මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.


මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය.
වසර 12 කට පසු පැවති මෙම ජාතික සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශී‍්‍ර ලාංකික පුරවැසියන් 89 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙහිදී ශී‍්‍ර ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශී‍්‍ර ලංකාභිමාන්‍ය සම්මානය අභාවප‍්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිනැමිණි.
ශී‍්‍ර ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප‍්‍රදානය කෙරෙන ශී‍්‍ර ලංකා රංජන සම්මාන දෙකක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමුණු අතර ආචාර්ය සරත් ඩී. ගුණපාල, සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙනුවෙන් එම සම්මාන පිරිනැමිණි.
ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප‍්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 10 ක් පිරිනැමුණු අතර අබ්බාස්අලී අක්බර්අලී මහතා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, ආචාර්ය දේවනේසන් නේසයියා, නන්දදාස රාජපක්ෂ, මහාචාර්ය කේ.එම්. ද සිල්වා, ලතා වල්පොල, මිනේක ප‍්‍රසන්න වික‍්‍රමසිංහ, මහාචාර්ය පි‍්‍රයානි සොයිසා, අමරදාස ගුණවර්ධන, තිස්ස දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා අතින් එම සම්මාන ලබා ගත්හ.
දේශබන්දු සම්මාන 09 ක් පිරිනැමුණු අතර දේවනායගම් ඊශ්වරන්, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන, ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර, කපිතාන් එම්.ජී. කුලරත්න, සුසන්තිකා ජයසිංහ, රංජන් මඩුගල්ල, ශාන් වික‍්‍රමසිංහ, ආචාර්ය පබිලිස් සිල්වා, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය යන මහත්වරුන් එම සම්මානයෙන් පිදුම් ලැබූහ.
විද්‍යාජෝති සම්මාන 11 ක් ජනාධිපතිතුමා අතින් ප‍්‍රදානය කෙරුණු අතර මහාචාර්ය නිමල් සේනානායක, ආචාර්ය බන්දුල විජේරත්න, වෛද්‍ය කොල්වින් සමරසිංහ, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, මහාචාර්ය ටී.කේ. විමල් පද්මසේන, මහාචාර්ය එරල් රැඩ්ක්ලිෆ් ජෑන්ස්, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, මහාචාර්ය එම්.ඩබ්.ජේ.ජී. මෙන්ඩිස්, මහාචාර්ය එම්.එම්.ආර්. වාස් ජයසේකර, මහාචාර්ය සරත් කොටගම, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ජනාධිපතිතුමා අතින් එම සම්මාන ලබා ගත්හ.
මීට අමතරව කලාකීර්ති සම්මාන 22 ක්, ශී‍්‍ර ලංකා ශිඛාමණි සම්මාන 7 ක්, විද්‍යා නිධි සම්මාන 10 ක්, කලාශූරි සම්මාන 13 ක්, ශ‍්‍රී ලංකා තිලක සම්මාන 02 ක් සහ වීර ප‍්‍රතාප සම්මාන 02 ක් ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමුණු මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලැබුවේ ඒ ඒ පුද්ගලයින් විසින් හා මහජන සංවිධාන මගින් එවනු ලබන නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් පරික්ෂාවට භාජනය කිරීමෙන් පසුවය. මෙවර මෙම සම්මාන සඳහා අයදුම් පත් 426 ක් ලැබී තිබිණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් සහ මැති ඇමතිවරු ද, විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.

 

jathika sammana 1

jathika sammana2

{jathumbnail off}