නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.
පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
තනි පුද්ගලයෙක් අත ඇති බලය, සාමූහිකත්වයට යොමුවිය යුතු බැවින් එම දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට කැපවෙමුයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.
එමෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළ ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් වූ උත්තරිතර ආයතනය ලෙස පාර්ලිමේන්තුවට ලැබී ඇති ව්‍යවස්ථාදායක බලය කිසිසේත්, කිසිවෙකුට අභියෝගයක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විධායකයේ තිබිය යුතු ක‍්‍රමිකබව සහ විධිමත්බව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කළ යුතු බව කියා සිටියේය.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ දී අධිකරණයට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය තහවුරුකර දිය යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
70 වසරක කීර්තිමත් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සුවිශේෂී මෙහෙවරක නිරතවූ සියලු දේශපාලන නායකයින් ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලැබීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයින් විසින් සභාව ඇමතූ අතර සාර්ක් රාජ්‍යයන් හි සියලු පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියහ.
ශ‍්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතව වසර 70 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ පාර්ලිමේන්තු සභා වාරයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව – (2017-10-03)

ගරු කතානායකතුමනි,
මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කළ, ශක්තිමත් කරන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර හැත්තෑවක් සම්පූර්ණ වන අවස්ථාවේ මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
මෙම අවස්ථාව නිමිති කරගෙන පවත්වනු ලබන පුළුල් ජාතික වැඩසටහනේදී, අපේ ආරාධනාව පරිදි දකුණු ආසියාතික සංවිධානයේ සාර්ක් රටවල කථානායකවරුන් මෙහි පැමිණීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ අවස්ථාවට සාර්ක් මිත‍්‍ර රටවල සහයෝගිතාවය ශක්තිමත් කරමින් පැමිණි සියලුම කථානායකවරුන් මම මගේ ආදරණීය ජනතාව සහ ශ‍්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා වගේම ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර තිහක කීර්තිමත්වූත් ,විශිෂ්ටවූත්, ශ්‍රේෂ්ඨවූත් ඉතිහාසයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. වසර හැත්තෑවක් එනම් දශක හතක කාලසීමාව ඉතාමත් වැදගත් වෙනවා. බි‍්‍රතාන්‍ය පාලනයෙන් අපිට ලැබුණු සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත විශේෂයෙන්ම සෝල්බරි ව්‍යවස්ථාව තුළ 1947 අපේ පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිහිටුවීමත් රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමත් බලයට පත්වූ සෑම ආණ්ඩුවක් විසින්ම ඉටුකළ බව මෙහිදී සඳහන් කිරීම අවශ්‍යයි. 1948 දී නිදහසින් පසුව අපි පවත්වාගෙන ආ රාජ්‍ය ක‍්‍රමයේ, ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ක‍්‍රමයේ 1972 ව්‍යවස්ථාව යටතේ යම් වෙනස්වීම් කෙරුණා. 1972 ව්‍යවස්ථාවෙන් පසුව 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමක් සිදුවුණා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් තිබෙන විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීම තුළ පාර්ලිමේන්තුවේ බලය යම් තත්ත්වයකට දුර්වලවීමක් ඇති වුණ බව අපි කවුරුත් පිළිගන්නාවූ දෙයක්.
එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය තුළ පාර්ලිමේන්තුව ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්කරනු ලැබුවා. නමුත් වර්තමාන රජය විදියට අපි ඉතාමත් සතුටු වෙනවා 2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැවැති මැතිවරණයෙන් මේ රටේ ජනතාව ඇති කළ නව පරිවර්තනීීය වෙනසේ ප‍්‍රතිඵලයක් වශයෙන් අප විසින් සම්මත කරනු ලැබූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිවීම වගේම මේ ගෞරවනීය උත්තරීතර පාර්ලිමේන්තුව ශකිත්මත් වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
අප දකින්නේ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ ශක්තිමත් පාර්ලිමේන්තුවකුයි. මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සඳහා එය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. එමෙන්ම ඒ තුළ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට ද කටයුතු කළ යුතු වෙනවා.
ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට මේ ගරු සභාව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සෑම මන්ත‍්‍රීවරයෙකුගේම සහයෝගය ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා. අද 70 වසරක් සපිරෙන පාර්ලිමේන්තුවේ ගත වූ ඉතිහාසය පිළිබඳව කතාකරනවා වගේ අද දවස ගැන කතාකරනවා වගේම අනාගතය පිළිබඳව අපේ අවධානය යොමුකිරීමේදී සාර්ක් සංවිධානයට අයත් අපේ මිත‍්‍රශීලී සහෝදර රටවල් සමග කලාපීය වශයෙන් අප තුළ තිබෙන සම්බන්ධතාවයන් තවතවත් ශක්තිමත් කරගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය වෙනවා.
සාර්ක් රටවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, වෙළෙඳ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, සාර්ක් සංවිධානයේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, ඒ සෑම රටකම ජීවත්වන ඒ සහෝදර මිත‍්‍ර රටවල් විදියට ආර්ථික සමෘද්ධිය, යහපත් බව, ඒ වගේම ඒ සමෘද්ධිය තුළ ගොඩනැගෙන ආධ්‍යාත්මික සමාජයක් කෙරෙහි ඇති බලාපොරොත්තු, නව තාක්ෂණික ලෝකයේ වේගයෙන් ඉදිරියට යාමට නව තාක්ෂණය භාවිතා කිරීම, ඒ සම්පත් වර්ධනය කරගැනීම වගේම යහපත් ගුණගරුක සමාජයක් සඳහා සමස්ත ලෝක ප‍්‍රජාවට යහපත් පණිවුඩයක් දීමට අප කැපවිය යුතු බව මා විශ්වාස කරනවා.
70 වසරක කීර්තිමත් ඉතිහාසය පිළිබඳව අපි කතා කරන විට ගෙවී ගිය වසර 70ක් තුළ මේ ගරු සභාව තුළත් ඉන් පිටස්තරවත් අපේ රට වෙනුවෙන් සේවය කළ දේශපාලන නායකයින්, ඩී.එස් සේනානායක මැතිතුමා, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මැතිතුමා, රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, ඩී.බී විජේතුංග මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ ගමන්මගේ දී අත්දැකීම් රාශියක් ලබා දී තිබෙනවා. ඒ අත්දැකීම් තුළ අනාගතය වඩාත් සමෘද්ධිමත් කිරීම සඳහා රට තුළ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික සමෘද්ධිය, මේ සියල්ල ගොඩනැගීම තුළ ඉතාමත් ප‍්‍රබුද්ධ රටක් ගොඩනගන්නට මේ උත්තරීතර සභාවේ කටයුතු කිරීමේ අනාගත වගකීම අප සෑම කෙනෙක් තුළම පැවරෙනවා.
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයෙහි බල තුලනය ආරක්ෂා කරගනිමින් ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරන උත්තරීතර ආයතනය ලෙස පාර්ලිමේන්තුව සතුව ඇති බලය ශක්තිමත් විය යුතුව තිබෙනවා. ඒ වගේම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම ජනතාවගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ද රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ද කළ යුතු වෙනවා. එහිදී විශේෂයෙන්ම මේ රටේ අධිකරණ ක්ෂේත‍්‍රයට ඉතාමත්ම ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කරන්නට හැකි පරිසරය ද සැමවිටම තහවුරු කළ යුතු වෙනවා.
ඒ නිසා ඉතාමත් යහපත් වූ සුන්දර වූ අනාගත බලාපොරොත්තු සමග අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා මේ ගරු උත්තරීතර සභාව වෙනුවෙන් අප සියලු දෙනාගේම සාමූහික වගකීමක් ලෙස තනි පුද්ගලයෙක් අත ඇති බලය සාමූහිකත්වයට යොමු විය යුතු නිසා, ඒ දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් ආර්ථික සමෘද්ධියක් ඇති රටක් ගොඩනගමු කියන ඒ ආයාචනය කරනවා වගේම අවසාන වශයෙන් මේ වැදගත් අවස්ථාවට අපේ ආරාධනය මත පැමිණ සිටින සාර්ක් සංවිධානයේ ඒ මිත‍්‍ර සහෝදර රටවල්වල ඒ සෑම කෙනෙකුටමත් මා නැවත නැවතත් ස්තුතිවන්ත වන අතරම අපේ සියලුම රාජ්‍යයන් වාසනාවන්ත රාජ්‍යයන් බවට පත්වේවා යි ප‍්‍රාර්ථනා කරනවා.

road

militory

opening

parliment

sabhawa

{jathumbnail off}