රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්ති සංගණනය  - 2016 පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද දින(15.11.2016) පවත්වනු ලැබිණ. මෙම සංගණනය මේ  වසරේ නොවැම්බර් මස 17 වැනි දින දිවයින පුරා පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා වූ කාලය තුල සිදුකරනු ලැබේ. ඒ මගින් සංගණන දිනය වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය නියුතු කාර්යය මණ්ඩලය ගණන් ගැනීම සහ එම කාර්යය මණ්ඩලය පිළිබඳව ප්‍රජා විද්‍යාත්මක, සමාජීය සහ ආර්ථික තොරතුරු එක් රැස් කෙරේ. මීට සමගාමීව තෝරාගත් ආයතන වත්කම් පිළිබඳව තොරතුරු රැස්කිරීමත් සිදුකිරීමට අපේක්ෂිතයි. මෙම සංගණනය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අතර, මේ තොරතුරු රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය සහ රටේ ඉදිරි සැළසුම් සකස්කිරීම සදහා බෙහෙවින් උපකාරී කරගැනීමට බලාපොරොත්තු වෙයි.

‍මෙම සංගණනයට අදාල සියලු තොරතුරු පහසුවෙන් ලබා ගැනීම සදහා වෙබ් පිටුවක් ආරම්භ කර තිබේ(www.statistics.gov.lk). සංගණනයට යොදා ගන්නා  සියලු ලේඛන හා  උපලේඛන වල මෘදු පිටපත්, සේවා නියුක්තිය පිළිබඳ ප්‍රශ්ණාවලිය පිරවීම සඳහා එක් එක් ප්‍රශ්ණය වෙනුවෙන් ශ්‍රව්‍යදෘෂ්‍ය උපදෙස් අඩංගු කොට සකස් කල විඩියෝ දර්ශන ආදිය ඇතුලු වැදගත් තොරතුරු රැසක් මෙම වෙබ් පිටුවෙහි අන්තර්ගතයි. මේ අනුව, සෑම සේවා නියුක්තිකයෙකුටම මේ වෙබ් අඩවියේ ඇතුලත් තොරතුරු පරිශීලනය කර සංගණන ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමට හැකියාව ඇත.

මෙවර සංගණනයේ විශේෂත්වයන් කිහිපයක් තිබේ. එනම් මුළු රටම ආවරණය වන පරිදි සියලුම රාජ්‍ය හා අර්ධරාජ්‍ය සේවකයින් එක් දිනක් තුළ හා එකම කාල පරිච්ජේදයක් තුළ ගණන් ගැනීම සිදු කිරීමයි. ඒ වගේම රාජ්‍ය අංශයේ සේවා නියුක්තියට අමතරව මෙවර තෝරාගත් ආයතනික වත්කම් කිහිපයක් පිළිබඳවත් තොරතුරු රැස් කෙරේ. සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල පූර්ණ ලැයිස්තුගත කිරීමක් සිදු කර පවත්වනු ලබන ප්‍රථම සංගණනය මෙයයි. එසේම, අර්ධ රාජ්‍ය අංශය යටතේ එන වතු ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වතු අංශයේ සේවා නියුක්තිකයින්  ද ප්‍රථම වතාවට මෙම  සංගණනයට ඇතුලත් කර ගැනේ.  ඒ අනුව, මෙවර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද සංගණනය  ඉතා සුවිෂේශී සංගණනයක් ලෙස හැඳින්වීමට පුළුවන.

ජාතික කර්තව්‍යයක් වන මෙම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තය පිළිබද සංගණනය - 2016  සාර්ථක කරගැනීමට සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්  ඒ පිළිබද දැනුවත්වීම අත්‍යාවශ්‍ය කරුණකි.