නව ගම්මාන නිවාස යෝජනා ක්‍ර‍මය යටතේ නිරවුල් ඔප්පු 2864ක් ප්‍ර‍දානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (29) හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී සිදු කෙරිණි.


“අපටම අයිති ඉඩමක් - අපටම අයිති නිවසක්” යන්න තේමා කර ගනිමින් ක්‍රියාත්මක වැවිලි ප්‍රජාවට ස්ථීර නිවාස සඳහා නිරවුල් හිමිකම් ඔප්පු ලබා දීමේ තෙවන අදියර යටතේ මෙම ඔප්පු ප්‍ර‍දානය කිරීම සිදු වේ.
එහි පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු ප්‍ර‍දානය කිරීම සිදු වූ අතර දෙවන අදියර ලෙස මාතර හුලන්දාව වතුයායේ ඉදිකළ නිවාස සඳහා නිරවුල් ඔප්පු ප්‍ර‍දානය සිදු කර තිබේ.
තවද මෙම වැඩසටහන බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර වැනි දිස්ත්‍රික්ක මට්ටමින් ලබාදීමට නියමිතය.
විශේෂයෙන්ම මෙම නිරවුල් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගෙන තිබේ.
ඒ අනුව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නිවාස 5000ක් ඉදිකර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට අමාත්‍ය පලනි තිගාම්බරම්, අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය මනෝ ගනේෂන් රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.