ශ‍්‍රී ලාංකීය සිනමාව ඩිජිටල්කරණයේ නව යුගයට කැටුව යමින් 8 වසරකට පසු “ජනාධිපති සිනමා සම්මාන උළෙල – 2017” අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී 31 පස්වරුවේ පැවැත්විණි.


ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් 1979 වසරේදී මෙරටට හඳුන්වාදුන් ජනාධිපති සිනමා සම්මාන උළෙල, වසර අටක නිහැඬියාවකින් පසු මෙලෙස නැවතත් ආරම්භ විය.
මේ වන විට වසර 70 ක් සපුරා ඇති දේශීය සිනමා ක්ෂේත‍්‍රය තුළ 2015 වසරේදී තිරගත කරන ලද චිත‍්‍රපට සඳහා මෙම උළෙලේ දී සම්මාන ප‍්‍රදානය කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ රටේ ජාතික සමගිය සහ සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි. එමෙන්ම සිනමා කර්මාන්තයේ ප‍්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සහ බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින ශෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක‍්‍රියාත්මක වෙනු ඇතැයි ද ජනාධිපතිතුමා තම විශ්වාසය පළ කළේය.
සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති මෙම සම්මාන උළෙලේ දී මූලික සම්මාන 21 ක් පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක් ස්වර්ණ සිංහ සම්මාන 06 ක් විශේෂ කුසලතා සම්මාන 07 ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01 ක් ද පිරිනැමිණි.
2015 වසරේ තිරගත වූ චිත‍්‍රපට අතරෙන් ප‍්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ “ඔබ නැතුව ඔබ එක්ක” චිත‍්‍රපටය හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූ අතර එහි රඟපෑ ශ්‍යාම් ප‍්‍රනාන්දු හොඳම නළුවා ලෙස ද අංජලී පටෙල් හොඳම නිළිය ලෙස ද ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
සම්මාන උළෙල සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ඩී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රංජන් රාමනායක, කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ, ජාතික විත‍්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරාජ යන මහත්වරුන් ද ප‍්‍රවීණ කලාකරුවන් රැසක් ද එක්ව සිටියහ.

 YAM6454

 YAM6516 

  YAM6842

 YAM6625 

  YAM6848

 {jathumbnail off}