වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් සහ ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ආරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරාගත් ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ සහභාගීත්වයෙන් 2017 ජනවාරි මස 20 දින පෙ.ව 10.30ට අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,

“වාර්ෂිකව අප අමාත්‍යාංශයෙන් ජනමාධ්‍යවේදීන්ට පුහුණුව සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ලබාදෙන ශිෂ්‍යත්ව වැඩපිළිවෙල යටතේ මේ වසරේ සුදුසුකම් ලැබූ මාධ්‍යෙව්දීන් 60 දෙනෙකුට එම ශිෂ්‍යත්ව පිරිනමන අවස්ථාවට අමාත්‍යවරයා ලෙස සහභාගී වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මේ ශිෂ්‍යත්ව සඳහා 70 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට කැඳවලා සුදුසුකම් ලැබූ සියලු දෙනාටම එම ශිෂ්‍යත්ව පිරිනැමීමට හැකියාව ලැබී තිබෙනවා. 2005 වසරේ සිට වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරුණත් ගිය අවුරුද්දේ තමයි වැඩිම ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරි නැමුණේ. 145 දෙනෙක් ගිය අවුරුද්දේ මේ සඳහා සුදුසුකම් ලැබුවා. ඉතිං මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල මාධ්‍යවේදීන්ට ඉතා ප්‍රයෝජනවත් වැඩ පිළිවෙලක් කියලා මං කල්පනා කරනවා. හැම වෘත්තියකටම පුහුණුවක් අවශ්‍යයි. සෑම වෘත්තිකයෙක්ට සේම මාධ්‍යවේදීන්ටත් සිය වෘත්තියට අදාලව පුහුණුවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඇකඩමියක් ආරම්භ කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමු කර තිබෙනවා. අපි මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න විවිධ සාකච්ජා වට කිහිපයක් පවත්වමින් තිබෙනවා. ඒ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මාධ්‍යවේදියා එක්තරා මට්ටමකට ගෙනල්ලා අපේ ජනතාවට සාධාරණයක් ඉටු කරන තැනකට තල්ලු කරන්න. වර්තමානයේදී ජනමාධ්‍යවේදීන් රාශයක් අපේ රටේ ඉන්නවා. ඉස්සරනං අපේ හිටපු සමහර ජනමාධ්‍යවේදීන් මේක වෘත්තියකට වඩා සේවයක් හැටියට තවත් ආකාරයකින් තමයි මේක සිද්ධ කරලා තියෙන්නේ. නමුත් අද මේක කර්මාන්තයක් නැත්තං වෘත්තියක් බවට පත්වෙලා තියනවා. ඉතිං ජනමාධ්‍යවේදියෙකුට විශාල වගකීමක් ඇත්තවශයෙන්ම පැවරිලා තියනවා. ඔබ ලබාදෙන තොරතුර ක්ෂණයකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරට යනවා. එම නිසා ඒ ලබාදෙන තොරතුර පිළිබඳව වගීකීමක් තිබෙන්න ඕන. අද සමහර වෙලාවට සමහර මාධ්‍යවේදීන්ගේ වාර්ථාකරණය දිහා බලනකොට අපට බරපතල ගැටළු තිබෙනවා. නිකන් හිතලු අනුව ලියන ඒවා තියනවා. අහුලගත්ත තොරතුරැ වලින් ලියන ඒවා තියනවා. වගකීම පිළිබඳව ලොකු බරපතල තත්වයන් සමහර වෙලාවට තියනවා. ඒ වගේම සමහර මාධ්‍යවේදීන් උනන්දු වෙන්නේ ජනතාවට සත්‍ය තොරතුරුම ලබා දෙනවට වඩා විවිධ විදිහට ඒ තොරතුර විකෘති කරලා දෙන්න පුළුවන්ද කියන දේ ගැනයි. සමහර වෙලාවට කොටවන තොරතුරකට පුමුඛත්වය දෙනවා. සමහර වෙලාවට කෙටි වචන දෙකතුනකින් සම්පූර්ණ අර්ථය වෙනස්වෙලා යන විදිහට ජනතාවට තොරතුරු දෙන මාධ්‍යවේදීන් අපි දැකලා තියනවා. ඒ නිසා මේක ලොකු වගීකීමක් තියන වෘත්තියක් හැටියට අපි දකිනවා.

ඒ වගේම අද බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙලා අවධානයට අපි යොමුකරලා තියනවා මාධ්‍ය නියාමන ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳව. ඒ පිළිබඳව අපි දැන් ප්‍රසිද්ධ කරලා තියනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයේම ඉතා ඉහළ පිළිගැනීමක් සහිතව අනුමැතිය ඒ පිළිබඳව අප යොමු කළ කැබිනට් පත්‍රිකාවට ලැබුණා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා අපි ඒ සඳහා කාලය වෙන්කර තිබුණත් සියලු දෙනාගේම අදහස් දැනගැනීම සඳහා අපි තවදුරටත් එහි කාලය දීර්ඝ කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කාගෙත් අදහස් අරගෙන හරි විදිහට මේ නියාමන කොමිසමක් වැනි දෙයක් ඇති කිරීම ගැන සාකච්ජා කරන්න. එතැනදි අපි ආගමික නායකයින්ගේ අදහස් ලබා ගන්නවා. විද්වතුන්ගේ අදහස් ලබා ගන්නවා. මාධ්‍ය සංවිධාන සියල්ලගේම අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය හිමිකරුවන්ගේ අදහස් ඒකට අවශ්‍ය වෙනවා. ජනමාධ්‍යවේදීන් හැමෝටම පුළුවන් තමන්ගේ ස්වාධීන අදහස් ඊට ලබාදෙන්න. මේ රටේ හැම පුරවැසියෙකුටම අවශ්‍යනං ඒ සඳහා ඉඩකඩක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ නියෝජ්‍ය ඇමතිතුමත් ලේකම්තුමත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමත් අපි හැමෝම මේ පිළිබඳව සාකච්ජා කරලා තිබෙනවා. ඒ අනුව විවිධ පාර්ශව මුණ ගැසීමට ඉඩකඩක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ වනවිටත් කතෝලික පූජකතුමන්ලා කිහිපදෙනකේ එතුමන්ලාගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබෙනවා. ඒ වගේම මහානායක හාමුදුරුවන්වහන්සේලාගේ අදහසුත් ඊට ලබා ගන්නවා. ඒ අනුව මේ සියලු දෙනාගේ අදහස් යම් කාල සීමාවක් ඇතුළත ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. රජය ලෙස කිසිම දෙයක් අපි බලෙන් පටවන්න බලාපොරොත්තු වෙන්නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ රජයක් ලෙස මාධ්‍යයට දීපු නිදහස තවදුරටත් ශක්තිමත් කරන්නයි.“

නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාද මෙහිදී අදහස් දැක්වූහ. දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් මෙම වැඩසටහන යටතේ අදාළ ශිෂ්‍යත්ව පිරිනැමිණ.

දේශීය විශ්වවිද්‍යාල, රජයේ උසස් අධ්‍යාපන හා පුහුණු ආයතන මගින් පවත්වනු ලබන පශ්චාත් උපාධි, කෙටි කාලීන සහ දිගු කාලීන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන් හට තෝරාගත හැකිය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ ආපසු නොගෙවීමේ පදනම මත රු 100,000ක උපරිමයට යටත්ව ශිෂ්‍යත්වලාභීන් වෙත පාඨමාලා ගාස්තු සඳහා ගෙවීම් කරනු ලැබේ.