ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනය සඳහා ඇති නිදහස තහවුරු කිරීමට සියලු පියවර ගත යුතුව ඇතැයිද ආරක්ෂිත සාගර ගමනාගමනය තහවුරු වූ විට සාගර ආර්ථිකය වඩ වඩාත් දියුණු වීමට එයින් රුකුලක් ලැබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සාගර ආර්ථිකය දියුණු වෙද්දී සාගර පරිසරය ද රැකගන්නට ද වගබලා ගත යුතු බවද දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ හා නැගෙනහිර පැසිපික් සාගරයේ ආර්ථික සංවර්ධනය, සාමය පවත්වාගෙන යාම, පරිසර සංරක්ෂ ණය යන අරමුණු තුනම සාක්ෂාත් කර ගත යුතු බවද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සාගර සහ සාගර සම්පත් තිරසර ලෙස භාවිතය හා සංරක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“මෙම සමුළුව සංවිධානය කිරීමට මුල් වූ සියලු දෙනාට මගේ කෘතවේදීත්වය පළ කරන්න මා කැමතියි. විශේෂයෙන්ම මහා මණ්ඩලයේ සභාපති පීටර් තොම්සන් මහතා ෆීජි සහ ස්වීඩන දෙරටේ රජයනුත්, එමෙන්ම පෘතුගාලය සහ සිංගප්පූරුව දෙරටෙහි නිත්‍ය නියෝජිතයිනුත් යන අයගේ දායකත්වය විශේෂයෙන්ම අගය කරනවා.
මෙම සමුළුව ඓතිහාසික ක්‍රියාදාමයක තවත් පියවරක්. අප උත්සාහ කරන්නේ මානව වර්ගයාගෙන් මිහිතලයට ඇති කෙරෙන බලපෑම් තේරුම් ගන්නට හා සමනය කරන්නටයි. මේ ක්‍රියාදාමය ඇරඹුනේ 1972 දී ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය පිළිබද මුල්ම එක්සත් ජාතීන්ගේ සමුළුවේදී. එතැන් පටන් පරිසරය සුරැකීම පිළිබඳව සියලු ජාතීන්ට පැවරෙන වගකීම ගැන අප බොහෝ දේ කතා කර තිබෙනවා.
පරිසර කළමනාකරණය සහ මානව සුබ සිද්ධිය ඉතා සමීපව එකිනෙකාට බැඳී තිබෙන බව අප දැන් හොඳාකාරව දන්නවා. ගෙවී ගිය වසර 40 කට වැඩි කාලය තුළ පරිසර කළමනාකරණය සඳහා ගෝලීය වශයෙන් ආයතනික ව්‍යුහයක් පිහිටුවා තිබෙනවා. එසේම පරිසරය ගැන මහජන දැනුම හා අවබෝධය ඉතිහාසයේ පෙර කිසිදාක නොතිබූ තරමට අද පුළුල් වී තිබෙනවා. මේ සියල්ල මෙසේ වුවත් ප්‍රශස්ත මට්ටමේ පාරිසරික තිරසර බවක් ළඟා කර ගන්නට අපට තවමත් හැකි වී නැහැ.
මේ සමුළුවේ වැදගත්කම තවත් වැඩි වන්නේ මේ හේතුව නිසයි. අපේ මිහිතලයේ මතුපිටින් 70% ක් ම වසා ගෙන සිටින්නේ සාගර විසින්. ලෝකයේ තිබෙන ජල සම්පතින් 97% ක් ම මේ සාගර තුළ ගැබ්ව තිබෙනවා. මේ සාගර මුහුදු සාගර සම්පත් සංරක්ෂණය කරන්නට අප මීට වඩා උත්සාහ ගත යුත්තේ ඒ නිසයි. එසේ නොකළහොත් ගොඩබිම අප ගන්නා අනෙකුත් සංරක්ෂණ පියවර අසාර්ථක විය හැකියි. මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන පසුබිම් පත්‍රිකා සහ නියෝජිතයන් අතර සිදුවන සාකච්ඡා මඟින් තවදුරටත් තහවුරු කරන්නේ සාගර සම්පත් සංරක්ෂණයේ හදිසි අවශ්‍යතාවය හා වැදගත්කමයි.
මෙම සාකච්ඡාවන්හි දී වැඩි අවධානයට යොමු විය යුතු යැයි මගේ රජය විශ්වාස කරන එක පැතිකඩක් තිබෙනවා. එනම් මූල්‍ය සම්පත් සම්පාදනය කිරීමයි. සාගර සංරක්ෂණය වෙනුවෙන් අප එකඟ වන පියවර සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත් දිගටම ලැබේ නම් පමණයි.
තිරසර සාගර ආර්ථිකයක් අප සියලූ දෙනා එකමුතුව බිහි කළ යුතුව තිබෙනවා. එයට මසුන් වගා කිරීම, සාගරයෙන් පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම, සාගර තාක්ෂණයන් දියුණු කිරීම මෙන්ම සාගර දූෂණය පිරිසිදු කිරීම ආදී අංග ඇතුළත්.
මේ සඳහා රජයන්ගෙන් සහ දානපතීන්ගෙන් ලැබෙන මූල්‍ය දායකත්වය ප්‍රමාණවත් නොවිය හැකියි. එම නිසා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ වෙනත් නව ආකාරයේ මූල්‍ය සම්පාදන ක්‍රම සොයා ගත යුතු වෙනවා. එසේම මෙම දැවැන්ත කාර්ය භාරය සඳහා නව පාර්ශ්වකරුවන් සහ නව සහයෝගීතාවයන් සොයාගත යුතුයි.
මෙම සමුළුව සහ තවත් මෙවැනි රැස්වීම්වලින් මතුවන නිර්දේශ දැනට පවතින එක්සත් ජාතීන්ගේ සාගර නීතියට අදාළ කළ යුතුයි. එම නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ආයතනික ව්‍යුහයක් පිහිටුවා තිබෙනවා. නමුත් එය විමර්ශනය කොට යම් සංශෝධන කිරීම අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනය සඳහා ඇති නිදහස තහවුරු කිරීමට සියලු පියවර ගත යුතුව ඇතැයි මාගේ රජය කිහිප වතාවක් අවධාරණය කොට තිබෙනවා. ආරක්ෂිත සාගර ගමනාගමනය තහවුරු වූ විට සාගර ආර්ථිකය වඩ වඩාත් දියුණු වන්නට එයින් රුකුලක් ලැබෙනවා. එසේ සාගර ආර්ථිකය දියුණු වෙද්දී සාගර පරිසරය ද රැකගන්නට ද අප වගබලා ගත යුතුයි. දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ හා නැගෙනහිර පැසිපික් සාගරයේ ආර්ථික සංවර්ධනය, සාමය පවත්වාගෙන යාම, පරිසර සංරක්ෂ ණය යන අරමුණු තුනම අප සාක්ෂාත් කර ගත යුතුයි.
ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් ගෝලීය දේශගුණික විපර්යාස හා සාගර පරිසර පද්ධතියේ ඇති වන වෙනස්කම්වලට කෙලින්ම මුහුණ දෙනවා. පසුගිය දශකය තුළ ශ්‍රි ලංකාව ස්වභාවික ව්‍යසන ගණනාවකට මුහුණ දුන්නා. 2004 මහා සුනාමිය, ගංවතුර, නායයාම් සහ වෙනත් ආපදා මේ අතර වනවා. මා මේ කතා කරන මොහොතේත් මෑත දිනවල ඇද හැලූණු අධික වර්ෂාව නිසා ගංවතුර හට ගෙන සිය ගණනක් ජනයා මිය ගොස් ලක්ෂ කිහිපයක් ජනයා පීඩාවට පත්වී සිටිනවා. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන ආපදා සහන පිළිබඳව අප බෙහෙවින් ස්තූති කරනවා. නමුත් මේ සියල්ලෙන් පෙනී යන්නේ එබඳු ආපදාවලට තනිවම මුහුණදීමට අපට ඇති නොහැකියාවයි. මගේ රට වැනි රාජ්‍යන්ට සාගරයෙන් ජීවිතය මෙන්ම මරණයත් ලැබිය හැකියි. ඉන්දියන් සාගරය අපට ආහාර, ජීවනෝපාය, වෙළෙඳ අවස්ථා සහ වෙනත් පහසුකම් සපයා දෙනවා. අපේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වෙරළාසන්නව ජීවත් වනවා. එහෙත් ගෝලීය මුහුදු මට්ටම් ඉහළ යාම, සාගර දූෂණය, මත්ස්‍ය සම්පත් ක්ෂමණ වීම ආදී ප්‍රශ්න අපට ඍජුව බලපෑම් ඇති කරනවා.
එසේම දැන් සොයාගෙන ඇත්තේ ලෝකයේ සාගරවල පාවෙන දෙවැනි විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්ය ප්‍රමාණය තිබෙන්නේ ඉන්දියන් සාගරයේ කියාය. සාගර දූෂණය අවම කිරීම සහ අනාගතයේ දී තිරසර ලෙස සාගර සම්පත් පරිහරණය කිරීම අප හමුවේ තිබෙන විශාල අභියෝගයන්.
අපේ අනාගතය රදා පවතින්නේ අපේ මෙන්ම ඔබේත් දායකත්වය මතයි. මේ ගෝලීය සබැදියාවන් නිසා අප රටක් හැටියට පාරිසරික සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර කැපවීම්වලට මහත් කැමැත්තෙන් සම්බන්ධ වෙනවා. දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අප වෙනුවෙන් අත්සන් කළා. එසේම නීති විරෝධී සහ නියාමනය නොකෙරෙන ධීවර කටයුතු නිමා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාත්‍යන්තර සැලසුම්වලට ශ්‍රි ලංකාවේ සම්පූර්ණ සහයෝගය අප ලබා දෙනවා. ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සාක්ෂාත් කර ගැනීමට ගන්නා සියලුම පියවවලට ශ්‍රි ලංකාව සහයෝගය දක්වනවා.
මා පැවත එන්නේ පරිසර සංරක්ෂණය දේශීය උරුමයේ ඉතා වැදගත් කොටසක් සේ සලකන සංස්කෘතියකින්. බුදුන් වහන්සේ පරිසරය හා ස්වභාව සම්පත් රැක ගන්නා හැටියට දේශනා කළා. නවීන ලෝකයට මෙම පණිවුඩය නැවත වරක් සිහිපත් කළ යුතුව තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර සමුළුවලදී ඓතිහාසික හා සාමයික උරුමයන්ගෙන් ලැබෙන දැනුම හා අවබෝධය ද අප සැලකිල්ලට ගත යුතුයි.
ගෙවී ගිය 72 වසරක කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ සාමය සංවර්ධනය හා සංරක්ෂණය සඳහා බොහෝ දේ කර තිබෙනවා. ලෝකයේ තිබෙන නොයෙක් අර්බුද නිසා අනාගතය ගැන ඇති තරම් අවධානය යොමු කරන්නට මේ සංවිධානයට අවස්ථාව නොලැබෙන බවත් අප දන්නවා. පරිසර සංරක්ෂිණය ගැන අප ගන්නා පියවරවලින් අද දවසේ ප්‍රශ්න විසඳන අතර වඩා පැහැබර අනාගතයක් බිහි කරන්නට අප උත්සාහ කරනවා. මෙම සමුළුවේ අරමුණු සියල්ල තමන් බෙහෙවින් අගය කරන හා පිළිගන්නා අතර සාකච්ඡාවලින් හරවත් තීරණ හා ප්‍රායෝගික ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ප්‍රා ර්ථනා කරන බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.
{jathumbnail off}