ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන ද්වි වාර්ෂික සමුළුව මෙවර ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.


“ලිංගික වෛද්‍ය විද්‍යාවේ” නව මානයන් : මනස, ශරීරය සහ විද්‍යාව, යන තේමාව යටතේ අද සිට 21 වනදා දක්වා සමුළුව කොළඹදී පැවැත්වෙන අතර දකුණු ආසියානු රටවල ලිංගික සෞඛ්‍ය ප‍්‍රවීනයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් පිරිසක් මීට එක්ව සිටී.
ලිංගික සෞඛ්‍ය නව ප‍්‍රවණතා සහ ශාරිරික මානසික තත්ත්වයන් පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිත අතර, ලිංගික සෞඛ්‍ය ආශි‍්‍රත ඖෂධවල මෑත කාලීන ප‍්‍රගතිය මෙන්ම අනාගත මග පෙන්වීම් පිළිබඳව ද කරුණු අවධාරණය කෙරෙණු ඇත.
සමුළුව මීට පෙර වසරවලදී ඉන්දියාවේ දී සහ බංග්ලාදේශයේ දී පැවැත්විණි.
ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන්ට සහ සාමාජිකයින් තිදෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ, ජාත්‍යන්තර වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Luca Incrocci වෛද්‍ය ඉයන්ති අබේවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.