නව අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තම පළමු නිල විදේශ සංචාරය නිමාකරන ලදී.

ඒ ජූනි මස 16, 17 යන දෙදින තුළ කොරියා ජනරජයේ ජේජු දූපතේ පැවැති ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධිපති මණ්ඩලයේ සැසිවාරයට සහභාගී වීමෙනි.ආරම්භක සැසිවාරයට සහභාගීවීමෙන් පසු, ආසියාවේ යටිතල පහසුකම් ප්‍රමුඛතා සඳහා මූල්‍ය සම්පාදනය පිළිබඳ පැවැති අධිපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවකට සහභාගී විය.මෙම සාකච්ඡා අතරතුර, විශාල පරිමාණයේ යටිතල ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය කරා පියනගන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය සැලසුම්කර තිබෙන්නේ අපනයන මූලික කරගත් ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට බවයි.
ඒ තුළින් විවිධ ක්ෂේත්‍රවල නොසිතූ විරූ අවස්ථා නිර්මාණය කිරීමටද හැකිවී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, නව රජය ඉහළ පෙළේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සකස් කර ඇති බවත්, එසේ ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක ඇතිකර ඇති එම ආර්ථික න්‍යාය පත්‍රයට අනුව වර්ධනයේ ප්‍රධාන එන්ජිම පෞද්ගලික අංශය ලෙස සලකා එම අංශයට පහසුකම් සැලසීමට හා එය බලාත්මක කිරීමට කටයුතුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේ හැර, නව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති මාලාවක් මෙන්ම, බදු ප්‍රතිසංස්කරණ හා ආයෝජන වටපිටාව වර්ධනය කිරීමට අවශ්‍ය තවත් විවිධ වැඩ කටයුතු රැසක් නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
බොහෝ රටවලට දේශගුණික විපර්යාසය නිසා ඇතිවන ව්‍යසනයන් වැඩිවී ඇති බැවින්, එනම් පසුගිය දිනවල ලංකාවට බලපෑ ගංවතුර හා නායයෑම් උවදුර ආදිය, ඒ සඳහා මුහුණදිය හැකි ආකාරයේ යටිතල සංවර්ධනය අනාගතය උදෙසා විශේෂයෙන් වැදගත් කර්තව්‍යයක් වේ.
මෙම අභියෝගයට අපි සාර්ථකව මුහුණ දීමට නම්, ඉදිරි සියලු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශගුණික විපර්යාස වලට මුහුණදීමේ සංකල්පය යොදාගත යුතුය.
කොරියා ජනරජයේ උප අගමැතිගේ ක්‍රමෝපාය හා මුදල් අමාත්‍ය ගරු කිම් ඩොං යොන්, ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය ගරු අරුන් ජෙට්ලි සහ ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍ය ගරු ශ්‍රී මූලියානි ඉන්ද්‍රවතී මහත්මියද මෙම සමුළුව අතරතුර හමුවූ ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව හා කොරියාව, ඉන්දියාව හා ඉන්දුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්විය.