සාමයේ සහ පේ‍්‍රමයේ පණිවුඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ ති‍්‍රකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.
එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින ‘පේ‍්‍රමයේ උපත නත්තලයි’ තේමාව යටතේ මෙවර ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මනුෂ්‍යත්වයේ ආලෝකය සෑමවිටම නත්තල සමග උදාවන බවයි.
නත්තලේ අරමුණ වන දුප්පතුන් වෙනුවෙන් පහන් ආලෝකය දැල්වීම සඳහා අප සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද කියා සිටියේය.
රටේ අනාගතය සඳහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතු අතර, නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස මෙම උතුම් නත්තලේදී තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
බැතිසිතින් අසිරිමත් නත්තල සැමරීමට සූදානම් වන සියලු කිතුණු බැතිමතුන් වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා සිය සුභාශිංසන එක් කරනු ලැබීය.
කැරොල් ගායනා ඇතුළු විචිත‍්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග‍්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශී‍්‍ර ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප‍්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ති‍්‍රකුණාමලය රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් ප‍්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, කි‍්‍රස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2017 රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2017.12.16 වන දින ත‍්‍රිකුණාමලයේදී
රාජ්‍ය නත්තල් උළෙල වෙනුවෙන් ත‍්‍රිකුණාමලයට පැමිණ මේ වැදගත් උත්සව සභාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
රජයේ ප‍්‍රමුඛත්වය සහ දායකත්වය දෙමින් සෑම වර්ෂයක් පාසාම මේ රාජ්‍ය නත්තල් උළෙල පවත්වනු ලබනවා.
නත්තල තුළින් පිළිබිඹු කෙරෙන්නේ පේ‍්‍රමය, ආදරය, සාමය සහ සහජීවනය යි. මනුෂ්‍යත්වයේ ආලෝකය නත්තල විසින් උත්කර්ෂයට නගනවා. ඒවගේම මුළු ලෝකයේම කිතුණු බැතිමතුන් නත්තල් උළෙල ඉතාමත් උසස් ලෙස සමරනවා. මුළු ලෝකය පුරාම වෙසෙන කිතුණු බැතිමතුන් නත්තල් උළෙල සමරද්දි ලෝකයේ අනිකුත් කිතුණු නොවන ප‍්‍රජාව ද ඒ සමග එක් වෙනවා. නත්තලේ වැදගත්කම දුප්පතුන් වෙනුවෙන් කැපවීමයි.
‘‘ආශිර්වාද ලබන්නෝ නම් දුගියන්ය. දුප්පතුන්ය’’ කියලා ක‍්‍රිස්තුස් වහන්සේ වරක් කන්ද උඩ දේශනාවේදී දේශනා කර තිබෙනවා. සෑම ආගමක් වේවා සෑම ප‍්‍රජාවක් වේවා කුමන ආයතනයක් සංවිධානයක් වුවත් සැමවිටම දුගී ජනතාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. දුගී ජනතාවට ආශිර්වාද කරනවා වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සැමවිටම කටයුතු කළ යුතුයි.
ආගමික සහජීවනය සඳහා නත්තල විශේෂයෙන් වැදගත් වෙනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි මේ සියලුම ආගම් තුළ සහජීවනය ඉතා වැදගත් මානව ගුණයක් ලෙස දක්වනවා. ජාතීන් අතර සමගිය, සංහිඳියාව සහ සාමය ශක්තිමත් කිරීමට නත්තල ඉතාමත් වැදගත් වෙනවා. ක‍්‍රිස්තු ධර්මය ඇතුළු සියලු ආගමික දර්ශන තුළ පෙන්නුම් කරන්නේ මිනිසා සාමයෙන් සහෝදරත්වයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමේ වැදගත්කමයි. අපි සැම විටම ආගමික සහජීවනය ජාතික සහජීවනය සමගිය, සංහිඳියාව සඳහා අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි. මේ නත්තල් උදාවත් සමග අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපේ රටේ සියලු ජාතීන් සියලු ආගම් අතර තිබිය යුතු සංහිඳියාව සහ සමගිය ශක්තිමත් කරන ලෙසයි. මිනිසුන් තුළ දුගී කම ඇති වූ විට සිතේ සතුට නැතිව යනවා. ඒවගේම තමයි මිනිසුන් වඩා පොහොසත් වූ විටත් සිතේ සතුට නැතිව යනවා.
අපේ රටේ අනාගතය සඳහා අපේ ජාතීන් තුළ සමගිය තිබෙන්නට ඕනෑ. යුද්ධයක් නිසා එක් කලෙක විනාශ වූ රටක් අපි. ත‍්‍රිකුණාමලය නගරය යුද්ධ කාලයේ පැවැති තත්ත්වය ඔබේ මතකයේ ඇති. උතුරු නැගෙනහිර පළාතේ ඒ කාලේ තිබුණු පසුබිම ඔබේ මතකයේ ඇති. කොළඹ නගරයේ සිට රට පුරාම තිබුණු තත්ත්වයත් ඔබේ මතකයේ ඇතැයි කියා සිතනවා. ඒ කටුක වේදනාකාරී අත්දැකීම් මේ රටේ සෑම කෙනෙකුගේම මතකයේ තිබෙනවා. ඒ නිසා අපි කිසිවිටෙකත් නැවතත් මේ රටේ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි. නොසිතිය යුතුයි. වැළැක්විය යුතුයි. අපේ ගෞරවනීය ආගමික පූජකතුමන්ලාට ඒ සඳහා විශාල වගකීමක් ඉටු කිරීමට තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ඒ සෑම ආගමකම ශාස්තෲන් වහන්සේලා දේශනා කර ඇති ධර්මතාවයන් සහ දර්ශනයන් සැමවිටම ජනතාවගේ සිත් සතන් පහන් කරවනවා. සන්සිඳුවනවා. සාමකාමී කරනවා. ආදරය, පේ‍්‍රමය, දයාව පිළිබඳව ජනතාවගේ හදවත් තුළට ඇතුළු වෙනවා. ඒ නිසා මේ නත්තල් උදාවේ අපේ අධිෂ්ඨානය සහ පරමාර්ථය විය යුත්තේ සාමය, සංහිඳියාව, ආදරය සහ පේ‍්‍රමය සියලු දෙනා අතර ශක්තිමත් කිරීමයි. බෙදාහදා ගැනීමයි.
මම මේ අවස්ථාවේ ප‍්‍රධාන වශයෙන්ම අගරදගුරුතුමා ඇතුළු සියලුම පූජකතුමන්ලාටත් දෙමව්පියන් දරුවන් ඇතුළු පැමිණ සිටින ඔබ සෑම කෙනෙකුටම මේ උදාවන උතුම් නත්තල සමග සාමය සංහිඳියාව ශක්තිමත් කිරීමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියා ආශිර්වාද කරමින් මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.