මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීත ව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් යළි වීරත්වයට පත් කෙරෙන උත්තමාභිවන්දනා ඓතිහාසික මහෝත්සවය අද (01) ප.ව. 4.00 ට මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්වීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.
1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් 82 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය ජනාධිපතිතුමන් විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය.
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරන ලද මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය අනුර මනතුංග, ආචාර්ය කේ.ඩී. විමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම විරු නාමලේඛනය නිර්දේශ කර ඇත.
දේශයේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ විරුවන් එම අවමන් සහගත නාමකරණයෙන් මුදවාලීම ජාතික වගකීමක්ව පැවතියද, වසර දෙසීයකට ආසන්න කාලයක් පුරා එම වගකීම ඉටු කිරීම අතපසුවී තිබිණි. ඒ අනුව, මෙම වසරේ මාර්තු 02වන දිනට උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වර්ෂ 202 ක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් එම විරුවනට නිසි ගෞරවය පුද කිරීම මෙම ජාතික මහෝත්සවයේ අරමුණ වේ.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.
ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්රමික විකාශනය දැක්වෙන ප්‍රාසාංගික අංගයන් ද සහිතව පැවැත්වෙන මෙම උත්සවය අද ප.ව. 4.00 සිට රූපවාහිනි නාලිකා මඟින් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.