ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සඳහා ප‍්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව පැවැත්වෙන ,තිරසර ලංකා, ජාතික මංගල්‍යය හෙට (31) සිට අපේ‍්‍රල් 04 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.


එහි සමාරම්භක උත්සවය හෙට (31) පෙ.ව 10.00 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර හෙට සිට අපේ‍්‍රල් 04 වනදා දක්වා සෑම දිනකම පෙ.ව 9.00 සිට රාති‍්‍ර 10.00 දක්වා එය මහජනතාවට විවෘතය.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහා සමුළුවේදී ප‍්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැළකීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත්වීමට නියමිතය.
එක් එක් අමාත්‍යාංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය කි‍්‍රයාවලිය විදහා දැක්වෙන ආකාරයට ප‍්‍රදර්ශන කුටි සැකසීමට නියමිතව ඇත.
ප‍්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට වෙන් කර ඇති අතර ඒ එක් එක් දිනය සඳහා වෙන් වූ තේමාවන් ද විවිධ වෙයි.
මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්“ යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊට අයත් වන්නේ නිරෝගී ජනතාවක්, වස විස නැති ආහාර සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය.
මෙහි දෙවන දිනය “තිරසර ජීවනෝපායක්“ යන තේමාව යටතේ පැවැත්වෙන අතර දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදින ප‍්‍රමුඛතාවය ලබාදෙයි.
ප‍්‍රදර්ශනයේ තුන්වන දිනය “සොබාදහමට ඉඩක්“ යන තේමාව යටතේ පිරිසිදු ජලය, දේශගුණය රැකෙන මගක්, ජීවින්ටත් සාධාරණ ඉඩක් සහ වස විස නැති මහ මුහුදක් යන සංවර්ධන ඉලක්ක අනුව පැවැත්වෙනු ඇත.
සිව්වන දිනය “හොඳ අත්තිවාරමක්“ යන තේමාවෙන් දැනුවත් සමාජයක්, හරිත බලශක්තිය, ගැහැණු පිරිම් භේදයක් නැහැ, එක්ව පෙරට යන තිරසර සංවර්ධන ඉලක්කවලට අනුව පැවැත්වෙයි.
මෙහි අවසන් දිනයේ තේමාව වන්නේ “යහපත් සමාජයක්“ යන්නයි. ඇති නැති පරතරය නැති සමාජයක්, තිරසර පුරවර යන තිරසර සංවර්ධන ඉලක්ක එදින ආවරණය කෙරේ.
මීට අමතරව තිරසර ලංකා – ජාතික මංගල්‍යය තුළ ගැමි රඟ මඬල නමින් ජන සංස්කෘතිකාංග රැසක් එළිදැක්වෙන සංස්කෘතික ප‍්‍රසංග මාලාවක් දින 5 පුරාම පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
දිවයිනේ සියලුම මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන එක්ව මාධ්‍ය කලාපයක් ද මෙම භූමියේ කි‍්‍රයාත්මක අතර එහි සිට සජීවි වැඩසටහන් රැුසක් ඉදිරිපත් කිරීමට නියමිතය.
තවද කුඩා දරුවන් වෙනුවෙන් චිත‍්‍ර තරග ඇතුළු ඉසව් ගණනාවක් මෙම භූමියේ පැවැත්වෙයි. අංගම් පොර සංදර්ශන, වස විස නැති සුප ශාස්ත‍්‍ර වැඩසටහන්, සෞඛ්‍ය සායන, හරිත රැකියා පොළ, හරිත. ව්‍යවසායකත්ව අත්වැල, පර්යේෂණ ලිපි එළිදැක්වීම, නව නිර්මාණ ප‍්‍රදර්ශන, සංවාද, ච්ත‍්‍රපට ප‍්‍රදර්ශන, ගොවි හමුව, පාරිභෝගික පැමිණිලි සඳහා විසඳුම්, ශාරිරික සුවතා වැඩසටහන්, සහ විද්වත් කතිකා ද තිරසර ලංකා ජාතික මංගල්‍යයට සමගාමීව පැවැත්වෙයි.
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, සුළු ව්‍යාපාරිකයින්, ප‍්‍රජාපාදක සංවිධන, ගොවිජනතාව, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, තරුණ තරුණියන්, පාසල් දරුවන් ඇතුළු සියලු දෙනාගේ සහභාගිත්වයෙන් තිරසර ලංකා ජාතික මංගල්‍යය සංවිධානය කොට තිබේ.