උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදයට ෙහ්තු වූ කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කරයි. ඒ අනුව ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ආචාර්ය සරත් අමුණුගම මහත්වරුන් තිදෙනා මේ කමිටුව සඳහා නම් කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද අදාළ කමිටුව සඳහා අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ සහාය හිමි වන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.


තෙල් තොග නිසි පරිදි පවත්වාගෙන නොයාම, ඇණවුම් කිරීමේ දී ගතවූ කාලය සම්බන්ධයෙන් සොයා බැලීම ආදිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂයභාර ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඉල්ලීමක් කළ බවද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බවද ඒ මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ අද (08) වන විට තෙල් නැවක් පැමිණෙන බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයක් ඇති නොවනු ඇති බවත්ය. තෙල් හිගයක් ඇති වනවා යැයි කියන පණිවුඩයටම ලීටර් 10ක් අවශ්‍ය පුද්ගලයා ලීටර් 40ක පමණ මිලට ගන්නා බව පෙන්වාදුන් ඒ මහතා ශ්‍රී ලංකාවේ දිනක පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2,500 ක් බවද හිඟයක් ඇති වන බවට ප්‍රචාරයක් ගිය විගස වෙනදාට වඩා ඉක්මනින් තෙල් තොග අවසන් වන බවද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය වන බවද ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ආරක්ෂිත තොගය පවත්වාගෙන නොයන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද ඇණවුම් කිරීමේ දී යම්කිසි ප්‍රමාදයක් සිදුව තිබෙනවාද පරීක්ෂා කිරීමේ දී අක්‍රමිකතාවක් සිදුව තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව රටට වගකිව යුතු බවද අවධාරණය කළේය. ඒ අනුව විධිමත් පරීක්ෂණයක් සිදුකොට වරදකරුවන් වේ නම් ඔවුන්ට එරෙහිව දඩුවම් ලබාදීම සඳහා පසුබට නොවන බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ මෙට්‍රික් ටොන් 90,000 ක තොගයක් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙන අතර ඇණවුම් කිරීම තෙල් ටැංකියේ ධාරිතාව අනුව තීරණය වන බවද මෙතැන යම් ගැටලුවක් තිබෙන බවට පෙනී යන බවද කී දුමින්ද දිසානායක මහතා ආණ්ඩුවක් ලෙස බාල ඉන්ධන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවද මෙරටට පැමිණි නෞකාව කොතැනක හෝ නවතා තබාගැනීම ගැටලුවක් නොවන බවද කී ඒ මහතා මේ වනවිට ඉන්දියාව සමඟ සාකච්ඡා කොට තිබෙන අතර අද (08) වන විට තෙල් නැවක් පැමිණෙන බවද සදහන් කළේය.
පසුගිය රජය සමයේ දී අත්‍යවශ්‍ය ආර්ථික මර්මස්ථානයන්හි සංවර්ධනයක් සිදුනොවූ අතර එවැනි තත්ත්වයන් හේතුවෙන් මෙවැනි දෑ සඳහා මුහුණදීමට සිදුනොවන බවද ජාතික ආණ්ඩුවක් ලෙස පසුගිය කාලයේ නොකළ දේද සිදු කළ යුතුව තිබෙන බව පෙන්වා දුන්නේය.