මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ දී සාකච්ඡා කැර වෘත්තීය අයිතිය නීතිමය තත්ත්වයක් මත ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා කමිටුවක් පත් කර අඛණ්ඩව ක්‍රිය කරන්නැයි ජනමාධ්‍ය ඇමැතිවරයාට උපදෙස් ලබා දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ කමිටුව මසකට වරක් රැස් වී මාධ්‍යවේදීන්ගෙන් ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් නිරන්තරයෙන් ඒ පිළිබඳ ප්‍රගතිය තමන් වෙත වාර්තා කරන ලෙසටත් උපදෙස් ලබා දෙන බව ද අවධාරණය කෙළේ ය. එමෙන්ම මාධ්‍යවේදියා සිය වගකිම් ඉටු කිරීමේ දී මහජනතාව වෙත නිවැරදි මතයක් ඇතිකැර වීම සඳහා නිවැරදි ප්‍රවෘත්ති පලකිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ තුළින් ජනතා අයිතින් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකි බවද කීය.

 පත්තරකාරයෙක් රටක ජනාධිපති වූ පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රැහේ එකෙකුට සළකන්නේ රැහේ එකෙක් පමණක් බවත් සිය දේශපාලන දිවියේ කිසිම දිනක මාධ්‍යවේදියෙකුට කිසිදු හිරිහැරයක් සිදුකර නැති බව බොහෝ දෙනෙක් දන්නා කරුණක් බවත් කීවේ ය.

රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු මාධ්‍ය ආයතනවල ආදායම් උපදවන ප්‍රධාන කණ්ඩායම මාධවේදීන් වන අතර ඒ අය ප්‍රාදේශීය ද මාණ්ඩලික ද කියා ගැටලුවක් නැති බවද සියලු මාධ්‍ය ආයතනවල නහර හා රුධිරය ගමන් කරන ප්‍රධාන මාර්ගය වන්නේ මාධ්‍යවේදීන්බවද පැවැසීය.

එම මාධ්‍යවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදීම සියලු මාධ්‍ය ආයතනවල වගකීමක් මෙන්ම යුතුකමක් බවත් ඔවුන් නොඉල්ලුවත් අවශ්‍ය දේ සොයා බලා ලබාදිය යුතු බවත් හෙතෙම ‍කියා සිටියේ ය. 

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share