කීර්තිශේෂභාවෝපගත ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස් “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කරමින් පවතින බවත් අභිනවයෙන් ඉදි කිරීමට නියමිත මෙම අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2017 අගෝස්තු මස 28 වන දින පෙ.ව.10.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු කර ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මැතිතුමා පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ මෙම ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමය සඳහා දැනට ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 250කට ආසන්න බවයි.

සංගීත අසපුව පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේ දී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන් ම එතුමාගේ අදාහන උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දුන් පොරොන්දුවක් යථාර්ථයක් බවට පත්කරමින් මෙම අසපුව ඉදිකෙරෙන බවත් ඒ සඳහා අයවැය හරහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත මුදල් ප්‍රතිපාදන වෙන් ව ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුනි. බත්තරමුල්ල අපේගම ආසන්න නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භුමියක් පුරා මෙම සංගීත අසපුවේ ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර ම අමරදේව අසපුව ආයතනයක් ලෙසින් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ද පැවසීය.

මෙම අසපුවෙන් වන සේවාව හා එහි ස්ථාපිත වන අංග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය පණ්ඩිත් අමරදේව පදනමේ අධ්‍යක්ෂ රංජන් අමරදේව මහතා පැවසුවේ “අමරදේව අසපුව සංකල්පය අපේ තාත්තාගෙ සංකල්පයක්. මගේ පියා වූ අමරදේවයාණන්ට අවශ්‍ය වුනා සංගීතය පිළිබඳ පූර්ණ අවබෝධයක් හා අවශ්‍ය දැනුම ලබා ගැනීමට , විද්‍යාර්ථයින්ට පර්යේෂණ ආදියට සහායක් වෙන්න ආයතනයක් ස්ථාපිත කරන්න. එය පන්ති පවත්වන ස්ථානයක් නොවිය යුතු අතර පුස්තකාලයක් වීම වැදගත් වුනා. එහි තිබිය යුතු දේ ගැන මෙසේ සඳහන් කළ හැකියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සංගීතය පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකි ඉහළම නව පහසුකම් සහිත පුස්තකාලයක්, නව තාක්ෂණය සමඟ දැවැන්ත දත්ත ප්‍රමාණයක් හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවලින් ලබාදෙන බව කියූ දැවැන්ත පොත්, සංගීත පර්යේෂණ සඳහා පදනමක්. මේ අනුව සෞන්දර්ය හා පර්යේෂණ ආයතනයක් ස්ථාපිත වීම. පියා අතින් ලියැවුණු ස්වර රචනා, එතුමාගේ සාහිත්‍ය සම්මාන සහිත ලේඛනාරය හා කෞතුකාගාරයක්‍. පියා පාවිච්චිකළ සංගීත භාණ්ඩ, ඓතිහාසික වැදගත් සංගීත භාණ්ඩ එකතුවක් , සංරක්ෂණාගාරය ගීත, මුද්‍රා නාට්‍ය, චිත්‍රපට සංගීතය , ශාස්ත්‍රීය වයලින වාදන, එතුමාගේ හඬින් පටිගත කළ සංගීත සම්මන්ත්‍රණ , වැඩමුළු ‍ඇතුලත් හඬ පට මෙහිදී අසන්න හැකියි. එමෙන්ම කලාකරුවන්ට එක්ව කලාව සම්බන්ධයෙන් සතුටු සාමීචියේ යෙදි හැකි ස්ථානයක් ලෙසත් මෙය පාවිච්චි කිරීමට හැකියි”. මෙම කාර්යය සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තූතිවන්ත වන වත් ඔහු අවසාන වශයෙන් පැවසීය.
ආචාර්ය පණ්ඩිත් අමරදේව පදනමේ සභාපති විමලා අමරදේව ,කලාශුරී රවි බන්දු විද්‍යාපති මහත්ම මහත්මීහු ‍ද මෙහිදි අදහස් දැක් වූහ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මැතිණියද අමරදේව පදනමේ අධ්‍යක්ෂවරියක් වන ප්‍රියංවදා අමරදේව මැතිණියද මේ සදහා සහභාගී විය.