නව තාක්ෂණය උපයෝගී කරගෙන අපනයන කෘෂිකර්මාන්තය දියුණුකර මෙරට ගැමි ආර්ථිකය ශක්තිමත් කරමින් වැඩි වැඩියෙන් විදේශ විනිමය රටට ගලා ඒමට කටයුතු කර ඇති බවත්, එමඟින් රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම යාගමුවේදී පැවසීය.
ජාතික තරුණ සේවා සභාව හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයේ යෞවන සමාජ තරුණ තරුණියන් සවිබල ගැන්වීම උදෙසා “යාලගමුව එක්ස්පෝ ඇග්‍රො යූත් විලේජ්” නමින් අපනයන කෘෂිකාර්මික යොවුන් ගම්මානය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසූ අතර තවදුරටත් රැස්වීම ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
එදා 1977 දී අපි අපනයන ආර්ථිකයක් ඇති කරමින් ඇඟලුම් කර්මාන්තය ආරම්භ කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200 ආරම්භ කර රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා ලබාදුන්නා. ඒ වාගේම රටට විදේශ විනිමයක් ලබා දුන්නා. ඇතැම් අය එදා ඒ වැඩසටහන විවේචනය කළා. නමුත් අද අපට නැවත අපනයන ආර්ථිකය කරා යොමුවෙන්ට සිදුවෙලා තියෙනවා.
එදා අපේ අපනයන ආර්ථිකය යුද්ධය නිසා කඩාවැටුනා. 2003 දී අපට ලැබුණු ඇඟලුම් ආදායම ඩොලර් මිලියන 2. 5 බංගලාදේශය එම අවුරුද්දෙ ඩොලර් මිලියන 5.6ක ආදායමක් ලැබුවා. 2012 වන විටත් බංගලාදේශයේ විදේශ විනිමයවත් තිබුණේ නෑ. නමුත් 2015 වන විට බංගලාදේශය ඔවුන්ගේ අපනයන ආදායම පස්ගුණයකින් වැඩිකරගෙන ඩොලර් මිලියන 26.6 ආදායමක් උපයාගනිද්දී අපේ ආදායම ඩොලර් මිලියන 4.5 දක්වා පහත බැස්සා.
අපට අහිමි වූ ඒ අපනයන ආදායම යළි ලබාගෙන අවශ්‍ය තරම් කර්මාන්තශාලා ඇතිකර රටට අවශ්‍ය විදේශ විනිමය නැවත මේ රටට අද්වාගැනීමට කටයුතු කර අපේ ණය බර අඩු කිරීමට පියවර ගන්නවා. රාජපක්ෂ රෙජිමය සීමාවකින් තොරව අසීමිත ලෙස ණය ගැනීම නිසා අපි මේ වනවිට ඩොලර් කෝටි 1500 ණය උගුලක හිරවී සිටිනවා. මේ ණය උගුෙලන් බේරෙන්ට තමයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ. ටිකෙන් ටික ණය ගෙවා දමමින් රටේ ජනතාවට නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය දැන් යහපාලනය තුළින් උදාවෙලා තියෙනවා. දැන් සුදු වෑන් නෑ. මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට දැන් ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා දී තිබෙනවා. ඇතැම් කුහකයින්ට හා ඊර්ෂ්යාකාරයින්ට අපේ යහපාලනය ලොකු විහිළුවක් වෙලා.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක හා ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අපි බලාපොරොත්තු වනවා. රටේ මංමාවත්,වරායවල් ගුවන්තොටුපළවල් සංවර්ධනය කරනවා. කොළඹ වරායට උතුරින් තව අංගසම්පූර්ණ වරායක් ඉදිකිරීමට කටයුතු කරනවා. නාගරික ප්‍රදේශවල සැහැල්ලු දුම්රිය මාර්ග ඇතිකිරීමට කටයුතු කරනවා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීමට ජපන් රජය ඉදිරිපත් වී සිටිනවා. ඩිජිටල් තාක්ෂණය තුළින් රූපවාහිනිය සංවර්ධනය කිරීමට ජපන් රජය එකඟවී සිටිනවා.
කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය, දියුණු නගර ලෙස සංවර්ධනය කිරීමට ජපන් රජය එකඟවී තිබෙනවා. වෙනත් අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් අපේ රටට නව තාක්ෂණය හඳුන්වාදීමට ජපන් රජය ඉදිරිපත්වී සිටීම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක්. කෙරවලපිටිය එල්.එන්.පී තාප බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දීය රජය එකඟවී තිබෙනවා. මෙම බලාගාරයට අමතරව තවත් එවැනිම බලාගාර දෙකක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. අපේ රටේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියාවේ ව්‍යාපාරිකයන් රැසක් තැමැත්ත පළකර තිබෙනවා. ඒ වගේම සිංගප්පූරුව අපේ රටේ ආයෝජනය කිරීම සඳහා සූදානමින් සිටිනවා.
යාපනය - වවුනියාව, ත්‍රිකුණාමලය - වවුනියාව හා ත්‍රිකුණාමලය - දඹුල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් මහා අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජපන් රජය එකඟවී තිබෙනවා. හම්බන්තොට, කළුතර හා වැල්ලවාය නගර ආශ්‍රිතව අක්කර 100 බැගින් වූ වෙළෙඳ කලාප 3ක් ඇතිකිරීමට පියවර ගන්නවා.
මහනුවර හරිත නගරයක් ලෙසින් සංවර්ධනය කර මහනුවර, නුවරඑළිය, බණ්ඩාරවෙල හා බදුල්ල නගර ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන කලාපයන් පිහිටුවා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.
ප්‍රයෝජනයට ගන්නෙ නැතිව කැලේට යටවෙලා තිබෙන තෙල් ටැංකිවලින් ප්‍රයෝජන අරන් එම ආදායම රටේ තිරසාර සංවර්ධනය සඳහා යෙදවීමට පියවර ගන්නා අතර මුළු රටම සංවර්ධනය කරනවිට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ලබාදීමට ඉඩ කඩ සලසා තිබෙනවා. අපේ සංවර්ධන කාර්ය පිළිබඳ බිය වූ බොරු කුහක දේශපාලනඥයින් පිරිසක් බොරුවට කෑගසමින් මේ රටේ ජනතාව මුළා කිරීමට උත්සාහ ගන්නවා.
සාම්පූර් තාප බලාගාරය ඉදිකර එහි බලශක්ති මධ්‍යස්ථානයක් ඇතිකිරීමට පියවර ගන්නවා. යුරෝපය අපට ජී.එස්.පී. ෆ්ලස් සහනය ලබා දෙනවා. එයට අමතරව ජපානය, චීනය හා ඉන්දියාව රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. එමඟින් චීන, ජපන් හා ඉන්දියන් මහා ධනවතුන් , ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවට ඇවිත් ආයෝජනවල යෙදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. චීනය හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කිරීමට එකඟවී තිබෙනවා. සංගප්පූරුව වයඹ පළාත් වෙළෙඳ කලාපයක් ඇතිකිරීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම කඳුකරයේ වෙළෙඳ කලාපයක් ඇතිකිරීම සඳහා තායිලන්තය ඉදිරිපත් වී සිටිනවා.
යහපාලන රජයේ සංවර්ධන කටයුතු පමණක් නොවෙයි සියලුම කටයුතු විනයක් ඇතිව, විනිවිදභාවයෙන් යුතුව සියලුම දෙනාගේ අදහස් හා එකඟතාවය මතයි සිදු කරනු ලබන්නේ. මේ වැඩවලට හුරු නැති ඒ වගේම හොඳ වැඩවලට එකඟ නැති විපක්ෂයේ ඇතැම් පිරිස් බොරුවට කෑ මොරදෙනවා. කොහොම හරි අපි 2020 වන විට මේ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කරනවා යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කීය.