ශී‍්‍ර ලාංකීය සිනමාවේ ප‍්‍රගමනයට සුවිශේෂි දායකත්වයක් ලබාදුන් ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

“පතීට පනහයි ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය” මැයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණි.
ශී‍්‍ර ලාංකීය සිනමාවේ අනුස්මරණීය යුගයක් වූ 70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපාධිධාරියෙක් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්විවද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ.
රුහුණු විශ්වවිද්‍යාලය, ශී‍්‍රපාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කර ඇති ධර්මසේන පතිරාජ මහතා 1974 අහස්ගව්ව චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත‍්‍රපටකරණයට අවතීර්ණ විය.
එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, සවරූප සහ සක්කාරං, යන චිත‍්‍රපට ඇතුළු වෘත්තාන්ත චිත‍්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඔහු, අදුරෙන් එළියට, වෙරළ, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස, ආදි වාර්තා චිත‍්‍රපට රැසක් ද අධ්‍යක්ෂණය කර තිබෙන අතර පුංචි තිරයේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද නිර්මාණය කර තිබේ.
දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද මහත් කීර්තියට ලක්වූ ඔහු දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර, ශී‍්‍ර ලංකාවේ සිනමා ක්ෂේත‍්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ස්වර්ණසිංහ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහෙවර අගයමින් ජනාධිපතිතුමා විසින් විශේෂ උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංග කළංසූරිය යන මහත්වරුන් ඇතුළු සිනමාවේදීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.