ඌව වෙල්ලස්ස අභීත වීර අන්දරය කරළියට කැඳවමින් ‘උත්තමාභිවන්දනා රංග පෙළහර’ වේදිකා ප‍්‍රසංගය ඊයේ (03) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.


ඌව වෙල්ලස්ස අරගලය ඇතුළු නිදහස් සටන්වලට දායකත්වය ලබාදීම හේතුවෙන් එවක අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් දේශපේ‍්‍රමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික කර්තව්‍ය ගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත මේ වන විට කි‍්‍රයාත්මක කර ඇත.
එම ජාතික කාර්යය හා සමගාමීව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
‘උත්තමාභිවන්දනා රංග පෙළහර’ ප‍්‍රවීණ කලා ශිල්පී ගයා රම්‍ය අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. එහි නර්තන වින්‍යාසය හා රංග උපදේශකත්වය රවිබන්දු විද්‍යාපති විසින් මෙහෙය වන අතර සංගීත අධ්‍යක්ෂණය සමන් ලෙනින් ගෙනි. නිශ්ශංක දිද්දෙණිය, සනත් විමලසිරි, මාධනී මල්වත්තගේ, චන්දන ඉරුගල්බණ්ඩාර, රංග වීරකෝන්, මොහොමඞ් සෆ්රාස් ඇතුළු ප‍්‍රවීණ කලා ශිල්පීහු රැසක් මෙම වේදිකා ප‍්‍රසංගයට රංගන දායකත්වය ලබා දුන්හ.
මහා සංඝරත්නය, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින්, විද්වතුන් හා කලාශිල්පීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ප‍්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.