ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ පත්වීම් ප්‍රදානෝත්වයේ දී අගමැති කියයි.

ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමටත්, ධනවත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමටත් ශ්‍රී ලංකාවට හැකි වන්නේ අධ්‍යාපනය දියුණු කිරීමෙන් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ගුරු පුහුණුව විධිමත්ව ක්‍රියාත්මක කළොත් තායිලන්තය සහ මැලේසියාව පසු කර ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත්, එම අභියෝගය අධ්‍යාපන අමාත්‍යාංශයටත්, කෙටිකාලීනව ඇමැතිවරයාටත් පැවරෙන බවත් කී අගමැතිවරයා එහි දීර්ඝ කාලීන වගකීම ගුරුවරුන් සතු යැයි ද කීය.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3636 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පසුගිය දා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට සහතික පත්‍ර ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් හා අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන් මහත්වරුන් අතින් සිදුවිය.
එහි දී අදහස් දැක් වූ අගමැතිවරයා,
අප සතු එකම සම්පත රටේ ජනගහනයයි. ගුරුවරු නැතිව මිනිස් සම්පත දියුණු කරන්න බෑ වගේම මිනිස් සම්පත නැතිව රට දියුණු කරන්නත් බෑ. එය තේරුම් ගෙන මිනිස් සම්පත දියුණු කිරීම ගුරුවරුන්ට බාරයි. ගුරු පුහුණුව අපි හරියට අපි කළොත් අපිට තායිලන්තය, මැලේසියාවත් පසු කරගෙන යන්න පුළුවන්. ඒ වගකීම අභියෝගය අධ්‍යාපන අමාත්‍යාංශයටත්, කෙටිකාලීනව ඇමැතිවරයාටත් පැවරෙනවා. එහි දීර්ඝ කාලීන වගකීම ගුරුවරුන්ට භාරයි.
මේ රටේ පුහුණු ගුරුවරුන්ටත් තව තවත් පුහුණුව අවශ්‍යයි. අධ්‍යාපන ඇමැතිවරයාත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මමත් පසුගිය සතියේ ෆින්ලන්තයේ සංචාරයක නිරත වුණා. ඒ රටේ සෑම ගුරුවරයකුම පුහුණු ගුරුවරයෙක් වෙනවා. පාසලක අංශ භාරව හෝ මුල්ගුරුවරයකු ලෙස කටයුතු කරනවා නම් ඒ අයත්, විදුහල්පතිවරයාත් අනිවාර්යයෙන්ම පශ්චාත් උපාධියක් ලබා තිබිය යුතුයි. එසේ නැතිව ඒ තත්ත්වයට යන්න කාටවත් බෑ. ඒ නිසාම ෆින්ලන්තයේ තිබෙන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයයි. ගුරුවරයකු වෙන්න නම් අවුරුදු 4ක පුහුණුවක් සහ වෛද්‍යවරයකු වෙන්න නම් අවුරුදු 5ක පුහුණුවක් තිබිය යුතු බවයි ඒ අය සලකන්නේ.
මම 1986 දී අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන විටත් ෆින්ලන්තයට ගියා එරට අධ්‍යාපන ක්‍රමය පරීක්ෂා කරන්න. එදාත් ඒ රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ. ඒත් ඒකට ලෝකයේ හොඳම ක්‍රමය කියලා කීවේ නෑ. එදාත් ගුරුවරුන්ට හොඳ පුහුණුවක් දීම ගැන ඒ රට විශේෂ අවධානයක් යොමු කරලයි තිබුණේ. ඒ අවස්ථාවේ අපිත් තීරණය කළා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සියලු දෙනාටම පුහුණුවක් දිය යුතුයි කියලා. ඒ සඳහා අවශ්‍ය නීති රීති සකස් කර 1986 දී අපි ජාතික අධ්‍යාපන ආයතනයත්, අධ්‍යාපන විද්‍යා පීඨත් ආරම්භ කළා. මේ සියල්ලම ක්‍රියාත්මක කළේ අපට දශකයක් හෝ දශක එකහමාරක් තුළ දී සෑම පාසලකටම පුහුණු ගුරුවරයකුට පත්වීමක් ලබා දෙන්නයි. ඒ වගේම ගුරුවරුන්ට පශ්චාත් උපාධි දෙන වැඩසටහනක් ද මේ මඟින් ක්‍රියාත්මක කළා.
13 වැනි සංශෝධනය ඉදිරිපත් කළාට පසුව කොන්දේසියක් දැම්මා ගුරුවරුන් පුහුණු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට අයිතියි කියලා. මම නැවත ෆින්ලන්තයට ගියේ අවුරුදු 31කට පසුවයි. මේ කාලයේ දී ෆින්ලන්තයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වෙලා තිබෙනවා. අපිට තවම 60%ක් විතර ගුරුවරු ඉන්නවා විශ්වවිද්‍යාල උපාධිය හෝ මේ ඩිප්ලෝමාව නැතිව සිටින. අන්න ඒකයි වෙනස. එදා ආරම්භ කළ ගුරු පුහුණු වැඩසටහන අපි අවුරුදු 30ක් ක්‍රියාත්මක කළා නම් අද අපටත් හොඳම අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. ඒත් අද මැලේසියාව, තායිලන්තය අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ ගුරුවරුන් හොඳට පුහුණු කරලා තිබෙන නිසයි. වියට්නාමයටත් අපව පසුකර ගෙන යන්න පුළුවන්. ශ්‍රී ලංකාව පිටුපස ඉන්නේ. ඇයි දේශපාලකයන්ට තීරණය ගන්න බැරි වුණා පුහුණුව වුවමනායි කියලා.
ඒ නිසා මා අධ්‍යාපන ඇමැතිවරයාට ප්‍රශංසා කරනවා දැන් මේ තීරණය ගැනීම ගැන. කරුණාකරලා ඒකට අවශ්‍ය නීති කෙටුම්පත ගෙනල්ලා පුහුණුව තිබෙන අයට විතරක් පත්වීම දෙන්නත්, නුපුහුණු අයට ඒ පුහුණුව ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලා සිටිනවා. එතනින් තමයි අපිට අධ්‍යාපනයේ දියුණුවක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ.
අද දින පත්වීම් ලබන්නේ සම්පූර්ණ පුහුණුව තිබෙන ගුරුවරුන් පිරිසක්. ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වුණාම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වෙනවා. නුපුහුණු ගුරුවරු ඉන්නවා නම් අධ්‍යාපන මට්ටම පහළ වැටෙනවා. අනෙක් අතට පුහුණු ගුරුවරු, ඩිප්ලෝමාධාරී ගුරුවරු, උපාධිධාරී ගුරුවරු ඉන්නේ ප්‍රධාන නගරවලයි. ඒ නිසා අපිට කිසි විටෙකත් පළාත් සභා පාසල් දියුණු කරන්න බැරි වෙනවා. පළාත් සභා ඒකට වගකියන්න ඕනෑ. හේතුව ගුරුවරු පුහුණු කරලා බඳවා ගැනීමට තිබූ අවස්ථාවේ එය නොකළ නිසා. දැන් ඒවාට දොස් පවරා වැඩක් නෑ. කළ යුතුව තිබුණේ සියලු ගුරුවරුන්ට පුහුණුව ලබා දීමයි.
අනාගතයේ ගුරුවරුන් සියලු දෙනාම බඳවා ගන්න ඕනෑ පුහුණුවක් එක්කයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නීති කෙටුම්පත් ඉදිරිපත් කරයි. නිදහස් අධ්‍යාපනය නිසා එදා අපට හොඳ පුහුණු ගුරුවරුන් සිටියා. ඒ තත්ත්වය නැවත ඇති කළ යුතුයි. ගුරුවරුන්ට මූලික පුහුණුව අපි ලබා දෙනවා. මේ ඩිප්ලෝමාධාරීන් අතරින් දක්ෂ අයටත් අනාගතයේ උපාධි සහ පශ්චාත් උපාධි ලබා ගන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වුවමනායි. ඒ ගැන අධ්‍යාපන ඇමැතිවරයාට දන්වා තිබෙනවා.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- මේ රටේ විද්‍යා පීඨ සංකල්පයේ නිර්මාතෘවරයා වන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. අද දින පත්වීම් ලබන ගුරුවරුන් ඩිප්ලෝමාධාරීන් නිසා ඒ අය තමන්ගේ විෂය පිළිබඳ ප්‍රවීණයන් බවට පත්ව තිබෙනවා. එය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ආචාර්ය උපාධිය දක්වා යාමටත් ඔබ කටයුතු කළ යුතුයි. ඔබ ලබන අධ්‍යාපනය අනුව වැටුප් වැඩි කිරීමේ ක්‍රමයක් ද ආරම්භ කරනවා.
අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ද අදහස් දැක්වූහ.