කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරස්ථානයේ සතියක් පුරා පැවැත්වෙන ජාතික වෙසක් උත්සවයේ තුන්වැනි දිනය අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ අතිඋත්කර්ෂවත්ව පැවැත්වීමට මඟපෑදු ජනාධිපතිවරයා සමඟ මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වන බව උත්සව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.
ජාතික වෙසක් උත්සවයට සමගාමීව රුපියල් මිලියන 1000ට වඩා වැඩි පොදු යටිතල පහසුකම් සංවර්ධනයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සිදුවී ඇතැයි සංවිධායක කමිටුව පවසයි. පුනර්ජනණීය බලශක්ති හා විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන ම හත්වරු මේ ජාතික වෙසක් උළෙල සංවිධායක කමිටුවේ සම සභාපතීත්වය දරති.
අස්ගිරි - මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ ආශිර්වාදය හා සහභාගීත්වය සහිතව අද (09) වෙසක් සතියේ 03 වැනි දිනය ආරම්භ කැරේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය අධිකරණ හා බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් එක්වනු ඇත.
බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන, කෑගල්ල ව්‍යාපාරික ප්‍රජාව, පොදු මහජනතාව මේ උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය සපයා තිබේ.