සෘජු සහ වක්‍ර රැකියා 10,000කට අධික සංඛ්‍යාවක් බිහි කරන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට කුලියාපිටිය ලබුයායේ දී ඊයේ (3) පස්වරුවේ මුල් ගල් තැබිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතින් මුල් ගල් තැබීම සිදු විය.

මෙම කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආයෝජන කීරීම සඳහා වෙස්ටර්න් ඔටෝ මොබයිල් සමාගම ඉදිරිපත් වී සිටී. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ දී ලබා දුන් පොරොන්දුවකට අනුවයි.

මාස 24ක කාලයක් ඇතුළත කම්හල ඉදිකිරීමට වැයවන මුළු වටිනාකම නැවත ආයෝජනය කිරීමට නියමිත මෙම කම්හලෙන් තරුණ තරුණියන් 3,000කට සෘජු රැකියා ද, 10,000කට වක්‍ර රැකියා ද, නිෂ්පාදනය කිරීමට නියමිතය.

යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය නමින් කුලියාපිටියේ ඉදිකෙරෙන මෙම කම්හලට සමගාමීව තරුණ තරුණියන් සඳහා වූ රැකියා පුහුණුව ලබා දෙන ආයතනයක් ද ඇරඹේ.

ජාතික රජයේ මැතිවරණ පොරොන්දුවත් සමඟ 2015 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය වෙස්ටන් ඔටෝ මොබයිල් එසැම්බලි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම අනුව මෙම කම්හල අරඹයි.

ආරම්භ අවස්ථාවේ එන්ජින් ධාරිතාව 1000-2000 අතර ඩීසල් වාහන එහි එකලස් කිරීමට අපේක්ෂිතය.

ආරම්භක අවස්ථාවෙන් පසු පෙට්‍රල්, විදුලි හා හයිබ්‍රිඩ් වාහන සඳහා අපනයන ඉල්ලුම අනුව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට මැති ඇමැතිවරුද, මෝටර් රථ නිෂ්පාදන සමගමේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.