මහවැලි කලාපවල ඳූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු, මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.


මහවැලි ගම්මානවල පිහිටි පාසල්වල අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔප මට්ටම් කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, මහවැලි සංස්කෘතික බළකාය හා මහවැලි කේන්ද්‍රය එක්ව, මහවැලි ප‍්‍රතිභා, සංස්කෘතික මංගල්‍යය සංවිධානය කර තිබුණි.
මහවැලි ගම්මානවල වෙසෙන දරු දැරියන්ගේ කලා කුසලතා හඳුනා ගැනීම, කලා කුසලතා වැඩි දියුණු කර ගැනීමට මග පෙන්වීම, ශී‍්‍ර ලාංකික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංස්කෘතිකාංග ප‍්‍රචලිත කිරීමට කටයුතු යෙදීම, මහවැලි කලාපීය දරු දැරියන් සඳහා දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද තම දක්ෂතා ඉදිරිපත් කිරීමට හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මහවැලි දරු දැරියන් 850 ගේ පමණ සහභාගිත්වයෙන් පැවති මෙවර මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍ය මහවැලි ඳූ පුතුන්ගේම ගායන, වාදන, නර්තන හැකියා රැසකින් විචිත‍්‍රවත් කෙරිණි.
සුවිශේෂි දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සහතික පත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප‍්‍රසාද් ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, තානාපතිවරුන්, කලාකරුවන්, ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.