වෘත්තීය සුදුසුකම් සහිත ජනමාධ්‍යවේදීන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් සහිත ස්ථාවර රාජ්‍ය මාධ්‍ය පුහුණු ආයතනයක් කඩිනමින් ආරම්භ කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත්, ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කළේය.


2018 වසරේ රාජකාරි ආරම්භ කිරීමේ පළමු දිනය වූ අද දින(2) දා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පැවති හමුවේදී ආචාර්ය සමරතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.
2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් ආහාර නිෂ්පාදන වැඩසටහන් සඳහා ජනතාව පෙළඹවීමට විශාල කාර්යභාරයක් ජනමාධ්‍ය මගින් සිදු කළ හැකි බවත්, ජාතික මෙහෙවරක් ලෙස සලකා එම යුතුකම නොපිරිහෙලා ඉටු කළ යුතු බවත්, අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය ඒ උදෙසා සක්‍රීයව දායක විය යුතු බවත් ආචාර්ය සමරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) රමණී ගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහභාගී විය.