යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වූ ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන “රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන” වැඩසටහනේ 15 සහ 16 වන අදියර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී කි‍්‍රයාත්මක කෙරිණි.


රණවිරු දූ දරුවන් අසූ දෙදෙනෙකු සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරුණු අතර 01 ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන් 25 දෙනෙකුට රුපියල් 20,000 බැගින් ද, 06 වන ශ්‍රේණියේ සිට 08 වන ශ්‍රේණිය දක්වා සිසුන් 27 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ද, 09 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් 30 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ද ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදුවිය.
එමෙන්ම එම දරුවන් සඳහා පාසල් නිල ඇඳුම් කට්ටල සහ පාවහන් ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.
සිසුන් අට දෙනෙකු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ද ප‍්‍රදානය කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද යුද හමුදාපති, ගුවන් හමුදාපති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.