සියලු ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි.
ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සර්ව ආගමික සහජීවන සමුළුව අමතමිනි.
රට බෙදීමට සටන් කළ ත්රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී ලෙස පරාජයට පත්වී නොමැති අතර, මතවාදයක් පරාජයට පත් කළ හැක්කේ තවත් මතවාදයක් තුළින් බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
විවිධ ජන කොටස් අතරේ ප්‍රශ්න හා ගැටලු පසුගිය දශක කිහිපය පුරා අපේ රටේ දක්නට ලැබුණද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයින් අතර ගැටුමක් ඇති නොවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා වැරදි මග යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනා තුළින් හැකි බව ද කියා සිටියේය.
නැවත රට තුළ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රට තුළ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට කඩිනමින් සියලුදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවා රටේ සියලු ජනතාව සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සමුළුව සංවිධානය කර තිබුණි.
අමරපුර නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ ගරු ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රාමඤ්ඥ නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමි, ප්රමුඛ මහා සංඝරත්නය ද හින්දු, ඉස්ලාම්, කි්රස්තියානි ආගමික නායකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අමාත්‍ය මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද ඊට එක් විය.
සර්ව ආගමික සහජීවන සමුළුව අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2017-12-12) වන දින BMICH හිදී
මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ගරු මනෝ ගනේෂන් අමාත්‍යතුමාගේ නායකත්වය තුළ කටයුතු කරන මෙම අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ආගමික සහජීවන සමුළුවට පැමිණි ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජකතුමන්ලාට පළමුව මාගේ ගෞරව පූර්වක ස්තූතිය සහ ගෞරව ප්‍රණාමය පුද කරනවා.
සියලුම ගෞරවනීය පූජකතුමන්ලා මේ අවස්ථාවේ සහජීවනය පිළිබඳව අනුශාසනා කළා. දේශනා කළා. ගරු ඇමතිතුමාත් ඒ පිළිබඳව කතා කළා. අපි ආගමික සහජීවන සමුළුවක් පවත්වන්නේ කුමන කාරණයක් අරබයාද කුමන අරමුණක් සඳහාද. අපි කවුරුත් අපේ හෘද සාක්ෂිය තුළ දන්නවා පසුගිය දශක කිහිපය තුළම මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතරේ විවිධ ප්‍රශ්න සහ ගැටුම් ඇතිවී තිබෙනවා. ඒ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස අපිට අවුරුදු 30 ක ඉතාමත් කටුක යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ ආරක්ෂක හමුදාවලට හැකිවුණා රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධවලින් පරාජය කරන්න. එහෙත් මේ පිළිබඳව ඇතිවී තිබෙන මතවාදය පරාජය කරන්න තවම අපිට පුළුවන්කමක් ලැබී නැහැ. අපේ රට අභ්‍යන්තරයේ ඒ පිළිබඳව විවෘතව කතා නොකළත් අපේ රටෙන් පිට විදේශයන්හි සිට රට බෙදීම පිළිබඳ මතවාදය තවමත් ඒ පිරිස් ගොඩනගනවා. මතවාදයක් පරාජය කිරීම ආයුධයකින් කළ නොහැකි බව අපි කවුරුත් දන්නවා.
මතවාදයක් පරාජය කළ හැක්කේ් නිවැරදි මතවාදයක් තුළින් පමණයි. ඒ සඳහා සාකච්ඡාව, සම්මන්ත්‍රණය, සංවාදය ඉතාමත් වැදගත් වෙනවා. විවිධ අදහස් සහ මත සාකච්ඡා කිරීම තුළ නිවැරදි දේ තෝරා ගැනීමේ හැකියාව උගත්, බුද්ධිමත් සමාජයට තිබෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම නිවැරදි දේ සඳහා කටයුතු කළ යුතුයි. මෙහිදී ආගමික සහජීවනය ඉතාමත් වැදගත් වෙනවා.
ගමේ පන්සලෙත්, පල්ලියෙත් ,කෝවිලත්, දේවාලයත් අතරේ කිසිදු ගැටුමක් මතභේදයක් නැහැ කියා මම විශ්වාස කරනවා. ආගමික පූජකතුමන්ලා සැමවිටම නිවැරදි මතයන් සමාජය තුළ ගොඩනගනවා. බෞද්ධ දර්ශනය, හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය, මේ සියල්ලම නිවැරදි සමාජ ක්‍රමයක් සඳහා කතා කරන්නේ කියා අපි දන්නවා. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, බෞද්ධ සියලු දර්ශනයන් තුළ යහපත් සමාජයක් ගොඩනගන්න පෙන්නුම් කරන දර්ශනයන් බව මුළුමහත් ලෝකයම පිළිගෙන තිබෙනවා. අපේ සමාජය තුළ සහජීවනය නොමැති නිසා අපිට සහජීවනය පිළිබඳව කතා කිරීමට සිදුවී තිබෙනවා. එයට හේතු තිබෙනවා. සැකය, බිය, අවිශ්වාසය එයට මූලික හේතුවයි. ඒ නිසා අපි සැමවිටම කැපවිය යුතු වෙනවා සහජීවනයෙන් පරිපූර්ණ වූ සමාජයක් ගොඩනගන්න. සෑම අංශයකම බොහෝ වේලාවට අන්තවාදය අපි දැක තිබෙනවා. අද ලෝකයේ යුද ගැටුම් තිබීමත් එයට එක් හේතුවක්. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට මේ දක්වාම ගැටුම් අපි දැකලා තිබෙනවා. නමුත් එක් එක් යුගයන් තුළ එක් එක් කාල පරිච්ඡේද තුළ දියුණු මිනිස් සමාජයන් ඒ මතවාදයන් පරාජය කර නිවැරදි මතයන් ගොඩනගනවා. එහිදී ආගමික පූජකතුමන්ලා විසින් දේශනා කරනු ලබන අධ්‍යාත්මික දර්ශන ඉතාම වැදගත් වෙනවා.
අපි සැමවිටම ආගමික දර්ශනය පිළිබඳව කතා කිරීමේදී බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු අංශවලින් පිළිඹිබුු කරන දර්ශනයන් තුළ කටයුතු කරන සමාජ වැදගත්කම් තේරුම් ගත යුතුයි. සමාජයේ යහපත්කම, සමාජය සුවපත් කිරීම, සන්සුන් කිරීම, සාමකාමී කිරීම ගෞරවනීය මහා සංඝරත්නය අනෙකුත් පූජකතුමන්ලාගේ දේශනා, අනුශාසනා, අවවාද තුළ සිදුකළ හැකියි.
අපිට මේ සහජීවන සමුළු පැවැත්වීමට සිදුවී තිබෙන්නේ සමාජය තුළ සහජීවන ප්‍රශ්නයක් තිබෙන නිසයි. දියුණු මිනිසුන් කිසිවිටකත් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. නිවැරදි සමාජ දර්ශනයන් දෙසයි විශ්වාසය තබන්නේ. අපේ රටේ සහජීවනය සංහිඳියාව යන වචන කතා කරන විට ඇතැම් අය එය නින්දාවට සහ උපහාසයට ලක්කරනවා. ඒ ඉතාමත් සුළු පිරිසක්. මම ඉතාමත් සතුටුවෙන කරුණු කිහිපයක් තිබෙනවා. අද අපේ රටේ සියලු අංශවල පාසල් දරුවාගේ සිට සමාජයේ අතිබහුතරය සහජීවනය සංහිඳියාව පිළිබඳ දැනුවත්වී තිබෙනවා. සියලු ජාතීන් සමාජයේ සහෝදරත්වයෙන් විශ්වාසයෙන් ජීවත්වීමේ අයිතිය පිළිබඳව අති බහුතරයක් සමාජය තුළ සිය මතය නිවැරදි ලෙස ඉදිරිපත් කරනවා.
ආගමික සහජීවන සමුළුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? අපේ ගමේ නගරයේ විහාරස්ථානවල වැඩවසන ගෞරවනීය මහා සංඝරත්නයෙන් අපි ඇයද සිටිනවා සහජීවනය පිළිබඳව ඔබවහන්සේලාගේ අවවාද, අනුශාසනා, මගපෙන්වීම අපේ සමාජයට දායාද කරන්න කියා. හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සමාජය තුළ සංහිඳියාව, සහජීවනය පිළිබඳ වර්තමාන සමාජය වඩ වඩාත් දැනුවත් කරන්න කියා. අපි රජයක් විදියට කළ හැකි කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් මෙහිදී නොපිරිහෙලා ඉටුකිරීම පිළිබඳව වගකීම භාරගන්නවා. ඒ නිසා අපිට අනාගතය පිළිබඳව සුබවාදීව බැලිය හැකියි. අනාගතය තුළ නිවැරදි දේ දකින්න පුළුවන්. සමාජයේ ජීවත්වන සෑම කෙනෙක්ම කුමන භාෂාවකට කුමන ආගමකට අයත් වූවත් සහෝදරත්වයෙන්, විශ්වාසයෙන් ජීවත්වන සමාජයක් පිළිබඳව බලාපොරොත්තු තබන්න පුළුවන් විය යුතුයි. ඒ තුළ නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම කැපවෙමු. ඒ සඳහා මේ ආගමික සහජීවන සමුළුව ඉතාමත් වැදගත් අවස්ථාවක්.
අපි දැනට ජාතික වශයෙන් ආගමික සහජීවන සංවිධාන සකස් කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දිසා ලේකම්වරයා සමග ආගමික සහජීවන සංවිධාන කමිටු සකස් කරලා ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාද්ශීය ලේකම්වරයාගේ සහභාගිත්වය තුළ ආගමික සහජීවන කමිටු පිහිටුවා ඒවා ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඒ තුළ අපිට හැකියාව ලැබෙනවා කුමන භාෂාව කතා කළත්, කුමන ආගමකට අයත් වුණත් සියලු දෙනා එකට එකතු කිරීමට. වැඩමකර සිටින ගෞරවනීය මහා සංඝරත්නය ප්රමුඛ අනෙකුත් පූජකතුමන්ලාගෙනුත් ඒවාගේම මේ රටේ සමස්තයක් ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජකතුමන්ලාගෙන් ඉතාමත් ගෞරව පූර්වක ලෙස ඉල්ලා සිටිනවා ඒ සඳහා ඔබවහන්සේලා නායකත්වය ගන්න කියා. එහිදී අපිට සැබෑ ලෙසම යථාර්ථවාදී වූ ස්ථිර සාමයක් මත නැවත යුද්ධයක් ඇති නොවන රටක් ගොඩනගන්න පුළුවන්. ඒ උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම කටයුතු කරමු.
මා අවසාන වශයෙන් නැවතත් වන්දනීය පූජනීය මහා සංඝරත්නය ප්රමුඛව අනෙකුත් පූජනීය පූජකතුමන්ලාට ස්තූතිවන්ත වෙනවා. ගෞරව කරනවා. පැමිණ සිටින ආරාධිත සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා. ගරු මනෝ ගනේෂන් අමාත්‍යතුමා එතුමාගේ නායකත්වය තුළ එම වගකීම් යුතුකම් හොඳින් ඉටු කරනවා. එතුමා ජාතික සමගිය ගොඩනගන්න ජාතික සංහිඳියාව ඇති කරන්න සහජීවනය ගොඩනගන්න විශාල කැපවීමක් කරනවා. එතුමා ඇතුළු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා. ස්තූතියි.