ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී සිදු විය.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.

බත්තරමුල්ල, අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමියක් පුරා ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් විය.

අමරදේව සංගීත අසපුව ඉදිකිරිමට අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

උත්සව සභාවේදි පැමිණ සිටි පිරිස පිළිගැනීම රන්ජන් අමරදේව මහතා විසින් සිදු කරනු ලැබීය.

ආචාර්ය පණ්ඩිත් අමරදේව විශේෂ සමරු දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. එම සමරු දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් තම පීඨිකාව වෙත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ඇරයුම් කිරීම ද සුවිශේෂි සිදුවීමකි.

සංගීතයේ සප්ත ස්වරයෙන් ශී‍්‍ර ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සංගීත රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙසින් සැලකෙන රමෝන් මැග්සසේ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර එම සුවිශේෂී සම්මානය විමලා අමරදේවයන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපතිතුමා විසින් එම සම්මානය සහ සහතික පත් අදාළ සංරක්ෂණ කටයුතු සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරියේදී කෞතුකාගාර අධ්‍යක්ෂ සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදෙනු ලැබීය.

අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලිගයවන්න, කරුණාරත්න පරණවිතාන, රන්ජන් රාමනායක, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරින් ද, කලාකරුවන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ විමලා අමරදේව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

01

07

08

10

13

14

{jathumbnail off}