ජල දුක නිවන - ජන සෙත සදන මොරගහකන්ද මහා වාරි ප්‍රාතිහාර්යය

මහවැලි සංවර්ධන ව‍්‍යාපාරය යටතේ ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සැලසෙන සුවිශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපාරය වන මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ ක‍ලේය.

ඒ මහතා මේ බව සදහන් කළේ අද දින (05) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මේ සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පවසා සිටියේ ජනවාරි මස 08 වන දින පෙරවරුවේ යෙදී ඇති සුභ මොහොතින් ආරම්භ වන මෙම රාජ්‍ය උත්සව අවස්ථාව අවසන් වන්නේ පස්වරුවේ මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වෙන උත්සවයෙන් පසුව බවයි.මේ සදහා ජනාධිපතිතුමන්,අගමැතිතුමන්,මැති ඇමතිවරු,තානාපතිවරුන්,රාජ්‍ය නිලධාරීන්,පරිසර සංවිධාන,ගොවි ජනතාව සහ එම පවුල්වල සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි.මේ අතර මෙම උත්සවයට සමගාමීව උදෑසන දියවර නිකුත් කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ප්‍රදර්ශන පාපැදි සවාරියක්ද මොරගහකන්ද ජලාශය අසල සිට මහනුවර පොල්ගොල්ල උත්සව භූමිය වෙත පැමිණීමට නියමිත බව ලේකම්වරයා පවසා සිටියේය.
මහවැලි ව්‍යාපාරයේ පංචමහා ජලාශවලින් මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු අතරමග නතර වී තිබූ අවස්ථාවක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ගනිමින් නැවත මෙහි වැඩ ආරම්භ කළ අතර, පසුව හිතවත් විදෙස් රාජ්‍යයන් මගින් ලබාගත් විදෙස් ආධාර යටතේ මෙහි වැඩකටයුතු නිම කළ බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.එනිසා මෙතෙක් කල් ජලය නොලැබුණු ප්‍රදේශවලට ජලය ලබා දීමටත් ජලය ලබාදෙමින් පැවති ප්‍රදේශවලට ජලය වැඩි ධාරිතාවක් ලබාදීමටත් හැකියාව ලැබෙන බවත් උතුරුමැද පළාතින් අවසන් වී තිබූ වැඩකටයුතු උතුරු සහ නැගෙනහිර පළාත් දක්වා ව්‍යාප්ත කිරිමටත් හැකි වී ඇති බව ඔහු පවසයි.එමෙන්ම මෙහි වැඩකටයුතු ජනවාරි 08 වෙනි දින දියවර නිකුත් කිරීමෙන් අවසන් නොවන බවත් එදින සිට මෙහි වැඩකටයුතු සංවර්ධනාත්මක ලෙස ඇරඹෙන බවත් ජනාධිපති ලේකම්වරයා පවසා සිටියේය‍
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා පවසා සිටියේ මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු ඒකාබද්ධ අරමුදලින් ආරම්භ කළ බවත් පසුව කුවේට් සංවර්ධන අරමුදල,සෞදි සංවර්ධන අරමුදල හා චීන රජයේ ආධාර යටතේ අවසන් කළ බවත්ය. ඒ අනුව මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5ක් වැය කොට ඇත.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය වසර 40කට වඩා පැරණි, ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පුරා පැතිර පවතින,මිලියන 1.4කට වඩා ජනතාව ඍජු හා වක්‍රව ප්‍රතිලාභ ලබන බහුකාර්ය ව්‍යාපෘතියකි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය යටතේ මෙගා වොට් 25ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක් ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක්ද ජාතික ආර්ථිකයට එක්කෙරෙන බවයි. එමෙන් ම මේ හරහා මෙම ප්‍රදේශයන් හි පවතින ලොකු කුඩා වැව් 2000කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වනු ඇත.
මෙම ප්‍රදේශයට ලැබෙන ඝන මීටර් මිලියන 818ක වර්ෂාපතනය මුහුදට ගලා යාම වළක්වා මෙම ජලාශයේ රඳවාගැනීම මගින් මනම්පිටිය, සෝමාවතිය ආදී ප්‍රදේශයන්ට වාර්ෂිකව ඇතිවන ගංවතුර හානි අවම කරලීම ද මේ හරහා ජනතාවට ලැබෙන තවත් එක් ප්‍රතිලාභයක් බව අනුර සිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා,මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා,මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය,ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා,මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ(ජල කළමනාකරණ) තිලකා සමරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ජී.පෙරේරා මහතා ඇතුළු උසස් නිලධාරීන් සහභාගී විය.

VIM 7491

VIM 7495

{jathumbnail off}