කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩුවක් දක්නට ඇතත්, එම ස්ථානය කලාකරුවන්ට ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (4) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු රන්මිණිතැන්ත විකිණීමට තීරණය කර ඇතිදැයි මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහි දී අදහස් දැක්වූ ඇමැතිවරයා,
'රන්මිණිතැන්ත විදේශිකයන්ට දෙන්න හදනවා කියලා අමූලික පට්ටපල් බොරුවක් ප්‍රචාරය කරන්න උත්සාහ දරනවා. දේශපාලන වශයෙන් බංකළොත්ව සිටින පිරිසක් විවිධ ප්‍රචාර ගෙන යමින් මේ විදිහේ තෘප්තියක් ලබන බව අපට පේනවා. මම අදාළ ඇමැතිවරයා ලෙස කියන්න කැමතියි මෙහි කිසිම සත්‍යතාවක් නැහැ කියලා. එකම දේ තිබෙන්නේ රන්මිණිතැන්නට කලාකරුවන්ට යන්න අපහසුයි, එය දුර බැහැර වැඩියි ආදී වශයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ කාලේ මේක හදන්න හදන විටත් කොළඹට ආසන්න ස්ථානයක මේක කරන්න කියලා ඉල්ලීම් තිබුණත් එවකට සිටි ඇතැම් අයගේ ඇතැම් වාසි සඳහා, දේශපාලන ප්රතිරූප පිම්බීම සඳහා මේක දුරබැහැර ප්‍රදේශයකට ගෙන ගොස් ස්ථාපිත කළා.
අපේ අරමුණ වන්නේ මේක වැඩිදියුණු කිරීම සහ තව තවත් මෙවැනි තැන් කලාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සාදා දීමයි. ඒ හැර මේ ස්ථානය විදේශිකයන්ට ලබා දෙන බවට ගෙන යන බොරු ප්‍රචාර අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි කියනවා ඕනෑම කෙනකුට ගිහින් මේක පාවිච්චි කරන්න, බොරු ප්‍රචාර ගෙන යන්න එපා කියලයි.
කලින් කීවා එක කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා කියන එක බොරුයි කියලා. අපි මෝටර් රථ කර්මාන්ත ශාලාවක් පෙරේදා කුලියාපිටියේ ආරම්භ කළා. ඉදිරි සති දෙක ඇතුළත පමණක් විසිදහසක පමණ පිරිසකට රැකියා ලැබෙන කර්මාන්ත ශාලා රාශියක් ආරම්භ වෙනවා. කළුතර හොරණ ප්‍රදේශයේ හත් දහසකට පමණ රැකියා ලැබෙන ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ වෙනවා. මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ අක්කර 12ක භූමිය යොදා ගෙන අත්වැසුම් කර්මාන්ත ශාලාවක් හෙට ආරම්භ වෙනවා. මෙමඟින් හත්දහසකට පමණ රැකියා ලැබෙනවා' යනුවෙන් පැවැසීය.
රාජ්‍ය ආයතන කිහිපයක් විකිණීමට යන බවට නැඟී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් මෙහි දී කළ විමසුමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ, එය අසත්‍ය චෝදනාවක් බවත්, රජය උත්සාහ දරන්නේ පාඩු ලබන තැන්, සුදු අලි ව්‍යාපෘති ජනතාවට බරක් නොවන පරිදි හවුල් ව්‍යාපාර බවට පත් කොට වැඩිදියුණු කිරීම බවත් ය.