ජනාධිපති කාර්යාලය, භාරතී එයාර් ටෙල් ලංකා සමගම, IDM ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සහ එකාබද්ධව දැයේ දූදරුවන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් “මතුපරපුරය” නමින් විශේෂ වැඩසටහනක් දිවයිනේ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව මූලික හඳුන්වාදීමක් පසුගිය ඔක්තෝබර් 20 වන දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ජනාධිපති කාර්යාලය මගින් පැවැත්වූ “ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය” ජාතික වශයෙන් දියත් කිරීමේ උත්සවයේදී සිදු කෙරිණි.
මෙහිදී එයාර් ටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් හෙජ් මහතා විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණයක් ද අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.
දිවයනේ දුෂ්කර ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහනේ පළමු අදියර මගින් පාසලේ 9 ශ්‍රේණියෙන් ඉහල දූදරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඔප් නැංවීම අරමුණු කොට මාස 6ක් පුරා ක්‍රියාත්මක පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව 1000 ක් ලබා දීමට නියමිතය.
මෙම පාඨමාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ IDM ආයතනය මගින් සිදු කිරීමට නියමිතය.
ශිෂ්‍යත්ව 1000 ක් ලබා දීමේ පළමු අදියර අවසන් වීමෙන් අනතුරුව මෙම වැඩසටහනේ දෙවන සහ තුන් වන අදියරයන් හිදී මෙම ශිෂ්‍යත්ව ප්‍රමාණය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.