ධාර්මික සහ යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ, රට තුළ ආගමික පසුබිම ශක්තිමත් කිරීම තුළින් බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (30) මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමනි.
ලෝකය පුරා සිටින ථේරවාදී, මහායාන, තන්ත‍්‍රයාන, වජ‍්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂුන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගීවූ මෙම සමුළුව මෙවර ශී‍්‍ර ලංකාවේ පැවැත්වුණේ තෙවන වරටය.
ඔක්තෝබර් 27 වනදා ආරම්භ කෙරුණු 14 වන වාර්ෂික සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත‍්‍රණ ශාලාව යන ස්ථානවලදී පැවැත්විණි.
අද මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති එහි සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මානව සමාජය තුළ එක්වීම, සහෝදරත්වය සහ සහයෝගය ගොඩනැගිය හැක්කේ රට තුළ ආගමික පසුබිමක් නිර්මාණය කිරීම තුළින් බවයි.
මිනිසා ආගමෙන් සහ ධර්මයෙන් ඉවත් වූ විට මිනිස්කම් සහ ගුණවත්කම් ගිලිහී යන අතර, සමාජය පරිහානිය කරා ගමන් කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රට තුළ පැන නගින ආගමික, සමාජයීය මෙන්ම දේශපාලන ගැටලුවලට විසඳුම් සෙවීමේදී ද ආගමික දර්ශනයන් තුළ සිදු කෙරන මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
මිල්ලවාන ප‍්‍රදේශයට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් මිල්ලවාන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විිද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ පිිරිස පංචශීලයේ පිහිටවූ අතර ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළහ.
ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති Annga Zadu හිමියන් ද උත්සව සභාව ඇමතීය.
තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජික රටවල නියෝජිතයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.
මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අළුවිහාරේ, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි‍්‍රයාන් විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.
මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2017-10-30)


ලෝක තරුණ භික්ෂු සම්මේලනයේ 14 වැනි වාර්ෂික සමුළුවේ සමාප්ති උත්සවයේදී ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛව ඔබ සියලූ දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බෞද්ධයින් විදියට බෞද්ධ දර්ශනය තුළ බෞද්ධාගමික කටයුතු පිළිබඳව අපි සෑම කෙනෙකුටම තිබෙන අවබෝධය, දැනුම පිළිබඳව අපි කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
බෞද්ධ රටක් විදියට අපේ රටේ ඉතිහාසය පුරා සෑම රාජ්‍ය පාලන සමයකම ගෞරවනීය මහා සංඝරත්නය ඒ සෑම පාලනයකටම උපදෙස්, අනුශාසනා දෙමින් අපේ රට ගොඩනගන්න බෞද්ධාගමික සමාජයක් වශයෙන් ශක්තිමත් කරන්න මුළු ඉතිහාසය පුරා කැපවීම් කර තිබෙනවා. ඒ නිසා අපිට යහපත් බවින්, විනයකින්, හික්මීමකින් යුතු සමාජයක් පිළිබඳව කතා කිරීමට හැකිවී තිබෙනවා.
ලෝකයේ ඇතැම් රටවල්වල සංවර්ධනය, තාක්ෂණික දියුණුව සංවර්ධනය කොතෙක් තිබුණත් ඇතැම් වෙලාවට ඒවා තුළ යහපත්කම සහ මනුෂ්‍යකම නොමැතිවීම බොහෝ වේලාවට අපි දකින දෙයක්. බෞද්ධාගමික සමාජයක් තුළ සැමවිටම යහපත් සමාජයක්, යහපත් මිනිසුන් ගොඩනගන්නට කරන මගපෙන්වීම පිළිබඳව අපි සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙනවා.
ලෝක තරුණ භික්ෂු සමුළුව 14 වැනි වරට පවත්වමින් අන්තර්ජාතික වශයෙන් අපේ මහා සංඝරත්නය මේ සඳහා අදාළ විවිධ ආයතන ඒකරාශි කරමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
ලෝකයේ තිබෙන විවිධ අර්බුද, ගැටලූ, ප‍්‍රශ්නවලදී අපි රටක් විදියට සහ ජාත්‍යන්තර වශයෙන් අපේ බෞද්ධාගමික සංවිධාන මහා සංඝරත්නය ප‍්‍රමුඛව සෑම ආයතනයක්ම එක්වී එකට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීම මෙන්ම සමාජය තුළ රටවල් තුළ තිබෙන්නාවූ විවිධ සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නවලදී බෞද්ධ දර්ශනය තුළ අවශ්‍ය මගපෙන්වීම සැමවිටම තිබෙන බව අපි කවුරුත් දන්නවා. සෑම රටකම රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමටත් ජාත්‍යන්තර වශයෙන් මානව සමාජය එක්වීම, සහෝදරත්වය ගොඩනගන්නත් මේ ලෝක බෞද්ධ තරුණ සමුළුව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
මේ වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙන්ම අපේ රටේ වැඩවෙසෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ කටයුතුවලදී දෙන නායකත්වය, මගපෙන්වීම, අනුග‍්‍රහය අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. හොඳ රටක් හොඳ සමාජයක් ගොඩනැගෙන්න සැමවිටම ආගමික පසුබිමක් තියෙන්නට ඕන. ආගමකින් උගන්වන යහපත් බව මනුෂ්‍යකම නැති වුණොත් මිනිසුන්ගේ තිබෙන මිනිස්කම් ගුණගරුකකම් ඉවත්වී මිනිසුන් සතුන් වගේ හැසිරෙන්න ගන්නවා. ඒ නිසායි සමාජයකට ධර්මයක්, ආගමක් ඉතාමත් අවශ්‍ය වන්නේ. ලෝකය ප‍්‍රමුඛව උතුම් ආගමික දර්ශනයක් වූ බෞද්ධ දර්ශනය මුළු ඉතිහාසය පුරා කටයුතු කර තිබෙන ආකාරය අනුවයි ලෝකයේ යහපත්බව සැමවිටම ආරක්ෂාවී තිබෙන්නේ.
අපිට යහපත් රටක්, යහපත් සමාජයක් ගොඩනගන්න ඉතිහාසය පුරා ගමේ පන්සල ගමේ හාමුදුරුවෝ මූලිකත්වය ගත්බව ඔබ දන්නවා. පන්සල ශක්තිමත්වූ විට, ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගමේ ස්වාමීන් වහන්සේලා ශක්තිමත්වූ විට සැමවිටම ගම තුළ යහපත් බවක් ඇති වෙනවා. ගමේ පන්සලයි ගම හදන්න වගේම රට හදන්න ඉතිහාසය පුරා නායකත්වය ගෙන තිබෙන්නේ. මෙවැනි සම්මේලන බෞද්ධ දර්ශනය පිළිබඳව ආධ්‍යාත්මික වශයෙන් ඇති වන දැනුම සහ අවබෝධය සමග ඇතිවන උනන්දුව සෑම කෙනෙකුගේ ජීවිතය සකස් වෙන්න, චරිතය හැඩගස්වන්න, යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගන්න යහපත් පාසල් දරුවන් ලෙස සිටින්නට සැමවිටම විශාල මගපෙන්වීමක් කරනවා.
බෞද්ධ දර්ශනය තුළ තිබෙන ගැඹුරුභාවය. එහි තිබෙන සංකීර්ණභාවය. බෞද්ධ දර්ශනයේ විවිධ ක්ෂේත‍්‍ර හරහා කතා කරන විට අපට පැහැදිලි වෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව අපි විවිධ ක්ෂේත‍්‍ර හරහා කතා කරනවා. ධම්මපදය, ත‍්‍රිපිටකය, චතුරාර්ය සත්‍යය, ඒ සියල්ලේ තිබෙන ගැඹුරු බව හා එහි අර්ථය එක්ක අපිට අපේ ජීවිත හැඩගස්වා ගැනීමට මඟ පෙන්වනවා. ගුත්තිල කාව්‍යයේ කවියක් මේ මොහොතේ මතක් වෙනවා. එහි සඳහන් වන ”සියපින් සිරින් සරු – දෙතිස් ලකුණෙන් විසිතුරු” මේ පුංචි කවිය තුළින් කියැවෙන අර්ථය වෙත අපි හිත යොමුකරනවා. එමගින් අපේ හිත කොයිතරම් සන්සුන් වෙනවාද? අපි උතුම් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ඉදිරියට ගිහින් හෝ බෝධීන් වහන්සේ නමක් ඉදිරියට ගොස් ඒ කවිය කිව්වොත් අපේ හිත කොයිතරම් සන්සුන් වෙනවාද?
මිනිසෙක් ඉපදුන දින පටන්ම තිබෙන්නේ සසළ බව, වෙනස්වීම. මිනිසෙක් මැරුණාම නිසල දේහය කියලා කියනවා. දේහය නිසල වෙන්නේ මැරුණට පසුවයි. නමුත් ඉපදුන දින පටන්ම ගතත් සසළයි, හිතත් සසළයි. අපිට යහපත් සමාජයක් හදන්න. සන්සුන් ජීවිතයක් ගොඩනගන්න. සමාජය තුළ ඇතිවෙන විවිධ ප‍්‍රශ්නවලට මුහුණදීමට කරන මඟ පෙන්වීම බෞද්ධ දර්ශනයේ තරම් වෙනත් කිසිදු දර්ශනයක පෙන්වන්නේ නැහැ.
ලෝකයේ තිබෙන අනෙක් ආගම්වලත්, යහපත් සමාජයක් ගොඩනගන්න මගපෙන්වීම කරනවා. හැම ආගමකට අරමුණ සමාජය යහපත් කරන්නයි. හෙට අපේ රට බාරගන්න සිටින දරුවන් අද සමාජයේ තිබෙන විවිධ අභියෝගත් සමග මත්ද්‍රව්‍ය මෙන්ම සමාජයට අහිතකර නොයෙකුත් ඇබ්බැහිවීම්වලින් වළක්වාගැනීම අද ප‍්‍රබල අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා.
පාසලේදී දරුවා ආරක්ෂා කරගැනීම විදුහල්පතිතුමා ප‍්‍රමුඛ ගුරුවරුන්ට පහසු කාර්යයක් නොවේ. පාසලේ පැය හයෙන් පසුව දරුවන් ජීවත් වන්නේ දෙමාපියන්ගේ යටතේ. එහිදී දෙමාපියන් තුළින් වගකීම නිසිලෙස ඉටුවෙනවාද? පාසල්වලත් නොයෙකුත් දේවල් වාර්තා වෙනවා නොයෙකුත් ආකාරයට. ඒ වගේ තමයි සමාජය තුළත්. දරුවන් රැකගන්න විදුහල්පතිතුමා මෙන්ම ගුරුවරුන් විශාල වෙහෙසක් ගන්නවා. අද තිබෙන සමාජය තුළ තරගකාරීත්වයට දෙමාපියන් ඇබ්බැහි වෙලා තිබෙනවා. සමහර වෙලාවට දරුවන්ගේ කටයුතු අමතක වෙනවා. ආර්ථිකය ගොඩනගාගන්න, අවශ්‍ය සම්පත් ලබාගන්න, කැපවීම් කරනවා පවුලේ මූලික අවශ්‍යතාවයන් අමතක කරලා. බෞද්ධාගමික සමාජයක් තුළ ගොඩනැගෙන වැදගත්කම තමයි මේ සියලූ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදීම.
අපේ නාහිමිපාණන් වහන්සේ අනුශාසනා කරද්දි කිව්වා මේ ගමට මීට පෙර ජනපති කෙනෙක්, අගමැති කෙනෙක් ඇවිත් නැහැ කියලා. මට දඹුල්ල කියලා කියන්නේ අලූත් ප‍්‍රදේශයක් නෙමේ. ගොවි ජනතාව ජීවත් වන ප‍්‍රදේශයක් මේක. පසුගිය කාලසීමාවේ පැවති දැඩි නියඟයත් එක්ක බොහෝ ආර්ථික අමාරුකම් ඇතිවෙලා තිබෙනවා. දැන් අපිට වර්ෂාව ලැබෙමින් පවතිනවා. මේ නිසයි අපේ රජය ආරම්භ කළේ ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය. එය සියලූ දෙනාගේ සහයෝගය ඇතිව අපි අඛණ්ඩව ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ ප‍්‍රදේශවල තිබෙන ආර්ථික අමාරුකම් නැති කරන්න, සමෘද්ධිමත් ආර්ථියක් ගොඩනගන්න, ස්වභාවධර්මයාගේ ආශීර්වාදයෙන් තමයි හැකියාව ලැබෙන්නේ.
අද දවසේ මා ඉතාමත් සතුටු වෙනවා ලෝක තරුණ භික්ෂු සමුළුවේ සමාප්ති අවස්ථාවේ වැදගත් කාර්යයට එක්වන්නට ලැබීම පිළිබඳව. අපේ ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කිරීම පිළිබඳවත් සතුටු වෙමින් උන්වහන්සේලාගේ මේ මගපෙන්වීම පිළිබඳවත් ස්තුතිය පුදකරමින් මාගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි !