ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සබරගමු පළාත් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා එක් දින සම්මන්ත්‍රණයක් 2017.03.02 දින රත්නපුර, සමූපකාර ග්‍රාමීය බැංකු සංගම් සමුදි උත්සව ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සහයෝගය ඇතිව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මැතිතුමා සහභාගි වේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල (රත්නපුර, කෑගල්ල) සහ ඒ යටතේ ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල, පළාත්සභා කාර්යාලය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වය ද ඇතිව පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සිළුම ආයතනවල දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශිය ලේකම්, අධ්‍යක්ෂ, සැලසුම් අධ්‍යක්ෂ, ගණකාධිකාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගි වීමට නියමිතය.

එම සම්මන්ත්‍රණයේ දී 8 වැනි පාර්ලිමේන්තුව විසින් අභිනවයෙන් පත්කර ක්‍රියාත්මක කරනු ලබන ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු කිරීම, කාරක සභා සහ එම කටයුතුවලදී පාර්ලිමේන්තුව හා රාජ්‍ය ආයතන අතර සබඳතාවය, පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ හැදින්වීම, පාර්ලිමේන්තු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සහ ලිපිලේඛනාදිය පිළිගැන්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ කාරක සභාවල කටයුතු කිරීමේ දී ඒවායේ වැදගත්කම, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියා පිළිවෙල සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පිළිබඳවද දැනුවත් කරනු ලැබේ.