එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  අද (18) උදෑසන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එරටට ළඟා විය.


නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
”ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප‍්‍රයන්ත දැරීම” Focusing on People – Striving for Peace and a Decent Life for All on a Sustainable Planet තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.
එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 19 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයයි.
ශී‍්‍ර ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, ”2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය” ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙම සැසිවාරය තුළදී ජනාධිපතිතුමා විසින් ලෝක නායකයින් දැනුවත් කරනු ඇත.
එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ජනාධිපතිතුමා ද්වි- පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ඇරඹීමට ප‍්‍රථමයෙන් හෙට (19) උදෑසන පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කවුන්සිලයේ (ECOSOC) දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවකට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත වේ.
සැප්තැම්බර් 23 වනදා දක්වා සිදුකෙරෙන සිය ඇමරිකානු නිල සංචාරය තුළදී එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග හමුවකට මෙන්ම තවත් වැඩසටහන් රැසක් සඳහා ද ජනාධිපතිතුමා එක්වීමට නියමිතය.

ny1

ny2

ny3

{jathumbnail off}