කොරියානු රජයේ දූත පිරිසක් අද දින (23) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එම අමාත්‍යංශයේදී හමු විය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ප්‍රදානය කිරීමට නියමිත ආධාර පිළිබඳ සොයා බැලීම සඳහා කොරියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටී. නිල සංවර්ධන ආධාර යටතේ කොරියානු විද්‍යා, තොරතුරු තාක්ෂණ හා සැලසුම් අමාත්‍යාංශය සහ ගුවන්විදුලි ප‍්‍රවර්ධන සංගමය විසින් අදාළ පරිත්‍යාග සිදු කිරීමට නියමිතය. එම ආයතන නියෝජනය කරමින් පාර්ක් ජොන්ග්සිල් සහ චෝ සුමි යන ව්‍යාපෘති කළමනාකාරවරියන් හා කොරියානු විකාශන සේවාවේ අධීක්ෂක කිම් චූන් ඩොන්ග් මහතා මේ හමුවට එක්වූහ. රූපවාහිනී විකාශ සඳහා අවශ්‍ය මාධ්‍ය වත්කම් කළමනාකරණය හා ඩිජිටල් සංරක්ෂණ පද්ධතියක් පිරිනැමීමට අපේක්ෂිතය. වසර 35 ක රූපවාහිනී ඉතිහාසය තුළ ජාතික වශයෙන් වැදගත් සිදුවීම්වලට අදාළ සංරක්ෂිත වීඩියෝ දර්ශන රැසක් රූපවාහිනී සංස්ථාව සතු වේ. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ යන මහත්වරුන් හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ උසස් නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී විය.

23