් එම තැන්පතු එකතු කරන ලද ප්‍රදේශයේ ව්‍යාපාර සංවර්ධනය සඳහා ණය වශයෙන් ලබාදිය යුතු යැයි මා යෝජනා කරනවා.

ඒ අතරම බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවත්නා පොදු පැමිණිල්ලක් වන්නේ රුපියල් මිලියන 05 ක ණයක් පවා ලබාදීමට මාසයකට වැඩි කාලයක් ගතවන බවයි. රුපියල් මිලියන 05 කට වඩා අඩු ණයක් මාසයකට අඩු කාලයකදී ලබා දෙමින් ණය දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට මෙන්ම රාජ්‍ය බැංකු හරහා මෙය 2017 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කරන ලෙස බැංකු වෙතින් ඉල්ලා සිටීමට මෙම සභාව මා හා එක්වන බව මාගේ විශ්වාසයයි.

එමෙන්ම නූතන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි බැංකු පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට යෝජනා කරනවා.

මුදලින් කෙරෙන ගනුදෙනුවල අධෛර්යමත් කිරීම පිණිස රුපියල් මිලියන 5 ට වැඩියෙන් කරන ගනුදෙනු සඳහා සියයට 2 ක ගාස්තුවක් පැනවීමට මා යෝජනා කරනවා. මෙයට චෙක්පත්, ටෙලිග්‍රැෆික් ගනුදෙනු, බැංකු මුදල් ඇණවුම් ආදිය අදාළ නොවන බවට මා සහතික කරනවා.

වාහන කාණ්ඩ සඳහා ලබා දෙන ණය සහ තක්සේරු වටිනාකම් අතර අනුපාතය (Loan to Value Ratio) ත්‍රිරෝද රථ සඳහා සියයට 25 ක්, මෝටර් රථ සහ වෑන් සඳහා සියයට 50 ක් වාණිජ වාහන (ලොරි හා බරවාහන) සඳහා සියයට 90 ක් වන පරිදි සීමා කිරීමට මා යෝජනා කරනවා.

රක්ෂණය

ගරු කථානායකතුමනි, දැනට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වගා රක්ෂණ යෝජනා ක්‍රමය මගින් ආවරණය වන්නේ වී වගාව පමණි. එබැවින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා වගා රක්ෂණ යෝජනා ක්‍රමය අල, ලොකු ලූණු, මිරිස්, ඉරිගු සහ සෝයා සඳහා ද පුළුල් කිරීමට මා යෝජනා කරනවා. තවද, මෙම ක්‍රමය අදාළ වන්නේ පොහොර මූල්‍ය සහනාධාරය හිමි ගොවිමහතුන් සඳහා වන අතර එක් අයකුට උපරිම වශයෙන් එක හෙක්ටයාරයක් සඳහා පමණි.

සමෘද්ධි හා සමූපකාර රක්ෂණ සමාගම් 2017 ජනවාරි 01 දිනට පෙර ඒකාබද්ධ කිරීමට ද මා යෝජනා කරනවා. මෙම සමාගම දැනට පවතින රක්ෂණ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

උකස් ව්‍යාපාරය

උකස් කටයුතු අපගේ ග්‍රාමීය සමාජය විශේෂයෙන්ම මූල්‍ය අපහසුතාවලදී උකස් ගනුදෙනු මත යැපේ. බොහෝ දුරට පාලනයක් රහිත උකස් කරුවන් මෙම මිනිසුන් සූරාකෑමට

ලක් කරනු ලබයි. මෙම එක් උකස් ඒකකයක් සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් 100,000 ක් දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. මෙමගින් ඇස්තමේන්තුගත ආදායම රුපියල් මිලියන 1,000 කි.

ප්‍රාග්ධන වෙළඳපල

ගරු කථානායකතුමනි, පසුගිය දශකයේ ප්‍රාග්ධන වෙළඳපලේ ස්ථාවර ප්‍රගතියක් ඇති වීමට බාධාවක්ව පැවති මූල්‍ය වෙළඳපලේ බිඳ වැටී තිබුණු විශ්වාසනීයත්වය යළිත් තහවුරු කරමින් මෙම වර්ෂය තුළ අප විසින් එහි පාලන රාමුව හා මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා අප විසින් ප්‍රාග්ධන වෙළඳපල කටයුතුවල වර්ධනය වේගවත් කිරීමට සහ අදාළ ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට මගපෙන්විය හැකි ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයකින්ද සමන්විත ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රමෝපායයක් සැලසුම් කර ඇත.

අපගේ එම ක්‍රමෝපායේ කොටසක් ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නීති බලාත්මක කිරීමේ හැකියාව වර්ධනය කරනු ලබන සහ එහි මෙහෙයුම් කටයුතු නම්‍යශීලී කරන්නා වූ නව සුරැකුම්පත් හා විනිමය පනතක් 2017 මුල් කාර්තුව තුළ හදුන්වා දීමට කටයුතු කරනු ඇත.

දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති කොටස් වෙළඳපල අසාමූහික කිරීම වැළැක්වීමේ පනත Demutualization Bill 2017 පළමු කාර්තුව තුළ හඳූන්වාදීමට කටයුතු කරනවා ඇත. එමගින් කොළඹ කොටස් වෙළඳපල කොටස් හිමිකරුවන් සහිත සමාගමක් බවට පරිවර්තනය වන අතර මෙය මෙම ක්ෂේත්‍රයේ වැදගත් වෙනසක් ද වනු ඇත.

එමෙන්ම බහුවිධ ආයෝජන අවස්ථා පහසු කරවන සුරැකුම්කරණ පනත (Securitization Act) ද 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කරනු ඇත.

අප රටේ භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපල විදේශ ආයෝජකයින් වෙත වඩාත් සමීප කරවමින් විශේෂයෙන් වඩා ස්ථාවර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ඒවා නිරවුල් කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම පිණිස 2017 ජූනි මස 30 දින වන විට ‘Euroclear’ ක්‍රමය ප්‍රයෝජනයට ගැනීමට මා යෝජනා කරනවා. මෙමගින් වෙළඳපල විනිවිදභාවය වැඩි කරනු ඇත.

රජයේ බැදුම්කර වෙළඳපල නිකුත් කිරීම්වල ද්‍රවශීලතාවය වැඩි කිරීම සඳහා වසර 2, වසර 5 සහ වසර 10 වූ නියම කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දෙනවා.

රාජ්‍ය ආයතනවල ආදායම් උපරිම කිරීම සඳහා පළපුරුදු අරමුදල් කළමනාකරුවන්ගේ සහ අවදානම් රක්ෂණ කළමනාකරුවන්ගේ උපදෙස් ලබා ගැනීමට මා නිර්දේශ කරනවා.

දේපල වෙළඳාම් ආයෝජන භාරයන්හි (Real Estate Investment Trusts) පවත්නා වැදගත් විභවය සලකා ඒකක භාර කේතයන්ට (Unit Trust Code) සංශෝධන හඳුන්වා දීමට සුරැකුම් පත් හා විනිමය කොමිසමේ කටයුතු වඩා පහසු කරනු ලබනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලිහිල් නීති රීති සහිතව අඩු පිරිවැය යටතේ ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා එම ව්‍යාපාර ලැයිස්තුගත කිරීමට වෙනමම මණ්ඩලයක් හඳුන්වා දෙනවා.

අවම වශයෙන් සමාගම් 25 ක් වත් ලැයිස්තුගත කරන ලෙස කොළඹ කොටස් හුවමාරුවෙන් (CSC) මා ඉල්ලා සිටිනවා. එසේම, කොළඹ කොටස් වෙළඳපලෙහි ලැයිස්තු ගත වන ලෙස විදේශ සමාගම්වලට ද මා ආරාධනා කරනවා.

නිවසක් හිමි සමාජයක් ඇති කිරීම

ගරු කථානායකතුමනි, අපගේ රජය සෑම අයෙකුම නිවසක අයිතිකරුවකු බවට පත්කිරීමට කැපවෙමින් අඩු හා මධ්‍ය ආදායම් පවුල් සඳහා නිවාස 500,000 ක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

මෙම වැඩසටහන යටතේ ඉදිරි අවුරුදු තුන තුළදී මැදි ආදායම් කාණ්ඩය සඳහා ඒකකයක් රුපියල් මිලියන 5 බැගින් වන නිවාස ඒකක 100,000 ක් ද අඩු ආදායම් කාණ්ඩය සඳහා රුපියල් මිලියනයක් බැගින් නිවාස ඒකක 250,000 ක් ද 2017 - 2019 වර්ෂ තුන තුළ ඇති කිරීමට පෞද්ගලික අංශයට මා ආරාධනා කරනවා.

වැවිලි ක්ෂේත්‍රයේ ද නිවාස අවශ්‍යතාවය ඉතා ප්‍රබල වන අතර තවමත් මූලික පහසුකම් පවා රහිතව ලයින් කාමරවල දුක්ඛිත ලෙස ජීවත්වන අය මේ අතර සිටිනවා. එම නිසා, වැවිලි ක්ෂේත්‍ර සඳහා නිවාස 25,000 ක් ඉදිකිරීමට කටයුතු කරනවා.

මෙම නිවාස ව්‍යාපෘතිවලට අදාළව අවශ්‍ය ඉඩම් සහ අනෙකුත් පහසුකම් රජය විසින් නොමිලයේ ලබා දෙනු ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව නව නිවාස බැංකුව සමඟ එක්ව සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා සියයට 7 පොලියක් යටතේ වසර 25 ක් දක්වා ලබා දීමට කටයුතු කරනු ඇත. මෙම ණය පහසුකම් ලබා දීම සඳහා රුපියල් බිලියන 370 ක පමණ මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව රැස් කරගනු ඇත.

උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශවල දැඩි නිවාස හිඟයක් පවතින අතර මේ සම්බන්ධව ඉක්මනින්ම අවධානය යොමු කළ යුතුව ඇත. නිවාස 50,000 ක් ඉදිකිරීමේ කාර්යය කඩිනම් කරනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

තම නිවාස පුඵල් කිරීමට අවශ්‍යව සිටින එහෙත් මූල්‍ය දුෂ්කරතා නිසා එසේ කිරීමට නොහැකි අයගේ ගැටලු ද අප විසින් සලකා බැලිය යුතු වේ. ඒ අනුව බිම් වර්ගඵලය වර්ග අඩි 750 අඩු වන නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යවන අයට වාණිජ බැංකු මගින් රුපියල් 200,000/= බැගින් නිවාස 100,000 ක් සඳහා ණය පහසුකම් සපයනු ලබන අතර රජය මගින් පොලී මුදල මත සියයට 50 ක සහනාධාරයක් ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අවුරුදු 15 කට වඩා රජයේ නිවාසවල පදිංචිකරුවන්ට එම හිමිකම තවදුරටත් තහවුරු කිරීම පිණිස රජයේ නිවාස යෝජනාක්‍රමවල නිවාස අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇත. මේ වැඩ පිළිවෙළ 2017 ජනවාරි මස 01 දින සිට ආරම්භ කරනු ඇත.

අග්‍ර‍හාර රක්ෂණය අවුරුදු 70 දක්වා

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වතුවල වැඩකරන ජනතාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. මොවුන්ගේ ජීවන තත්ත්වය ලයින් කාමරවලින් උසස් කිරීමේ අරමුණින් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 7 ක ඉඩමක් ලයින් කාමරවල ජීවත් වන ජනතාවට ලබා දීමට යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, බොහෝ රජයේ නිවාස යෝජනාක්‍රම රජයේ ඉඩම්වල පිහිටා ඇත. එමනිසා ඒවායේ පදිංචිව සිටින අයට මෙම නිවසේ අයිතිය ලබා ගැනීමට හැකියාවක් නොමැත. රජයේ ප්‍රතිපත්තිය මෙම නිවාසවල අයිතිය එහි හිමිකරුවන්ට පැවරීම බැවින් රජයේ ඉඩම් පැවරීමද විධිමත් කළ යුතුව ඇත. මේ පදනම මත සියලු රජයේ ඉඩම්වල අයිතිය සතු ඉඩම් බැංකුවක් නාගරික සංවර්ධන අධිකාරියේ , ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ සහයෝගීත්වයෙන් යුතුව ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඉතා වැදගත් ස්ථානවල පවතින වටිනා දේපල වාණිජ පරමාර්ථ සඳහා යොදා ගනු ඇත.

ඉතා අනර්ථකාරී පනතක් වූ ගෙවල් කුලී පනත හේතුවෙන් නිවාස කුලියට ලබා දීමේ කර්මාන්තය දියුණු වී නැත. එම නිසා මෙම පනත අවලංගු කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ තුළින් මෙම නිවාසවල සිටින කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු වනු ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වනු ඇත. එලෙසින්ම මෙම පනත අවලංගු කිරීමට නිවාස කර්මාන්තයේ දියුණුවට ඉවහල් වන බවට මා විශ්වාස කරනවා.

ගරු කථානායකතුමනි, රටේ සහාධිපත්‍ය (Condominium) ක්ෂේත්‍රය විදේශ ආයෝජන සඳහා ශක්ති සම්පන්නව වර්ධනය වන අංශයකි. එවැනි ආයෝජන තවදුරටත් දිරිගැන්වීම සඳහා බිම්මහල සඳහා වන හිමිකාරීත්ව අයිතියේ ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත. මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන්හට වටිනාකමින් සියයට 40 ක් දේශීය බැංකුවකින් ලබා ගැනීමට ඉඩ දෙනු ඇත. එසේ වුවද එහි ණය සේවාකරණය විදේශ මුදල්වලින් විය යුතුය.

ගරු කථානායකතුමනි, ඉදිකිරීම් කර්මාන්තය සඳහා ඉතා හොඳ අවස්ථා පවතින අතර එහි ඉදිරි වර්ෂ 05 සඳහා ඇස්තමේන්තු ගත ආයෝජන වටිනාකම රුපියල් බිලියන 6,500 ක් වනු ඇත. මේ සඳහා අවම වශයෙන් වැලි ඝන මීටර් මිලියන 10 ක් වත් අවශ්‍ය වේ. කෙසේ වුවද පරිසරයට සිදුවන හානිය නිසා ගංගාවල වැලි කැණීම් සීමාවී ඇත. මේ හේතුව නිසා වැලි හිඟයට මුහුණදීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම්වලට යාන්ත්‍රික මුහුදුවැලි කැණීම් හා තෝරාගත් ස්ථානවල එම වැලි සේදීම දිරිගන්වනවා.

ඉදිකිරීම් කර්මාන්තයට වැලි, පස් හා කළුගල් සඳහා වන ඉල්ලුම සලකා, වැලි හෑරීම, පස් කැපීම සහ ගල් කැඩීම සඳහා බලපත්‍ර අදාළ පරිසර නීතිරීතිවලට අනුකූලව කඩිනමින් ලබා දෙන මෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වර්ෂයේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් විකල්ප ගොඩනැගිලි ද්‍රව්‍ය සොයා ගන්නා ලෙසට ධෛර්යමත් කරන ලදී. ඉතා උසස් ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් වන ෆයිබර්ග්ලාස් යොදා ආකෘති නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරනු ලබන බව සතුටින් දන්වා සිටිනවා. මෙමගින් ඉදිකිරීම් සඳහා යන වියදම් අඩු කර ගැනීමට හැකිවෙනවා.

කොන්ත්‍රාත්කරුවන් සඳහා නියමිත කාලයට ගෙවීම් කරනු ලබන බවට සහතික කරනු පිණිස ආරවුල් විසඳීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීමට යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, නියමිත වේලාවට අදාළ ගෙවීම් ලබා ගැනීම පිළිබඳ ගැටලුවලට ඉදිකිරීම් කර්මාන්තය මුහුණ පා තිබෙනවා. ඔවුන්ගේ පැවැත්ම අඩාළ කිරීමට මෙම තත්ත්වය බලපා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට නිසි ගෙවීම් ලබා ගැනීමට ප්‍රමාණවත් පරිදි ආවරණය කිරීම සඳහා ගෙවීම් සුරක්ෂණ ආරක්ෂා පනත හඳුන්වා දීමට මා යෝජනා කරනවා.

දිළිඳු බවට එරෙහි අරගලය සහ ශක්තිමත් සමාජ සුබසාධන ජාලය

ගරු කථානායකතුමනි, නිදහසින් පසු පැවති රජයන් විසින් දුප්පත්කම තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. අද වන විට ජනගහනයෙන් සියයට 7 ක ප්‍රමාණයක් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25 කට අඩු ආදායමක් ලබන බව මා පිළිගන්නවා. කෙසේ වුවද ජනගහනයෙන් සියයට 20 ක් පමණ දිනකට ඇමෙරිකානු ඩොලර් 2 කට අඩු ආදායමක් උපයයි. එසේ අඩු ආදායම් ලබන අයට සහන සැලසීම සඳහා වර්ෂයකට රුපියල් බිලියන 221 ක් පමණ වටිනා ගෘහස්ථ ප්‍රේෂණ යෝජනා ක්‍රම කීපයක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර පවුල් මිලියන 1.5 කට පමණ සෙත සැලසෙන 'සමෘද්ධි ව්‍යාපාරය' මෙහි විශාලතම යෝජනා ක්‍රමය වෙනවා. කෙසේ වුවද, මෙම සුබසාධන යෝජනා ක්‍රමවල පරිපාලනමය දුර්වලතා නිසා සම්පත් අපතේ යාම් සහ ද්විගණනයවීම් සිදුවී ඇති බව අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිළිඳු ජනතාව දිගින් දිගටම දුගී භාවයේ අදෘශ්‍යමාන හස්තයට හසුවී ජීවත් වෙනවා.

දිනකට ඇමෙරිකානු ඩොලර් 2 කට වඩා අඩු ආදායම් ලබන ජනගහනයෙන් සියයට 50 ක් හෝ මිලියන 2.1 ක් පමණ ජනතාව වර්ෂ 2020 වන විට ඉහළ ආදායම් තලයකට ගෙන ඒම අපගේ ඉලක්කයයි. රැකියා වෙළඳපල අවස්ථා වැඩි ප්‍රමාණයක් ඇති කර සමෘද්ධිලාභීන්ගේ ආදායම වැඩි කිරීම අප විසින් තහවුරු කරනවා. අපගේ ඉලක්ක කරා යාමට සුදුසු උපාය මාර්ගික ක්‍රමවේදයක් ඇති කිරීම තහවුරු කරන අතර මේ පිළිබඳව සොයා බැලීමට කාර්යසාධක බළකායක්ද පත් කරනවා. ඒ අනුව, සමෘද්ධි ව්‍යාපාරය 'ජන ඉසුරÓ ලෙස නම් කිරීමට මා යෝජනා කරනවා.

ඒ සමඟම වඩා ඵලදායී ඉලක්කගත හා විස්තීරණ සමාජ සුබසාධන යෝජනා ක්‍රමයක් සාක්ෂාත් කිරීම පිණිස අප විසින් දැනටමත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය ආරම්භ කර ඇත. එමගින් නවීන තාක්ෂණය හඳුන්වාදීම තුළින් විවිධ වූ යෝජනා ක්‍රම ඒකාරාශී කිරීමට කටයුතු කරනවා. නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් සමාජ ආරක්ෂණ ජාල යෝජනා ක්‍රමයන්හි සිදුවිය හැකි ඉතුරුම් පීඩාවට පත්වූ සියල්ලන්ම ආවරණය වන පරිදි දුගී බව තුරන් කිරීමට භාවිතා කරනවා.

ගරු කථානායකතුමනි, අප අපගේ රණවිරුවන් ආරක්ෂා කිරීමට තව දුරටත් කැපවී සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පවතින විෂමතා ඉවත් කිරීමට පියවර ගන්වා. ඒ අනුව, ඔවුන්ගේ අමතර දීමනා ගෙවීමට 'රණවිරු සුරැකුම් දීමනාවÓ ගෙවීම සඳහා රුපියල් මිලියන 3500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

2016 ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් හිමි තනතුරු දරන්නන්හට අග්‍රහාර යෝජනා ක්‍රමය වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කළා. මෙම රක්ෂණ ආවරණය මුළු ජීවිත කාලය සඳහා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා. විශ්‍රාමිකයා විසින් වයස අවුරුදු 70 වූ පසු මාසයකට රු.600 ක දායක මුදලක් ගෙවිය යුතුය. තවදුරටත් අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහාය වීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් ක්‍රමය 2017 වර්ෂයට ද දීර්ඝ කරනවා. මෙම යෝජනා ක්‍රමය මගින් රුපියල් මිලියන 1.5 දක්වා සියයට 15 ක පොලී අනුපාතයක් ගෙවීමට කටයුතු කරනවා.

ජන සංයුතියේ සිදුවන වෙනස්කම් අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම දෙස දැඩි සැලකිල්ලකින් බැලිය යුතුය. ගරු කථානායකතුමනි, මවිසින් මින් පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අරමුදල් සපයා නොමැති රජයේ විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමය පිපිරීමට ආසන්න කාලබෝම්බයකි. පැහැදිලිවම අප තවත් කල් නොදමා දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට මාරු විය යුතු වෙනවා. 2016 අයවැය කථාවේ දී පැවසූ පරිදි දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට පැහැදිළි පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එය රජයක් ජනප්‍රිය විශ්වාසයන්ට ප්‍රතිවිරුද්ධව වගකීම් වලින් ඉවත්වීමට කටයුතු කිරීමක් නොව වගකිවයුතු රජයක කාර්යභාරය මැනවින් ඉටු කිරීමට පියවර ගැනීමක් වෙනවා.

රාජ්‍ය නොවන අංශ මගින් ක්‍රියාත්මක කරන විශ්‍රාම වැටුප් අරමුදල් ද බොහොමයක් ඇත. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හා සේවක අර්ථසාධක අරමුදල ඇතුළුව පෞද්ගලික විශ්‍රාම අරමුදල් නියාමනය කිරීම සඳහා මධ්‍යම විශ්‍රාම වැටුප් අරමුදලක් ආරම්භ කිරීමට අවශ්‍ය නීති රීති හඳූන්වාදීමට යෝජනා කරනවා.

වර්තමානයේ දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායකත්වයට එරෙහිව නිවාස ණයක් ලබා ගැනීමට අවස්ථා සලසා දී තිබෙනවා. එය එම අරමුදල පිහිටුවීමේ අරමුණට නොගැලපෙන ක්‍රියාවකි. එහි ප්‍රතිඵලය සාමාජිකයින්ගේ විශ්‍රාම දිවියට අවාසිදායක බලපෑමක් ඇති කරනවා. එම නිසා එම ප්‍රතිපාදන ඉවත් කිරීමට මා යෝජනා කරනවා. කෙසේ වුවත්, ඔවුනට ණය ලබා ගැනීම සඳහා විවිධ වූ ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙනවා.

තරුණ තරුණියන් හා කාන්තාවන් සවිබල ගැන්වීම

රටේ සමස්ත ආර්ථික වර්ධනයක් ලඟාකර ගැනීමේදී කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ දායකත්වය ඉතා වැදගත් වේ. ජනගහනයෙන් සියයට 52 ක් කාන්තාවන් වන අතර එයින් වයස 19 හා 34 අතර වයස් කාණ්ඩයට අයත් කාන්තාවන් සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 25 ක් වේ. සංඛ්‍යාලේඛන අනුව 2041 වනවිට අපේ ජනගහනයෙන් සියයට 25 ක් වයස අවුරුදු 60 වැඩි පිරිස් වේ. එමනිසා අපගේ ප්‍රතිපත්තීන් ජනගහන සංයුතියේ ප්‍රතිඵල නෙළා ගැනීමට යොදා ගැනීමට මේ සුදුසුම කාලයයි.

මෙම තත්වය තුළ ගරු කථානායකතුමනි, ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා විසින් පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි අප විසින් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ ආයෝජන අංශය ද සහිතව නිපුණතා සංවර්ධනය සඳහා පරිපූර්ණ හා ප්‍රායෝගික සැලැස්මක් සකස් කර තිබෙනවා. අපගේ අරමුණ අපේ තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා අවශ්‍ය දැනුම සහ නිපුණතාවයන් ලබාදී එමගින් ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමයි. මෙම අරමුණ මත අප විසින් නිදහස් තාක්ෂණ අධ්‍යාපනය ලබාදීම සඳහා වන ප්‍රතිපත්ති ද හදුන්වා දී තිබෙනවා.

ඒ සමඟම අප විසින් පසුගිය වසරේ ආරම්භ කළ එක් ප්‍රායෝගික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා නව සමාගමක් ආරම්භ කිරීමට රුපියල් මිලියන1.5 ක ණය මුදලක් ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත. මෙම පහසුකම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අවම වශයෙන් උපාධිධාරීන් 1,000 ක් සඳහා ලබා දෙනු ඇත. ණය මුදල අවුරුදු 10 ක කාලයකදී ගෙවිය යුතුය. මේ සඳහා සියයට 100 ක පොලී සහනාධාරයක් ලබාදීමට 2017 වර්ෂයේ රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට අවශ්‍ය මූලික පුහුණුව ලබා ගැනීම සඳහා ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකයට රුපියල් මිලියන 4,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, මෙම ගරු සභාව මා සමඟ එකඟ වනවා ඇති අපගේ තරුණ පරපුර මත් උවදුරින් ආරක්ෂා කර ගැනීමට අප විසින් ක්ෂණික සහ ප්‍රවේගකාරී පියවර ගතයුතු වෙනවා. මේ සම්බන්ධ ක්‍රියාමාර්ග නොගෙන සිටීම ඉදිරි පරම්පරා ගණනාවකටම ඉතාමත් අනර්ථකාරී ප්‍රතිඵල ගෙනදෙනු ඇත. ඒ අනුව, මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා මෙන්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට රුපියල් මිලියන 150 ක් ද, ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන 50 ක් ද වෙන් කිරීමට මා යෝජනා කරනවා. දුම්පානය අධෛර්යයමත් කිරීම සඳහා වන ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා දුම්කොළ භාවිතය අඩු කර ගැනීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

මේ අනුව, දුම්වැටි විරෝධී ජනාධිපති කාර්යසාධන බළකායේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 500 ක් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා දුම්කොළ සමාගමෙන් මා ඉල්ලා සිටිනවා.

ස්වයං රැකියාවල නියුතු තරුණ තරුණියන් අවම වශයෙන් පනහකින්වත් යුතු කණ්ඩායමක් විසින් ආරම්භ කරන සුළු පරිමාණයේ ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක් ග්‍රාමනිලධාරී කොට්ඨාසයකට රුපියල් මිලියනයක් බැගින් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙම කණ්ඩායම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල ලියාපදිංචි වී සිටිය යුතුය. එවැනි ව්‍යාපෘතිවලට කෘෂිකර්මාන්තය, අත්කම්, බිම්මල් වගාව, වෙළඳාම, විසිතුරු මත්ස්‍ය වගාව, මල් වගාව සහ උද්‍යාන අලංකරණය වැනි ව්‍යාපෘති ඇතුලත් වේ. මෙම වැඩ පිළිවෙළෙහි වෙනුවෙන් මූලික අදියර සඳහා රුපියල් මිලියන 7,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙමගින් විශේෂයෙන් තරුණ තරුණියන් සඳහා ස්වයංරැකියා අවස්ථා 350,000 ක් නිර්මාණය වෙනවා. රජයේ රැකියා මිලියනයක් ඇති කිරීමේ වැඩසටහනට මෙමගින් සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇත.

ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය මේ වන විට සියයට 36 ක් පමණි. මෙසේ වී ඇත්තේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සියයට 50 කාන්තාවන් වී තිබියදීය. රජයේ ප්‍රතිපත්තිය වන්නේ 2020 වර්ෂය වන විට කාන්තා ශ්‍රම සහභාගිත්වය අවම වශයෙන් සියයට 40 දක්වා වැඩිකිරීමය. අධ්‍යයනයක් මගින් පෙන්වාදී ඇත්තේ ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය අඩුවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ගුණාත්මක බවින් ඉහළ ළමා සුරැකුම් හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන නොමැති වීමයි. ඒ අනුව සේවකයින් 500 ට වැඩි සියලු සමාගම් අවශ්‍ය පහසුකම් සහිත ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකළ යුතු බවට මා යෝජනා කරනවා. තවත් සමාගම් හා එකතුව ද එවැනි මධ්‍යස්ථාන ආරම්භ කළ හැකිය. මෙම ව්‍යාපෘතිය සඳහා කාර්මික විද්‍යාල හා අනෙකුත් වෘත්තීය පුහුණු ආයතන හා එක්ව ළමා සුරැකුම් හා වැඩිහිටි සුරැකුම් පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් මා ඉල්ලා සිටිනවා. එමගින් දැඩි සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති නුපුහුණු ශ්‍රමික කාන්තාවන් රැකියා සොයා මැද පෙරදිග යාම වැලැක්වීම ඉලක්ක කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ හැක.

ආගම, සංස්කෘතිය හා කලාව

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාව 2017 වර්ෂයේ මැයි මස එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සඳහා සත්කාර සපයන්නා ලෙස කටයුතු කරනු ඇත. අතිගරු ජනාධිපතිතුමා මෙම වැඩසටහන සංවිධානය කිරීමේ කාර්යයන් සඳහා නායකත්වය ගෙන කටයුතු කරයි. මෙම උත්සවය සඳහා දකුණු ආසියානු සහ ඊසාන දිග ආසියානු කලාපයෙන් වෙන වෙනම විදේශීය අමුත්තන් රාශියක් සහභාගි වීමට අපේක්ෂිතය. මෙම කාර්ය සඳහා සහාය දැක්වීමක් වශයෙන් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ආගමික කටයුතු සංවර්ධනය සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ඊට අමතර වශයෙන් ආගමික ස්ථාන පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

මල්වතු හා අස්ගිරි මහා නිකායන්වල අති පූජ්‍ය මහා නායක හිමිවරුන් සමඟ පවත්වන ලද සාකච්ඡාවලට වැඩිමනත් වශයෙන් මෙරට පිරිවෙන්වල පොදු පහසුකම් වැඩි කිරීමටත් පිරිවෙන් ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීමටත් රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ සමඟම පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන්වහන්සේලා සඳහා මසකට රුපියල් 2,500 ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට රුපියල් මිලයන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රේඛාව' හා 'නිධානය' වැනි ඉතා වැදගත් චිත්‍රපට තවදුරටත් නැරඹිය නොහැකි මට්ටමට විනාශ වී ඇති බවට ඔබතුමා දැනුවත්වී ඇතැයි කියා මා විශ්වාස කරනවා. මෙම පසුබිම මත චිත්‍රපට සංරක්ෂණ හා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ වහාම ආරම්භ කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට ද මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, සතියකට පමණ පෙර ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අප ජාතියෙන් සමුගත්තා. අපට පුරාවෘත්තයක් මෙන්ම ජාතික වස්තුවක් අහිමි වුනා. ගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇති පරිදි අමරදේව ශූරීන් විසින් ජාතියට සිදුකළ අතිවිශිෂ්ට සේවයට ගරු කිරීමක් වශයෙන් නැඟී එන සංගීතඥයන්ට විශාල අනුබලයක් විය හැකි 'පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමයÓ පිහිටුවීම සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන කලාකරුවන් සහ කාර්මික ශිල්පීන්ගේ හැකියා වර්ධනය සිදු කිරීම බොහෝ කලක සිට අවශ්‍යව පැවැති බවට මා විශ්වාස කරන බැවින් ජාතික චිත්‍රපට අධ්‍යයන ආයතනයක් ඇති කිරීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ශ්‍රී ලංකා රැගුම් පාලක මණ්ඩලයේ කටයුතු පහසු කිරීම පිණිස නවීන තාක්ෂණය සහිත නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

දේශීය කර්මාන්තකරුවන් විසින් කේබල් සහ සැටලයිට් රූපවාහිනී මගින් විදේශීය නිෂ්පාදන පිළිබඳ වෙළඳ දැන්වීම් ගාස්තු ගෙවීමකින් තොරව ප්‍රචාරය කිරීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමාන තරඟකාරිත්වයක් ඇති කිරීම පිණිස කේබල් සහ සැටලයිට් රූපවාහිනී සේවා මගින් ප්‍රචාරය කරනු ලබන විදේශීය නිෂ්පාදන පිළිබඳ වෙළඳ දැන්වීම් සඳහා වන තත්පර 30 ක දැන්වීමකට රුපියල් 50,000 ක බද්දක් පැනවීමට මා යෝජනා කරනවා.

චිත්‍රපට නිෂ්පාදකයන් හා දේශීය කලාකරුවන් විසින් සිංහල හා දෙමළ හඬ කවන ලද විදේශීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය විකාශනය කිරීම පිළිබඳවද තොරතුරු ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව විනාඩි 30 ක කොටසක් සඳහා දැනට පවතින රුපියල් 90,000 ක බදු මුදල රුපියල් 300,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එසේ එකතු කරනු ලබන මුදල දේශීය චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට යොදා ගැනීමට අපේක්ෂා කරනවා.

නළුවන්, ගායකයන්, සංගීතඥයන් ද ඇතුළුව කලාකරුවන් සඳහා දැනට පවතින රක්ෂණ යෝජනා ක්‍රමය පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ප්‍රවෘත්ති ලබා දෙන වාර්තාකරුවන්ට අවශ්‍ය මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 300,000 ක උපරිමයකට යටත්ව සියයට 100 ක් පොලී සහනාධාරයක් රජය මගින් ලබා දෙන බැංකු ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති අනෙකුත් මාධ්‍යකරුවන්ගේ වෘත්තීය සඳහා අවශ්‍ය වන උපකරණ වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රුපියල් 150,000 ක උපරිමයකට යටත්ව ණය පහසුකම් ලබා ගැනීමේ දී සියයට 50 ක පොලී සහනාධාරයක් රජය විසින් ලබා දෙමින් ඔවුන්ට සහයෝගය දක්වනු ඇත. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ ද ඇතුලත් වන පරිදි මේ සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ඇතුළු විවිධ ජනකොටස් අතර සහයෝගය, සාමය හා සංහිඳියාව වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් දියත් කරන වැඩසටහන් දිරි ගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 180 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ක්‍රීඩා

ගරු කථානායකතුමනි, මෙම වර්ෂය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය පරාජය මිශ්‍ර වර්ෂයකි. අපගේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුනට බින්දුවක් වශයෙන් ටෙස්ට් තරඟාවලිය ජයගත් අතර එය ඵෙතිහාසික සන්ධිස්ථානයකි. ජ්‍යෙෂ්ඨයන් විශ්‍රාමයෑම සමඟ ඇතිවූ හිදැස පිරවීමට නවකයන් පෙරමුණ ගන්නා බව අප දුටුවා. අපගේ මලල ක්‍රීඩකයන් සාෆ් ක්‍රීඩා උළෙලේදී හොඳින් ක්‍රීඩා කළා. රියෝ හි පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවේදී ලෝකඩ පදක්කම දිනා ගත්තා. එහෙත් පුරුදු පරිදි මෙම වර්ෂයේදී ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එක පදක්කමක් හෝ ලබාගත නොහැකි වුණා. මේ වන විට පැහැදිලිවම ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා අපට වෙනස් ප්‍රවේශයක් ගැනීමට සිදුවී තිබෙනවා. නිසැකවම දක්ෂතමයින් සමඟ තරඟ කළ හැකි බොහෝ අය ගම්වල සිටින අතර අප විසින් ඔවුන් සොයා ගත යුතු වෙනවා.

ගරු කථානායකතුමනි, මෙම පදනම මත දරුවන් හා තරුණ තරුණියන් අතර දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අප විසින් ඔවුන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ දක්ෂතා දියුණු කිරීම සඳහා ක්‍රීඩා පාසැල් වෙත යොමු කිරීමට කටයුතු කරනවා. මෙමගින් අද හෝ හෙට ප්‍රතිඵල නොලැබුනත් ඉදිරි අවුරුදු 5 - 10 කාලය තුළ ප්‍රතිඵල ලැබෙන බව අපට විශ්වාසයක් තිබෙනවා. මේ සඳහා සහාය දැක්වීම පිණිස 2017 වර්ෂයේදී රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, රජයේ දිගු කාලීන සැලැස්මට තවදුරටත් සහාය දැක්වීම පිණිස දියගම ක්‍රීඩාංගණයට අනුබද්ධව ජාතික ක්‍රීඩා අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙය අති නවීන උපකරණවලින් සහ ඉහළම මට්ටමේ ක්‍රීඩා පුහුණුකරුවන්ගෙන් සමන්විත වනු ඇත. එමෙන්ම අපගේ ජාතික තලයේ ක්‍රීඩකයන්ට විදේශීය තරඟ වලට සහභාගිවීමට පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

සුගතදාස ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණ ඉතා පිරිහුණ තත්වයක පැවතිනි. 2016 වර්ෂයේදී රුපියල් මිලියන 175 ක් ඒ සඳහා වෙන් කරන ලද අතර මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

අප රට සතු ක්‍රීඩා පාසල් ගණන 24 කි. එම පාසල් තවදුරටත් දියුණු හා ශක්තිමත් කරනු ඇති අතර මෙම ක්‍රීඩා පාසැල් චෙස්, ස්කොෂ්, ඉලක්කයට වෙඩිතැබීම, දුණු විදීම ආදී ක්‍රීඩා සඳහා යොමු කිරීමට අදහස් කෙරේ. මෙම ක්‍රීඩා සඳහා රුපියල් මිලියන 100 වෙන් කිරීමට යෝජනා කරනවා. එමෙන්ම, ක්‍රීඩා පුහුණුකරුවන් විනිශ්චයකරුවන්ගේ ධාරිතා වර්ධනය සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඒ සමඟම පළාත්බද ක්‍රීඩා සංකීර්ණ 3 ක් සඳහා කෘතිම ධාවන පථ එක බැගින් ලබාදීමට හැකිවන පරිදි රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ මානව කාර්යසාධන පරීක්ෂණාගාරයක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන්කිරීමට ද මා යෝජනා කරනවා.

අන්තර්ජාතික ක්‍රීඩකයන් විසින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය පිණිස මුහුදු මට්ටමෙන් ඉහළ ප්‍රදේශවලදී ලබාදෙන පුහුණුව සමායෝජනය කරනු ඇත. කෙසේ වුවද අප රටෙහි සියලු උපකරණ සහිත එවන් පුහුණු ආයතනයක් නොමැත. එම නිසා නුවරඑළියේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉහල දක්ෂතා පෙන්වන ක්‍රීඩා තරු බොහොමයක් පිට පළාත් පාසැල් වලින් බිහි වූ අය වේ. ඒ අනුව එවන් දක්ෂතා සහිත තරුණයන් ජාතික කණ්ඩායමට එක්වීම ප්‍රවර්ධනය කිරීමට පිට පළාත් පාසැල් 1,000

ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි, වැල්වැටිතුරේ කුමාර් ආනන්දන් පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

විදේශ රැකියා

ගරු කථානායකතුමනි, මැද පෙරදිග වෙනස්වන තත්ත්වයන් මැද වුවද විදේශ රැකියාවල නියුක්තිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක පමණ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

මෙම විදේශ රැකියාවල නියුක්ත සේවකයන්ට සාධාරණයක් කිරීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 350 ද පුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 450 ද විය යුතු බවට යෝජනා කරනවා. විදේශ රැකියා සඳහා පිටව යන සියලුම සේවකයන් සඳහා ඉහත වැටුප ලැබෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තහවුරු කළ යුතු වෙනවා.

ගරු කථානායකතුමනි, එසේම විදේශ රැකියාවල නියුක්තිකයන්ට සමගාමීව දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ද යෝජනා කරනවා. එයට කුවේට් අරමුදල හරහා සේවකයන් විසින් කරන දායකත්වය හා සමාන දායකත්වයක් රජය විසින් ලබාදේ. වයස අවුරුදු 60 දී විශ්‍රාම ප්‍රතිලාභ හිමිවේ.

වඩා යහපත් රාජ්‍ය සේවයක් සැලසීම

ගරු කථානායකතුමනි, රාජ්‍ය අංශයේ සේවා සැපයීම අවධානයට ලක්විය යුතු කරුණක් වී ඇත. ඉහළ මහජන අපේක්ෂාවන් සහ පවතින සම්පත්වල හිඟතාවය මධ්‍යයේ ඔවුන් විසින් ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සිය සේවා ඉටු කරනු ලබන බව මම පිලිගන්නවා. රාජ්‍ය අංශයේ ප්‍රතිසංවිධානයක හදිසි අවශ්‍යතාවයක් පවතින බව ප්‍රථමයෙන්ම රාජ්‍ය අංශයේ සාමාජිකයින් මා සමඟ එකඟ වන බව මට විශ්වාසයි. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ඵලදාව වැඩිකරගැනීම අරමුණු කරගනිමින්, කාර්ය සාධනය පදනම් කරගත් ඇගැයීම් ක්‍රමයක්, මෙන්ම වෘත්තිකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ හා විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවලින් බිහිවන විශිෂ්ටයින් අතරින් විශිෂ්ටයින් ආකර්ෂණය කර ගත හැකි පරිදි මෙම ප්‍රතිසංවිධානය සකස් විය යුතු වේ.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම - මේ සඳහා ඉතා පරිපූර්ණ ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කිරීමට මා යෝජනා කරනවා. මෙම කමිටුව කාලීන අවශ්‍යතාවයක්ව පවතින නිලධාරිවාදය අහෝසි කිරීම පිළිබඳ සොයා බලනවා ඇත.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම හැම දෙනාගේම අපේක්ෂාවයි. හොඳ රාජ්‍ය සේවකයින් ඉතාමත් හොඳ රාජ්‍ය සේවකයින් බවට පත්වීමට දිරි ගැන්වීම සඳහා යම් කිසි පුද්ගලයෙකු රජයේ ආයතනයකින් ඉල්ලුම් කරන අවසරපත්, බලපත්‍ර ආදිය සඳහා වන ඉල්ලීම්වලට අමතර තොරතුරු අවශ්‍යතාවය මත හැරුණු විට සති දෙකක් ඇතුලත ඒවා නිකුත් නොකළහොත් එය නිකුත් කළා සේ සලකා කටයුතු කළ යුතු බවට

මා යෝජනා කරනවා. මෙමගින් වියදම් අඩු කිරීම, කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සහ ව්‍යාපාර කටයුතු පහසු කිරීම සිදු වේ යැයි මා විශ්වාස කරනවා.

රජයට සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමට අත්දැකීම් සහිත වෘත්තිකයන් අවශ්‍යයි. ඉහළම තලයන්හි එවැනි හැකියාව ඇති අයගේ හිඟයක් දක්නට ලැබෙනවා. ඒ අනුව, අධිකරණ ක්ෂේත්‍රය සහ විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු එවැනි වැදගත් නිලධාරීන් විශ්‍රාම යාමේ වයසින් පසුව නැවත සේවයේ යොදවා ගැනීමට හැකිවන පරිදි යාන්ත්‍රණයක් සකස් කිරීමට මා යෝජනා කරනවා. ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීම අවුරා තබනු ඇත. එසේම ඔවුන්ගේ වැටුප්, සේවා කාලය තුළ අඛණ්ඩව ලැබෙනු ඇත. මීට අවශ්‍ය කරන නීතිමය සංශෝධන මෙම ගරු සභාවට ඉක්මනින් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

දැනට ජාතික වැටුප් කොමිසමේ ධුර කාලය වසර 3 කට සීමා වෙයි. එහෙත් අඛණ්ඩව රාජ්‍ය සේවයේ පවතින විවිධාකාර කාර්ය මණ්ඩල හා වැටුප් සම්බන්ධ ගැටලු පිළිබඳව සලකා බලා අතිගරු ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ නිර්දේශ මත එම කොමිසම ස්ථිර හා ස්ථාවර කොමිසමක් ලෙස 2017 ජනවාරි 1 දින බලාත්මක වන පරිදි සිට පත් කරනු ඇත.