පුවත්පත රටක අනාගතය ගොඩනැඟීමේ තීරණාත්මක සාධකයක් වුවත් වර්තමානයේ පුවත්පත්වල මුල් පිටුව සරසන්නේ ස්ත්‍රී දූෂණ, මිනීමැරම්, මංකොල්ලෑකෑම්, දේශපාලන ගැටුම් වැනි කසළ ගොඩවලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ලෝකයේ කිසිඳු රටක නැති දේශපාලන චින්තනයක් බවට පත්ව ඇතැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ වෝටර්ස් ඒජ්හි දී ඊයේ(22) සවස පැවැති විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මාධ්‍යට අවශ්‍ය විද්‍යාඥයන්ගේ තොරතුරු නොවෙයි. මාධ්‍යට අවශ්‍ය කසළ ගොඩවලුයි. මාධ්‍යට අවශ්‍ය ස්ත්‍රී දූෂණ, මිනීමැරම්, මංකොල්ලෑකෑම්, දේශපාලන ගැටුම්, කසළ ගොඩවලුයි.

රටක් ගොඩනැ‍ඟීමේ කාර්යට මාධ්‍ය වගකීම එසේ මෙසේ වගකීමක් නොවෙයි. එහෙත් අපේ රටේ මාධ්‍ය ආණ්ඩු පෙරළන්න උත්සාහ ගන්නවා. ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට මාධ්‍යට ඕනෑ. දේශපාලනඥයන් අලුතින් හඳන්න මාධ්‍යට ඕනෑ. දේශපාලනඥයන් බලයෙන් ඉවත් කරන්න මාධ්‍යට අවශ්‍ය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තත්ත්වය එයයි. එය ලෝකයේ කිසිඳු රටක නැති දේශපාලන චින්තනයක් බව කිව යුතුයි. රටක් ගොඩනඟන්න, දියුණු කරන්න, ජාතියක් ලෙස ඉදිරියට යන්න මාධ්‍ය කැපවීම, ගුණාත්මක බව, ප්‍රමිතියක් තිබිය යුතුයි. අපේ රටේ පුවත්පත්වල මුල්පිටුවල දරුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට හෝ පොදු මහජනතාවට අවශ්‍ය දෙයක් පළ වෙන්නේ නැහැ. මුල් පිටුව තමා රට නැති කරන පිටුව බව කිව හැකි යැයි “අනාරවණය කළේය.