ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.


ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප‍්‍රතිවිපාකවලට ප‍්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඬ පිළිවෙතක් අනුගමනය කළද, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යපෘතියෙන් මූල්‍ය වංචා සිදුකළ අය පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ප‍්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීය.
ජනතාව ප‍්‍රතික්ෂේප කළ මෙම ව්‍යාපෘතිය නවතා දැමීම පිළිබඳ වත්මන් රජය බලයට පත්විමෙන් පසු සොයා බැලුවද ඒ වන විට ව්‍යාපෘතියේ කටයුතු 2/3 ප‍්‍රමාණයක් අවසන්ව තිබීම හේතුවෙන් සහ ඒ සඳහා ඉරාන රජයෙන් ලබාගත් අතිවිශාල ණය මුදල හේතුවෙන් ගැටලු හමුවේ වුවද ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට රජයට සිදුවූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.
මතුව ඇති තත්ත්වය හමුවේ ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ තමා පසුගිය දින කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් සමග සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ වන විට ජර්මන් රජයේ කැණීම් කටයුතු පිළිබඳ විශේෂඥයෙකු මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිත බව කියා සිටියේය.
අද විදුලිබල සේවකයින් නිරතව සිටින විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ද මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය රජය විදුලිබල මණ්ඩලයේ ඉහළ සේවකයින්ට පමණක් විශාල වශයෙන් වැටුප් වැඩිකළ අතර පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ වැටුප්වල වැඩිවීමක් සිදුනොවීම නිසා ඔවුන් එම විරෝධතාවල නිරතව සිටින බවයි.
එසේම සයිටම්වලට එරෙහි විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එම ගැටලුව ද රටට නිර්මාණය කළේ පසුගිය රජයම බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ෆේස් බුක් සහ ඇතැම් සමාජ වෙබ් අඩවි අද ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේදී බාධාවක් වී ඇති බවයි.
අන්තවාදී පිරිස් මේවා භාවිතා කරමින් සමාජය තුළ ගැටුම් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින බැවින් මේ පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වතුකරයේ තිබෙන සුන්දරත්වය එහි ජීවත්වන ජනතාවගේ ජීවිතවලට ද ගෙන ඒමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ප‍්‍රදේශවල ජනතාව මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලු වන දරුවන්ගේ මන්ද පෝෂණය තුරන් කිරීමට මෙන්ම මත් උවදුර මැඩලීමට රජය විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන බව ද කියා සිටියේය.
නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නුවරඑළිය හැටන් ඩී.කේ.ඩබ්ලිව්. වීරතුංග සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙන්ම 125 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලය සඳහා ලබාදුන් අක්කර 10 ක ඉඩමට අදාළ ඔප්පුව ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විදුහල්පතිවරයා වෙත භාරදෙනු ලැබීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය පී. රාධකි‍්‍රෂ්ණන්, ආරුමුගම් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන් අනතුරුව කොටගල දෙමළ මහා විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිතුමා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.
පසුගියදා තලවකැලේ ප‍්‍රදේශයේ කළ සංචාරයකදී තම පාසලේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ එම දරුවන් ජනාධිපතිතුමා වෙත කළ දැනුම්දීම අනුව එම අඩු පාඩු සපුරා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.
හයිලන්ඞ් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017-06-29)
ඔබේ විද්‍යාලට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙම උත්සවය කරුණු තුනක් මුල් කොට ගෙන වැදගත් වෙනවා. පළමු කාරණය වන්නේ, ඔබේ පාසලට අවුරුදු 125 ක් සපිරීමයි. දෙවැනි කාරණය වන්නේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවත්වීම. තුන්වන කාරණය වන්නේ, ඔබේ පාසලේ ඉඩම් ප‍්‍රශ්නය විසඳා ගෙන එහි බලපත‍්‍රය හිමිකර ගත හැකිවීමයි. මේ කඳුකර ප‍්‍රදේශය අපි බොහෝ වේලාවට වැඩසටහන් සඳහා යොදා ගන්නවා. නමුත් කාලගුණික ගැටලු නිසා අපිට කොළඹ සිට ඒමට හැකියාව ලැබෙන්නේ නැහැ. කොළඹ සිට අපි එනවිට කඳුකරයේ සුන්දරත්වය දැක සතුටු වෙනවා. ලස්සන තේ වතු සමග සුන්දර පරිසරයක් තිබෙනවා. පරිසරය ඉතා ලස්සනයි. සුන්දරයි. එම ලස්සන සහ සුන්දරත්වය නිසා නුවරඑළිය ප‍්‍රදේශයට ඒමට බොහෝ දෙනෙකු කැමතියි. නමුත් මට ප‍්‍රශ්නයක් තිබෙනවා ඒ් පිළිබඳව. මේ පරිසරයේ තිබෙන ලස්සන සහ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ තිබෙනවා ද යන්න මට ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ කඳුකරයේ ජීවත්වන ජනතාව සැපවත් ජීවිතයක් නෙවෙයි ගතකරන්නේ ඉතාමත් දුෂ්කර, කටුක ජීවිතයි ගතකරන්නේ.
මේ ප‍්‍රදේශයේ ජනතාව දුෂ්කර ජීවිත ගතකරමින් මහා කැපකිරීමක් කරමින් මේ රටේ ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙනවා. ඔබේ ශක්තියෙන් සහ ඔබ වැය කරන ශ‍්‍රමයෙන් සැප විඳින පිරිසකුත් මේ රටේ සිටිනවා. එසේ සැප විඳින්නේ විශේෂයෙන්ම වතු හිමියන්. එය ප‍්‍රශ්නයක් නොවේ. ප‍්‍රශ්නය වන්නේ, වැඩකරන ජනතාවගේ ජීවිත සැපවත් කිරීම පිළිබඳවයි. වතුකරයේ වැඩකරන ජනතාවගේ ජීවිත සුන්දර කරන්න ඕන සැපවත් කරන්න ඕන. එයයි අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි. දරුවන් ඇතුළු දෙමව්පියන්ට සෞඛ්‍ය පහසුකම් දිය යුතුයි. මේ ජනතාව ඉතා සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අපි විශාල වැඩ කොටසක් වර්තමාන ආණ්ඩුව විදියට සිදුකරනවා. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට රජයක් කරනු ලබන සැලසුම් සහ ආයෝජනය දරුවන්ට මෙන්ම මේ රටේ අනාගතයටයි වැදගත් වෙන්නේ. ඔබේ පාසල ප‍්‍රධාන වශයෙන් මධ්‍යම පළාතේ පළාත් සභාවට අයිති පාසලක්. අපි මේ රටේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් පළාත් සභාවලට ලබා දුන්නේ ඉතිහාසයේ පළමු වරට අපේ රජයයි. අපි එලෙස විශාල මුදලක් දුන්නේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමටයි. මේ රටේ පළාත් සභා ඇති වුණාට පසුව අධ්‍යාපනය දියුණු කිරීමට විශාල මුදලක් අපේ ආණ්ඩුවෙන් තරම් වෙනත් කිසිදු ආණ්ඩුවකින් මීට පෙර දී නැති බව මා පැහැදිලිව ප‍්‍රකාශ කරනවා. මධ්‍යම පළාතේ ජන සංයුතිය, ජීවන රටාව සහ සමාජ ප‍්‍රශ්න ඉතා සංකීර්ණයි ගැටලු සහගතයි. මධ්‍යම පළාතේ සිංහල, දමිළ, මුස්ලිම්, වතුකරයේ ජනතාව සියලුදෙනාම ජීවත් වෙනවා. මෙහි සෑම කෙනෙකුටම විශාල ලෙස ප‍්‍රශ්න තිබෙනවා.
මම මීට මාස කිහිපයකට පෙර තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ උත්සවයකට සහභාගිවීමට මෙහි ආවා. නමුත් ගුවන් යානය හදිසියේ කොටගල ප‍්‍රදේශයට ගොඩබෑමට සිදු වුණා. ඒ වෙලාවේ ගමේ සියලු දෙනාම දුවගෙන ආවා මාව බලන්න නෙවෙයි චොපර් එක බැලීමට. මම ඔවුන්ගෙන් ඇසුවා මොනවාද තිබෙන ප‍්‍රශ්න කියා. ඔවුන් කිව්වා කොටගල විද්‍යාලයට වැසිකිළි පහසුකම් නැහැ කියා. එමෙන්ම රෝහලට ගිලන් රථයක් නැහැ කිව්වා. මම කිව්වා එම අඩුපාඩු සම්පූර්ණ කර දෙන්නම් කියා. එම අඩුපාඩුකම් දෙකම මම මේ වන විට කර තිබෙනවා.
පාසල්වල සංවර්ධන කටයුතු සඳහා පළාත් සභා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය රේඛීය අමාත්‍යාංශය හරහා විශාල වශයෙන් පාසල්වලට මුදල් මේ අවුරුද්දෙත් විශාල ලෙස වෙන් කොට තිබෙනවා. වෙන් කර තිබෙන මුදල්වලින් නිසියාකාරව අපි ප‍්‍රයෝජන ගත යුතුයි. මේ ප‍්‍රදේශ තව තවත් සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය. මහ ඇමතිතුමා සහ රාධ කි‍්‍රෂ්ණ ඇමතිතුමා කියූ පරිදි වතුකරයේ පාසල්වලට ළඟදීම ගුරුවරුන් 750 ක් ගන්නවා. එම ගුරුවරුන් 750 ම දමිළ සහ මුස්ලිම් ගුරුවරුන් බව ඔබ දන්නවා ඇති. රටේ සෑම ප‍්‍රදේශයකම දමිළ පාසල්වල විශාල ගුරු හිඟයක් තිබෙනවා. පාසල්වල සෑම කෙනෙක්ම අපිට කියනවා දෙමළ මුස්ලිම් පාසල්වල ගුරුවරුන් මදි කියා. නමුත් ප‍්‍රධාන නගරවල තිබෙන පාසල්වල දෙමළ මුස්ලිම් ගුරුවරුන් මෙන්ම සිංහල ගුරුවරුත් වැඩිපුර සිටිනවා. සිංහල පාසල්වලට ගිය විටත් ගුරු ප‍්‍රශ්නයක් තිබෙනවා කියනවා.
මම මාස කිහිපයකට පෙර මහ ඇමතිතුමා සමග කුණ්ඩසාලේ සිංහල පාසලක උත්සවයකට සහභාගි වුණා. එහිදී මම දැක්කා පාසලක ළමුන් පාරෙන් එහා පැත්තේ සිට උත්සවය දෙස බලා සිටිනවා. මම හිතුවේ පාරෙන් එහා පැත්තේ සිටින්නේ එම පාසලේම ළමුන් කියා. මම උත්සවය අවසානයේදී කිව්වා එහා පැත්තේ සිටින ළමුන් මේ උත්සවයට ආවේ නැත්තේ ඇයි කියා. එවිට මහත්මයෙක් කිව්වා, ඒ මේ පාසලේ ළමුන් නෙවෙයි. එහා පැත්තේ තිබෙන දෙමළ පාසලේ ළමුන් කියා. මම කිව්වා ඔවුන්වත් උත්සවයට සහභාගි කරගත්තා නම් හොඳයි කියා. ඉඩකඩ නොමැති නිසා ඔවුන්ව ගෙන්නුවේ නැහැ කිව්වා. උත්සවය අවසන් වීමෙන් පසුව මම එම දෙමළ පාසලට ගියා. එම දෙමළ පාසලේ ගුරුවරුන් ළමයි සියලුදෙනාම මා වටා එක්රැස් වුණා. මම ඔවුන්ගෙන් ඇහුවා තිබෙන ප‍්‍රශ්න මොනවාද කියා. අපිට ප‍්‍රශ්න නැහැ කියා කිව්වා. මම ඇහුවා සිටින ගුරුවරුන් සංඛ්‍යාව ඇති ද කියා. එවිට සරත් ඒකනායක මහ ඇමතිතුමාත් එහි සිටියා. විදුහල්පතිතුමා මට රහසක් කිව්වා. අපේ පාසලේ දෙමළ ගුරුවරුන් 21 ක් වැඩියි කිව්වා. මම මහ ඇමතිතුමාගන් ඇහුවා ගුරුවරුන් අඩු පාසල්වලට ඇයි මේ ගුරුවරුන්ව දාන්නේ නැත්තේ කියා. මෙවැනි ප‍්‍රශ්න තිබෙනවා.
අපි රජයක් විදියට අධ්‍යාපනය සහ අනෙකුත් සියලු ක්ෂේත‍්‍ර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඔබේ පාසලට අවුරුදු 125 ක් පිරුණා කියන්නේ විශාල කාලයක්. ඒ අවුරුදු 125 තුළ මේ පාසල රටට වගේම ලෝකයට උගතුන් බිහිකොට තිබෙනවා. අපේ රටට මෙන්ම ලෝකයට ඉතා යහපත් මිනිසුන් බිහි කොට තිබෙනවා. මහ ඇමතිතුමා කියූ පරිදි, පාසලක් කියන්නේ විභාග සමත් වන එකවත් අධ්‍යාපන සහතික ලබා ගන්නා එකම පමණක් නොවේ. හොඳ මිනිසුන් බිහිකරන්නත් ඕන. මේ දරුවෝ විභාග සමත් වෙනවා වගේම ජීවිතය සමත් වෙන්නත් දැන ගන්න ඕන. උනන්දු වී ගුරුවරුන් කියන දේ අසා විභාග සමත් වෙන්න පුළුවන්. ජීවිතය සමත් වෙන්නේ විභාග සමත් වීමට ලබන දැනුමත් සමග සමාජය සමග ගැටී ජීවිතය ජය ගැනීම තුළින්. සෑම කෙනෙක්ම ඒ සඳහා කටයුතු කළ යුතුයි.
කඳුකර ප‍්‍රදේශයේ මන්දපෝෂණය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. දරුවන්ගෙන් ජනතාවගෙන් මන්දපෝෂණය ඉවත් කිරීමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ විශාල වැඩ කොටසක් සිදුවෙනවා. ඒ වගේම කඳුකර ප‍්‍රදේශ ගත්විට මත්ද්‍රව්‍ය භාවිතා කරනවා වැඩියි. ඒ ගැනත් විශේෂයෙන්ම මේ දරුවන් දැනගන්න ඕන. මේවා භාවිතා කරන්න හොඳ නෑ කියලා කියන්න ඕනේ නැහැ. අපි හැමෝම දන්නවා ඒ ගැන. ඔබ දන්නවාද ලංකාවේ අරක්කු විකුණන ප‍්‍රදේශ පිළිබඳ. ආණ්ඩුවට වැඩිපුරම ආදායම එන්නේ අරක්කු විකුණලා උතුරු ප‍්‍රදේශයෙන්. ඊළඟට අරක්කු විකුණලා වැඩිපුරම ආදායම එන්නේ මඩකලපුව ප‍්‍රදේශයෙන්. ලංකාවේ ආණ්ඩුව විකුණන අරක්කුවලින් ආණ්ඩුවේ ආදායම තුන්වැනි තැනට ඉන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන්. ඒ නිසා මම මේ දරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා නරක ජීවිතයක් ගත කරන්න එපා කියලා. හොඳට විභාග පාස් කරලා හොඳ උගතුන් වෙන්න.
හයිලන්ඞ් විද්‍යාලයේ වසර 125ක ජීවිතය තුළ කාර්යය හොඳින් ඉෂ්ට වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වසර 125 තුළම මේ පාසලේ සේවය කළ හැමෝවම සිහිපත් කළ යුතුයි. ඒ සෑම කෙනෙක්ටම ගරු කරනවා. නමුත් ඒ ගෙවී ගිය වසර 125 පිළිබඳ නෙමේ කතාකරන්න ඕන. මෙතැනින් ඉදිරියට තිබෙන කාලයට ලෑස්ති වෙන්න ඕන. ඒකතමයි අභියෝගය. ඒ ඉදිරි අනාගතයේ ඔබට කටයුතු කරන්න වෙන්නේ අධිතාක්ෂණික ලෝකයත් සමගයි. ඔබ හුඟදෙනෙක් අතේ ජංගම දුරකථන තිබෙන බව මා දන්නවා. ෆේස්බුක්, වෙබ් සයිට්, අන්තර්ජාලය පුරා සැරිසරනවා කියලා මම දන්නවා. ඒ තුළ හොඳ දේ වගේම නරක දේ තිබෙන බවත් ඔබ දන්නවා. චරිත ඝාතනය කරනවා, නින්දා අපහාස කරනවා. ඒවා ඉවසගන්න බැරිව සමහරු සියදිවි නසාගන්නවා. පවුල් ජීවිත අවුල් වෙනවා. විශාල සමාගම් කඩා වැටෙනවා. සමාජයේ ගැටුම් ඇති වෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති කරන්න ෆේස්බුක් බාධාවක් වෙලා තිබෙනවා. අන්තවාදීන් උත්සාහ කරන්නේ අන්තර්ජාලය හරහා ගැටුම් ඇති කරන්න. ඒ නිසා මේ අධිතාක්ෂණික ලෝකයේ හොඳ දේ විතරක් අරගෙන නරක දේ ඉවත් කළ යුතුයි. අපි හැම කෙනෙක්ම සහයෝගයෙන් ඉන්න ඕන ගැටුම් ඇතිකර නොගෙන.
අපිට කොයිතරම් නින්දා අපහාස කළත් අපි මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හොඳ රටක් බවට පත්කරලා තියෙනවා. ඊයේ කොළඹ විතරක් උද්ඝෝෂණ හතරක් තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දෙමාපියන් මැස්සක් ගහලා තියෙනවා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට. සයිටම් එක වහනකම් එයාලා නැගිටින්නේ නැහැලු. මම උදේ පාන්දරම එයාලාව බලලා ආවා. නමුත් එයාලා දන්නේ නැහැ මම එතැනින් ගියා කියලාවත්. ඒ වගේම ඊයේ තිබුණා විදුලිබල සේවකයින්ගේ උද්ඝෝෂණයක්. ඔවුන් වැඩි පඩි ඉල්ලනවා. පසුගිය ආණ්ඩුව කාලයේ ඉහළ නිලධාරීන්ට විශාල වශයෙන් පඩි වැඩිකරලා තියෙනවා. නමුත් පහළ ශ්‍රේණි අයට පඩි වැඩි කරලා නැහැ. ඒ නිසා කලින් ආණ්ඩුව ඉහළ අයට පඩි වැඩි කළා වගේම ඔවුන්ගෙත් වැඩිකරන්න කියලා ඔවුන් උද්ඝෝෂණ කරනවා. ඒ ඉල්ලීම සාධාරණයි. නමුත් ප‍්‍රශ්නය විදුලිබල මණ්ඩලය පාඩුවට යන්නේ. ඒ ප‍්‍රශ්නයයි අපි විසඳගන්න ඕන. ඔය සයිටම් ප‍්‍රශ්නයත් අපි දන්නවා කලින් ආණ්ඩුවෙන් ආපු ප‍්‍රශ්නයක්.
ඊයේ විශාල පිරිසක් සහභාගී වුණ උද්ඝෝෂණයක් තිබුණා බණ්ඩාරවෙල. ඒ උමා ඔය ව්‍යාපෘතිය නිසා ජනතාවට සිදුවුන හිරිහැර පිළිබඳව. ඒක ආරම්භ කළෙත් පසුගිය ආණ්ඩුව. ඉංජිනේරුවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලනික වුවමනාවන්ට අනුව තමයි ඒක ආරම්භ කරලා තියෙන්නෙ. ඉරාන රජයෙන් අපිට උහුලන්න බැරි ණයක් පසුගිය රජයෙන් ගත්තා උමා ඔය ව්‍යාපෘතියට. නමුත් ඉංජිනේරුවරුන් කියපු විදියට නෙමේ ඒකේ වැඩ කරලා තියෙන්නේ. මම ජනපති වූ විට මම බැලුවා ඒ ව්‍යාපෘතියේ කටයුතු නවත්වන්න පුළුවන් ද කියලා. නමුත් ඒ වනවිට ව්‍යාපෘතියෙන් තුනෙන් දෙකක් ඉවරයි. ඒ වගේම විශාල ණයක් ආණ්ඩුවෙන් අරන් තිබුණා. ඒ නිසා ප‍්‍රශ්න තිබුණත් කරගෙන යන්න වුණා. දැන් හිරිහැර කරදර විශාල ලෙස ජනතාවට සිදුවෙනවා. මේ පිළිබඳ ප‍්‍රශ්නයට මම විශේෂඥයින් පිරිසක් ගෙන්නුවා. ජර්මන් රටේ විශේෂඥයෙක් මීට දින කිහිපයකට කලින් පරීක්ෂණ කරන්න යැව්වා. ඒ වගේ මෙවැනි කැණීම් කටයුතු කරන හොඳම අය ඉන්නේ නෝර්වේ රටේ. එම රටෙන් මම ඉල්ලීමක් කළා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න හොඳම විශේෂඥයින් පිරිසක් එවන්න කියලා. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා විදේශීය විශේෂඥයින්ගේ සහයෙන් ජනතාවට සහනයක් සලසන්න.
ඊයේ බණ්ඩාරවෙල තිබුණ උද්ඝෝෂණය ඉතාමත් සාධාරණයි. ඒ ජනතාවගේ පැත්තේ මම ඉන්නේ. මාත් ඒ අයට එකතු වෙනවා. මේ වරද කළ අය හොයනවා. මේ වැරදි කරන අය කටවහන් ඉන්නවා මේ වගේ ප‍්‍රශ්නයක් වෙනකොට. ඉංජිනේරුවන්ගේ සහය අරගන්නේ නැතිව දේශපාලන තීරණ අරන් කෝටි ගණන් වංචා කළ අය ඉන්නවා. මම පුද්ගලිකවත් දන්නවා මේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු හැදුවේ වැරදි විදියට. ඒ විදියට කෝටි ගණනක් වංචා කළ අය ඉන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා වෙනම පරීක්ෂණයක් කරන්න. මේ කාරණාව මම අද කිව්වේ ජනතාව මේ ගැන දැනගන්න ඕනම නිසා.
මේ වාසනාවත්ත දරුවන් දැකබලා ගනිමින් මෙම අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. වතුකරයේ ජීවත්වන මෙම ජනතාවටත් කොළඹ පාසල්වලට තිබෙන වරප‍්‍රසාද හිමි විය යුතුයි. ඒ සඳහා අපි රජයක් විදියට කටයුතු කරනවා. මම ජනාධිපති විදියට වැඩකරද්දි පක්ෂයක්, පාටක් බලලා වැඩ කරන්නේ නැහැ. ජනපති කෙනෙක් වැඩ කළ යුත්තේ ඒ ආකාරයටයි. අපි සෑම කෙනෙක්ම එකට එක්ව වැඩකරන්න ඕන. මේ උත්සවයට මා හට ආරාධනා කිරීම ගැන විශේෂ ස්තුතිය පුදකරනවා.
ස්තුතියි