බිඳ වැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඇගයීම් වැඩසටහනේ ප්‍රතිඵල අනුව පවත්වනු ලැබූ ජාතික සම්මාන ප්රදානෝත්සවය අමතමිනි.
2015 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත තොරතුරු පද්ධතිය මගින් දිවයින පුරා විසිරී තිබෙන සියලුම රාජ්‍ය ආයතන 842 කින් ලබාගත් තොරතුරු ඇගයීමෙන් අනතුරුව විවිධ කාණ්ඩ යටතේ තෝරාගනු ලැබූ, අදාළ වර්ෂයේදී උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 81 ක් සඳහා මෙම ජාතික සම්මාන පිරිනැමිණි.
වර්තමාන රජය යටතේ ස්වාධීනව, අපක්ෂපාතීව කටයුතු කිරීමට සියලු දෙනාට හැකියාව ලැබී තිබෙන බවත් මෙම ත්‍යාග ප්රදානෝත්සවය මගින් එය තවදුරටත් සනාථ වන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම පිළිබඳව සියලු දෙනා වෙත සිය කෘතවේදීත්වය පළකළේය.
එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව වංචා, දූෂණ, අක්‍රමිකතා සිදුකරන්නට රට තුළ බියක් ඇතිවී තිබෙන බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවාවක් ඇතිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙවැනි සම්මාන උත්සව, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට දායක වන බව ද සඳහන් කළේය.
මෙහිදී 2015 වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම හා කාර්ය සාධනය පිළිබඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ ආයතන සඳහා රන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණී විජේසිංහ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව.
2017-11-13 දින පාර්ලිමේන්තුව කමිටු කාමර අංක 01
පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ගරු ලසන්ත අලගියවන්න ඇමතිතුමා පසුගිය කාලය තුළ කැපවීමෙන් සිය කාර්යය වඩාත් විශිෂ්ට ලෙස ඉටුකළා. එම සේවය ඇගයීමට ලක්කරන අවස්ථාවක ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.
පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ හිටපු සභාපතිවරුන්ට පසුගිය කාලවලදී ඒ තනතුරුවලින් යන්න සිද්ධ වුණා. ඒ අයට පක්ෂ මාරු කරන්න සිදු වුණා. ඒ අයගේ තනතුරු අහිමි වුණා, ගිණුම් කාරක සභාවේ කටයුතු නිසා.
නමුත් වර්තමාන රජය යටතේ අපක්ෂපාතීව, ස්වාධීනව එම කටයුතු කිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් පැහැදිලි වන සාක්ෂියක් තමයි ගිණුම් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යාමට ලසන්ත අලගියවන්න ඇමතිතුමාට හැකිවීම. ඒ නිසා එතුමාටත් ඒ කාර්යමණ්ඩලවලටත් මා ස්තූතිවන්ත වෙනවා, සිය වගකීම විශිෂ්ට ලෙස ඉටුකිරීම සම්බන්ධව.
අද මේ සියලු දෙනාගේ සේවය ඇගයීමට ලක්කිරීම මෙතෙක් පාර්ලිමේන්තුවේ නොතිබූ දෙයක්. ඒ පිළිබඳව මා සතුට ප්‍රකාශ කරන අතරම මේ කටයුතු සාර්ථක කර ගැනීමට අපෙන් ලැබිය යුතු සෑම සහයෝගයක්ම ලබාදෙන බව මෙහිදී ප්‍රකාශ කරන්නට ඕනෑ.
අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14 ක් ඉන්නවා. රටේ සාමාන්‍ය ජනගහනයෙන් දහතුන් දෙනෙක්ට එක් අයෙක් බැගින් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. අපේ රාජ්‍ය සේවාව දැනට වසර 35 කට 40 කට පෙර ඉතාම විශිෂ්ට රාජ්‍ය සේවාවක් තිබුණා. එවකට නිලධාරීන්ගේ තිබූ කැපවීම ඉතා අගනේයි. විශේෂයෙන් අද තිබෙන වරප්‍රසාද, පහසුකම්, දීමනා ඒ කිසිවක් නැතිව විශිෂ්ටම රාජ්‍ය සේවය පෙන්නුම් කළේ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සේවය කළ පරිපාලන නිලධාරීන්. දිසාපතිවරු, ආදායම් පාලක නිලධාරීන් විසින්.
නමුත් පසුකාලීනව දේශපාලනඥයින් විසින් අපේ රාජ්‍ය සේවකයින්ගේ පිටකොන්ද කඩලා දැම්මා. දේශපාලනඥයින්ගේ බලය තුළ වැරදි විදියට හැසිරීම හේතුවෙන්. රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම, අමාත්‍යාංශ ලේකම්වරයෙක් තමාගේ ප්‍රදේශයේ ඇමතිවරයාට යම්කිසි ප්‍රශ්නයක නිවැරදී භාවය, හරි වැරුද්ද නිවැරදිව කියන්න පුළුවන් විය යුතුයි. එහෙම කියන නිලධාරී පිරිසක් මේ රටේ හිටියා. තවමත් සුළු පිරිසක් ඉන්නවා. නමුත් ඒ හැකියාව හා ඒ හයිය පිටකොන්ද නැති කෙරුවේ අවංකව වැඩකරන නිලධාරීන්ට එසේ වැඩ කරන නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. තනතුරු අහිමිවුණා. ගෙවල් දොරවල්වලට ගල් ගැහුවා. සමහර වෙලාවට අතපය කැපුවා. දේශපාලනඥයින්ට අවශ්‍ය දේ නොකරන නිසා නොයෙකුත් හිරිහැර වලට ලක්වෙන්න සිදුවුණා. විගණාකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට මහනුවර දී ඇසිඩ් ගැහුව සිදුවීම් අපි දන්නවා.
අද රාජ්‍ය සේවයේ සියලු දෙනාට පිටකොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න පුළුවන් පසුබිම අපි හදලා තියෙනවා. වසර 25 ක් 30 ක් 35 ක් වැරදියට සිදුවූ දේ නිවැරදි කරන්න මාසෙකින් දෙකකින් පුළුවන්කමක් නැහැ. අද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙනවා, මානව හිමිකම් කොමිෂන් සභාව තිබෙනවා. රජයේ නිලධාරීන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් පැහැදිලිවම තමන්ගේ ප්රශ්නය ඉදිරිපත් කරන්න ඒ ආයතන තිබෙනවා. අද නීතියේ ආධිපත්‍ය සහතික කර තිබෙනවා. අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා රජයේ නිලධාරීන්ට ඒ වගකීම ඉතා හොඳින් ඉටුකරන්න පුළුවන්.
අපේ රාජ්‍ය සේවාවේ අද තිබෙන අඩුපාඩු සකස් කරගෙන ඉතාම හොඳින් සේවාවක් කරන රාජ්‍ය නිලධාරීන් ඇගියීමට ලක්කරනවා වගේම අඩුපාඩු දුර්වලකම් තිබෙන අංශ පිළිබඳ සොයා බලා ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය මඟපෙන්වීම කර ඉතාම හොඳ රාජ්‍ය සේවාවක් මේ රටේ ඇතිකිරීම අත්‍යවශ්‍ය වෙනවා.
අද දවසේ ඇතැම් කටයුතු ගත්විට අපි දන්නවා ඉතාම යහපත් සහ අයහපත් පැති තිබෙනවා. උදාහරණයක් ගත්විට 2015 වසරේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් හදන්න සල්ලි දුන්නා. එහි වැඩ පටන්ගෙන මහල් දෙකෙන් වැඩ නැවැත්තුවා, තුන්වන මහල හදන්න බැහැ කියලා. අවසානයේ ගොඩනැගිල්ලේ වැඩ නැවතුණා නමුත් සියලු ගෙවීම් කර අවසානයි. රිටෙන්ෂනුත් ගෙවලා… මහල් තුනේ ගොඩනැගිල්ල මහල දෙකෙන් නැවතිලා කොහොමද රිටෙන්ෂන් ගෙව්වේ?. මේ පිළිබඳව මම පසුගිය මාස දෙක තුනක් අදාළ අංශවලට කතා කරනවා. හැබැයි ඒ අයට විරුද්ධව මට තවම ප්‍රතිඵලයක් දකින්නේ නැහැ. ඒ ඉංජිනේරුවරයාම ඊට එහා ශ්‍රවණාගාරයක් හදලා තිබෙනවා. එහි අත්තිවාරමෙන් බිත්තිය පටන් ගත්තහම බිත්තිය අවසන් වන තැන පටන්ගත්ත තැන සිට හරියටම අඩි එකහමාරක් නැමිලා. මේක අහුවුණාට පස්සේ මට ආරංචියි පසුගිය දවස්වල ගිහින් එතන පුරවන්න ඕනෑ කියලා ගල්, වැලි, ගොඩාක් ගෙනහින් දාලා. එවිට පල්ලෙහා හරිය ටිකක් පිරවෙනවනේ අඩියට විතර බහිනවා එතකොට. මෙහෙම දේවල් මේ රටේ තිබෙනවා.
මේ රටේ වංචාව දූෂණය සම්බන්ධයෙන් අප කීර්තිමත් ආයතන කීපයක් තිබෙනවා. ඒ කීර්තිය ඒ ආයතන ලබාගෙන තිබෙන්නේ වංචාව සහ දූෂණයෙන්. එහෙම නැතිව හරියට වැඩකරලා නෙවෙයි. ඒ නිසා අපි මේක නිවැරදි කර ගන්න ඕනෑ. බොහෝ වෙලාවට සමහර ඇමතිවරුත් කියනවා, රජයේ නිලධාරී මහත්වරුත් කියනවා අපි මේක කළොත් අපිට එෆ්.සී.අයි.ඩී. යන්න වෙයි, සී.අයි.ඩී. යන්න වෙයි කියලා. පරීක්ෂණවලට යන්න වෙයි කියලා. යම් කාලසීමාවක් වැරදියට සිදුවූ දේ නිවරුදි කරන්න යනවිට ඒ අත්දැකීම ලබනවා. නමුත් මම ඉතාම සතුටුවෙනවා මේ කාලය තුළ වැරදි කරන්න, හොරකම් කරන්න, දූෂණයට, වංචාවට මේ රටේ බයක් ඇතිවෙලා තියෙනවා. දේශපාලනඥයින්ගේ ඉඳලා බයක් ඇතිවෙලා තියෙනවා. ඒ බය නැතිව ගිහින් තිබුණේ දේශපාලනඥයින්ගේ වැරදි හැසිරීම නිසා. ඒ නිසා අපි අද ඒ තත්ත්වය වෙනස් කරගෙන යනවා. ඒ වෙනස්කිරීම පහසු දෙයක් නෙවෙයි. වැරදිකරන බොහෝ අය එකට එකතුවෙනවා. ඒ තුළයි බොහෝ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා මේ කරන කාර්යය අපි ඉතා අගය කරනවා.
මෙතනින් එහාට තවත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න අපි සෑම කෙනෙකුටම පුළුවන්. ඒ නිසා අගමැතිතුමත් අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය ආයතනත් අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඉටුකරලා, හොඳ රාජ්‍ය සේවයක්, හොඳ රටක් හදන්න අපේ අතීතයේ තිබූ ආදර්ශය මත. තිබී නැතිව ගිය දේ ඇතිකරගැනීමට මම ඔබට සුබ පතනවා.
ගිණුම්කාරක සභාවට පෙනී ගිය ඉහළම කණ්ඩායමට අද සම්මාන දෙනවා වගේම පහළම කණ්ඩායමත් මෙවැනි දවසක ගෙන්වන්න. එයාලටත් අපි කතාකරමු මේ තැනට එන්න මොනවද ඔයාලට තිබෙන ප්‍රශ්න කියලා. නරකම කියලා තේරුණේ කොහොමද කියලා අහමු. ඒ විදියට අපි මේක හදාගන්න ඕනෑ.
මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි. !