මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් 90 දෙනෙකු ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පස්වරු 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.


මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර කෙරෙනුයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය.
දේශයේ ප්‍රගතිය වෙනුවෙන් එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ සිය අද්වීතිය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර අගයනු වස් මෙසේ ජාතික සම්මාන පිරිනැමීම සිදු කෙරෙන අතර මෙවර ජාතික සම්මාන උළෙල පැවැත්වෙනුයේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි.
මෙහිදී පිරිනැමෙන උච්චතම සම්මානය වනුයේ ශ්‍රී ලංකාභිමාන්‍ය (නාමධාරී) සම්මානයයි. නෙළුම් මලක ලාංඡනයකින් සමන්විත රන් පදක්කමකින් සංකේතවත් කෙරෙන මෙම සම්මානය ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ හා අතිකීර්තිමත් සේවය සඳහා එක් අයකුට පිරිනැමේ.
ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10ක්, දේශබන්ධු සම්මාන 09ක්, විද්‍යාජෝති සම්මාන 11ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 02ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන 07ක්, විද්‍යානිධි සම්මාන 10ක්, කලා ශූරී සම්මාන 14ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 02ක් හා වීරප්‍රතාප සම්මාන 02ක් යනුවෙන් තවත් විශිෂ්ටතමයින් 89 දෙනෙකුට සම්මාන පිරිනැමීමට නියමිතය.
එමෙන්ම ශී‍්‍ර ලාංකිකයින් නොවන පුද්ගලයන්ට පිරිනමන ජාතික සම්මාන වන ශී‍්‍ර ලංකා රත්න හා ශී‍්‍ර ලංකා රංජන සම්මාන ද මෙහිදී ප‍්‍රදානය කෙරේ. එය විශේෂයෙන් ශී‍්‍ර ලංකාව සහ පොදුවේ මානව වර්ගයා උදෙසා කරන ලද උත්කෘෂ්ට සහ විශිෂ්ට සේවය සඳහා ප‍්‍රදානය කරනු ලැබේ.
මෙම උළෙලේදී සම්මානයට පාත්‍රවනුයේ ඒ ඒ පුද්ගලයින් විසින් හා විවිධ මහජන සංවිධාන විසින් යොමු කරන ලද නාම යෝජනා විදිවත් විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කිරීමෙන් පසු තෝරා ගනු ලැබූ සුවිශිෂ්ටතම පුද්ගලයින් අනූදෙනෙකු වන අතර මේ සඳහා නම් 426 ක් ‍යෝජනා වී තිබුණි.
1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමෙන මෙම සම්මානලාභීන්ගේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.