බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබා 70 වසරක් සපිරෙන ලබන වසරේ එක්සත්ව, එක්සිත්ව සියලුදෙනාට සතුටින් එක්විය හැකි එකඟතාවකට පැමිණීමට හැකි වේවායි! යන ප්‍රාර්ථනාව පෙරදැරිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ (15) සැන්දෑවේ දීපවාලී ජාතික සැමරුම් උත්සවය පැවැත්විණි.
ලබන 18 වැනිදා ලොවපුරා හින්දු බැතිමත්හු මහත් අභිමානයෙන් සමරන දීපවාලී උත්සවය නරක අයහපත, දුෂ්ටකම ඉවත් කොට හොඳ දේ, යහපත, ශාන්තිය මතින් ආලෝකමත් ජීවිත උදා කර ගැනීම මුල් කොට සිදුකැරෙන්නක් බව මෙහිදී ප්‍රධාන දෙසුම පවත්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.
ජාති, ආගම් හා සෙසු බේද ඉවතලා සමඟිය, සහෝදරත්වය, සංහිඳියාව පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක්, ජනතාවක් බිහි කිරීමට අප අධිෂ්ඨාන කර ගනිමු යැයිද අගමැතිවරයා මෙහිදී සඳහන් කෙළේය.
හින්දු ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා ප්‍රධාන ගෞරවනීය, සම්භාවනීය මැති ඇමැතිවරු, දෙස් විදෙස් අමුත්තන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ජාතික දීපවාලී සැමරුම් උත්සවය ආරම්භ කැරිණි. හින්දූන්ගේ ගෞරවනීය බුහුමනට පාත්රවන ක්රිෂ්ණ දෙවිදුන්ට නමස්කාර කිරීම ප්‍රධාන දේවාශිර්වාද ලබා ගැනීමේ දර්ශනීය නර්තන, ගැයුම් පැවැත්විණි. උත්සව සභාව අමතා පිළිගැනීමේ කථාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචිකිරීමේ හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් සිදුකරන ලදී. විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ද මෙහිදී කථා කෙළේය.
මේ අවස්ථාවට එක්වූ සම්භාවනීය අමුත්තෝ ඇතුළු සැමගේ සිත් පිනවන විචිත්‍ර ආකාරයෙන් උළෙල සංවිධානය කොට තිබුණේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසිනි. උළෙල අවසානයේ තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳීමට සියලුදෙනාටම අවස්ථාව උදා කර දී තිබුණි.