කිසිදු රාජ්‍ය චක්‍රලේඛයක් මහජන සේවාවන් ප්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
යම් වෘත්තීය සේවාවක විධිමත්භාවයට සහ කාර්යක්ෂමතාවයට යම් චක්‍රලේඛයක් හරස්වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසඳා ගතයුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවති ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය අමතමිනි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තැපැල් සේවාවේ පවතින සියලු ගැටලු සාකච්ඡා කර නිරාකරණය කිරිමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.
ඕනෑම වෘත්තීය ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව 1970 සිට ලොව රටවල් 193 ක් සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින ලෝක තැපැල් දිනය සමරනු ලබයි.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
තැපැල් කාර්යාල හා සේවකයින් ඇගයීමට ලක් කරමින් කුසලාන හා සහතික පත් ප්රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අටදහස් පන්සීයක් වන තැපැල්කරුවන්ට නව පාපැදි ලබාදීම සහ තැපැල් ප්‍රවාහන සේවා සවිමත් කිරීම සඳහා රුපියල් මිලියන 325 ක වියදමින් වෑන් රථ හා කුඩා කැබ්රථ තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
රුපියල් මිලියන 307 ක් වියදමින් ඉදිකෙරන පොළොන්නරුව තැපැල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ද මේ හා සමගාමීව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ද, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, පේෂල ජයරත්න, සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
143 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ කතාව – (2017-10-09)
අද ලෝක තැපැල් දිනය මුල් කරගනිමින් පවත්වනු ලබන ජාතික වැඩසටහන පොළොන්නරුවේ පවත්වන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ උළෙල ආරම්භ කිරීමට පෙර පොළොන්නරුව නගරයේ නව තැපැල් සේවාව සඳහා රුපියල් කෝටි තිස් එකකට ආසන්න මුදලක් වැයකරමින් ඉදිකරන ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි වැදගත් ව්‍යාපෘතියක ආරම්භයත් සමග ඔබ සියලු දෙනා හමුවීම මම ඉතා වැදගත් කොට සලකනවා.
තැපැල් සේවය යනු, මුළු ලෝකයේම පණිවුඩ හුවමාරු ක්රමවේදයයි. අපේ රට වගේම ලොව බොහෝ රටවල්වලත් වසර දහස් ගණනකට එහා අතීතයට විහිදයන තොරතුරු හුවමාරු කිරීම පිළිබඳව ඓතිහාසික තොරතුරු හමුවෙනවා.
ඇතැම් වෙලාවට අපි දන්නවා මේ සඳහා සතුන් භාවිතා කළා. පරවියා වැනි පක්ෂීන් භාවිතා කළා. අපි කවුරුත් දන්නා සැළලිහිණි සංදේශයේ සැළලිිහිණියාව පණිවුඩය යැවීම පිළිබඳව භාවිතා කර ඇති ආකාරය තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ඉතාමත් රසවත් ලෙස සඳහන් කර තිබෙනවා. එදා මෙදා තුර ඈත අතීතයේ සිටම මානව සමාජයේ මේ සේවාවන් පිළිබඳව තිබුණු කැපවීම එහි ප්රගමනයට, දියුණුවට, සංවර්ධනයට විශිෂ්ට ලෙස ඉවහල්වී තිබෙනවා.
අධි තාක්ෂණයත් සමග තොරතුරු සන්නිවේදනයේ ඉහළම දියුණුවක් තිබෙන අද වැනි යුගයක අධි තාක්ෂණය භාවිතා කරමින් පණිවුඩ හුවමාරුවේ කාර්යක්ෂමභාවය තවදුරටත් ශක්තිමත්වී තිබෙනවා. තැපැල් පණිවුඩය වරක ඉතාමත් සතුට දනවන කාර්යයක් මෙන්ම වරක අසතුට දනවන කාර්යයක් බවත් බොහෝ වේලාවට අප අත්දැකීමෙන් දන්නවා. විභාගයක් සමත්වී ගෙදරට ලිපියක් ආ විට ලිපිය කඩා බැලූ විට ඉහළම ප්‍රීතියකින් කෑ ගසා කියනවා මම විභාගය සමත් වෙලා කියලා. රැකියාවක් ලැබී ලිපියක් ආ විටත් ඉතාමත් සතුටට පත් වෙනවා. අපේ සමාජය ගෙදරට ලිපි එන තැපැල් සේවාවට සීමාවී සිටි කාලයන් ගත්විට ඇතැම් වේලාවට තමන්ට අවශ්‍ය දේ තොරතුරු බලාපොරොත්තු වන දේ ලබා ගැනීම සඳහා තැපැල් මහත්මයා ගෙදරට එනකල් බලා සිටිනවා. මේ සේවාවේ සිටින සෑම කෙනෙක්ම මහජනයාට ඉතාමත් සමීපයි. මහජන සම්බන්ධතාවය සමීපතාවය ඉතාමත් ඉහළ කැපවීමක් තිබෙන සේවාවක්. ඇතැම් වේලාවට ලිපියක් තැපෑලෙන් ආ විට සතුටට පත්වූ අවස්ථා මෙන්ම සමහර තරුණ පිරිස් ලිපිය බලා සියදිවි නසාගත් වෙලාවල් ද තිබූ බව අපි දන්නවා. තමාගේ තිබෙන ආදර සම්බන්ධතාවය මෙතනින් ඉවරයි කියා ලිපියක් ආ විට බෙල්ලේ වැල දා ගන්නවා, ළිඳට පනිනවා. ඒකටත් එක කොනක සිටින්නේ තැපැල් මහත්මයායි. මේ සෑම දෙයකම යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. නමුත් සියල්ල භාවිතා කළ යුත්තේ යහපත් දේ සඳහා යහපත් සුබවාදී මනසකින්.
මට තැපැල්පතිතුමා කිව්වා, අපේ රටේ විවිධ ක්ෂේත්‍ර හරහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න, අවශ්‍ය දැනුම, පණිවුඩ ලබා දෙන්න වර්ෂයකට මිලියන දහනව දාහක් සඳහා මේ සේවාවේ සිටින ඔබ ස්වේච්ඡාවෙන් කටයුතු කරන බව. සේවා ගාස්තුවක් නොමැතිව මිලියන දහනව දාහකට වසරකට ඔබ හරහා යන පණිවුඩය අඩු ආදායම්ලාභී පවුල්වලට රජයෙන් ලැබෙන විවිධ යැපීම්, දීමනා සඳහා කටයුතු කිරීමේදී ඒ සඳහා ඔබ දක්වන සහයෝගය අපි ඉතාමත් අගය කරන්න ඕන.
තැපැල් සේවාව පිළිබඳව කතා කළ විට එදා මෙදා කාලය තුළ බොහෝ දේ අපිට කතා කිරීමට හැකියි. ඒ ඉතිහාසය සමග තව තවත් මේ සේවාවන් කාර්යක්ෂම කිරීම මේ සේවාවන්වල විධිමත්භාවයක් ඇති කිරීම පිළිබඳව අප සියලු දෙනාගේම අවධානය යොමුවීම ඉතා අවශ්‍ය වෙනවා. මටම මතකයක් නැහැ වර්ෂයකට මම උත්සව කීයකට සහභාගි වනවාද කියා තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම පිළිබඳව. එය තමාගේ ආයතනික වශයෙන්, සේවාවන් වශයෙන් ඉන් බාහිරව පෞද්ගලිකවත් බොහෝ අයට තමාගේ ජීවිතයට සම්බන්ධ වන විශිෂ්ට අවස්ථාවක් ලෙස තැපැල් සමරු මුද්දර නිකුත් කිරීම හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳවත් යම් යම් ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා. පසුගිය කාලවලදී තැපැල්පතිතුමා සහ මම දුරකථනයෙන් කතා කළ වේලාවන් වලදී පාසල්වල අවුරුදු සියය, අවුරුදු එකසිය පනහ පිරීම වැනි අවස්ථාවලදී යම්කිසි ප්රතිපත්තියක අවශ්‍යතාවය මතුවුණා. පසුගිය දවස්වල සමහර පාසල්වල විදුහල්පතිවරු මට කතා කළා තැපැල් මුද්දරය නිකුත් කිරීම පිළිබඳව. මම කිව්වා, මට අයිති නැහැ මෙය. තැපැල්පතිතුමාගෙන් අහන්න. මම ඕවා නවත්වලා නැහැ. ඒ තිබෙන චක්‍රලේඛ අනුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ කියා.
මේ ක්ෂේත්රය ගත්විට ඔබ සෑම කෙනෙක්ම ඉතා විශිෂ්ට රාජ්‍ය ආයතනයක් විදියට ස්වේච්ඡාවෙන් සහ රාජකාරී වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් ඔබ සෑම කෙනෙක්ම ඉටුකරනු ලබනවා. ලෝක තැපැල් දිනය ලෙස දිනයක් නම් කර තිබෙන්නේ ඇයි? එසේ නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් මුළු සමස්ත ප්‍රජාවගේ අවධානය යොමු කිරීමට. මෙහි තිබෙන වැදගත්කම සාකච්ඡා කිරීම. අතීතයේ මතක සටහන් සමග අනාගතය සකස් කර ගැනීම. ඒ පිළිබඳව ගත යුතු තීන්දු තීිරණ ගැනීම. ආයතනික වශයෙන් මේ සඳහා ප්‍රමුඛත්වය දීම ප්‍රතිපත්තිමය කරුණු මෙන්ම සැලසුම් සහගත කාර්යයන්, පිළිබඳව සෑම කෙනෙකුගේම අවධානය යොමු කිරීම සඳහායි ලෝක තැපැල් දිනයක් නම් කර තිබෙන්නේ.
විවිධ සේවාවන්වල තත්ත්වයන් ගත්විට තැපැල්පතිතුමා කිව්වා, තැපැල් දෙපාර්තමේන්තුව හරහා තිබෙන යම් යම් ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කටයුතු කිරීමේදී එන යෝජනා අදහස් සමග ඇතැම් චක්‍රලේඛ හරස්වීම තුළ චක්‍රලේඛවල තිබෙන කරුණු මුල් කරගෙන යම් යම් කාර්යයන් පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව. තැපැල් දෙපාර්තමේන්තුව වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතනික වශයෙන් තිබෙන කරුණු 2006 චක්‍රලේඛය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා නම් සාකච්ඡා කරලා ඒවා නිරාකරණය කරගත හැකියි. කිසිදු රාජ්‍ය චක්‍රලේඛයක් මහජන සේවාවන් ප්‍රමාද කරන්න, අකාර්යක්ෂම කරන්න බලනොපාන විදියට සකස් කර ගැනීම අවශ්‍යයි. වෘත්තීය සේවාවන්වල තිබෙන තත්ත්වයන් විධිමත් කර ගැනීිමට හෝ ඒවා කාර්යක්ෂම කරගෙන වැඩි මහජන සේවාවක් ලබා දීමට චක්‍රලේඛ යම් හරස්වීමක්, බාධාවක් වෙනවා නම් එම ගැටලුව අප විසින් සාකච්ඡා කරලා නිරාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා ඇමතිතුමාගෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු තැපැල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා එහි තිබෙන ගැටලු මට ඉදිරිපත් කරන්න ලබන සතියේ. මම සූදානම් ඔබ සමග සාකච්ඡා කරලා එම ගැටලු නිරාකරණය කර ගන්න.
තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති විදියට වැඩ වර්ජනවලටත් බොහෝම ප්‍රසිද්ධයි. වෛද්‍යවරුන්ගේ වාර්තාව තවම කඩා නැහැ. ඒ නිසා එම තරගකාරීත්වය ගැන ද සිතා අඩුවෙන් වර්ජනය කරලා වැඩියෙන් වැඩ කරලා ප්‍රශ්න විසඳා ගන්න. සුහදව සහ මිත්රශීලීව සාකච්ඡා කරලා කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා. ඕනෑම වෘත්තිය ක්ෂේත්රයක තිබෙන්නාවූ වෘත්තීමය ගැටලු සේවාමය ගැටලු අපිට සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා.
ඔබ වැනි විශිෂ්ට මහජන සේවාවක් කරන දෙපාර්තමේන්තුවක් ආයතනයක් අමාත්‍යාංශයක් විදියට වර්තමාන ඇමතිතුමාත් ලේකම්තුමා ඇතුළු සියලුම කාර්යමණ්ඩල සහ වෘත්තීය සමිතිවලටත් මේ වැඩසටහන ශක්තිමත් කිරීමට දායක වූ ටෙලිකොම් ආයතනයටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි !