සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලද විශේෂ කමිටුව පසුගියදා සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


එම පරිශ‍්‍රයේදී ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය, අංශ ප‍්‍රධානින් සහ කතෘ මණ්ඩල මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ කමිටු සාමාජිකයින් ඔවුන්ගේ අදහස් විමසීය.
සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ ඉදිරි දියුණුව හා එහි කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් 2017 පෙබරවාරී 07 වන දින ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ කමිටුව පත් කරන ලදී.
විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කේ.බී.ඞී.එම්.පී.බී. දිසානායක, රාජා පේ‍්‍රමදාස, බන්දුල දහනායක, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන් කටයුතු කරති.
ආයතනයේ පරිපාලන හා කළමනාකරණ දුර්වලතා හඳුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය සහ සේවක පරිපාලනය යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටුව මගින් සිදු කෙරේ.
අංක 4-208, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, කොළඹ 07 ස්ථානයෙහි පිහිටුවා ඇති සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කමිටුව වෙත පැමිණ සේවකයින්ට මෙන්ම මහජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකිය.