රුසියාව විසින් ශ්‍රී ලංකා තේ මත පනවා තිබූ තහනම ලබන 30 දා සිට ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සඳහන් කළේය.


ශ්‍රී ලංකා තේ අපනයනය කරන ප්‍රධාන රටක් ලෙස රුසියාව වෙත අවුරුදු 50 ක පටන් තේ අපනයනය කෙරේ.
රුසියාව ඇතුළු යුක්රේන්, අසර්බයිජාන්, කසකස්තානය හා උස්බෙකිස්තාන් යන රාජ්‍යයන්ට අපනයන තේ ප්‍රමාණයෙන් 12%ක් පමණ තේ අපනයනය කරයි. එහිදී කළු තේ අපනයන කරනු ලැබේ.
පසුගිය ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කිලෝ ග්රෑම් මිලියන 29ක් පමණ තේ අපනයනය කර ඇති අතර එයින් බිලියන 21 පමණ ආදායමක් ලබාගෙන ඇති බවත් තේ කිලෝ ග්රෑම් 1ක් සඳහා රුපියල් 735ක මිලක් අයකෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කළේ රුසියාවේ මොස්කව් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවේදී මේ 30 දින දින සිට තේ තහනම ඉවත් කරන බවට එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි. තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීමට රුසියාව බලා පසුගියදා මෙරට තාක්ෂණික කමිටුවක් පිටත් විය.

එම කමිටුව රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. මෙරට තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙකු වන රුසියාව තේ තහනම පැනවීමත් සමඟ විවිධ මත ප්‍රකාශ විය. 

ජනාධිපතිතුමාද මෙම තේ තහනම ඉවත් කරන ලෙස රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පූටින් මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ වන විට රුසියාව වෙත යැවීමට සූදානම් කර තිබෙන තේ තොග තිස් වන දායින් පසු රුසියාවට යැවීම පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.