මෙරට තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමෙන් පසුව ප්‍රථම වරට තේ නිෂ්පාදන රැගත් නෞකා රුසියාව බලා පිටත්ව ගොස් ඇතැයි තේ මණ්ඩලයේ කොමසාරිස්වරයා පවසයි. රුසියාව ඉදිරිපත් කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරුණු තේ මණ්ඩලයේ අනුමැතිය ලත් තේ කිලෝග්‍රෑම් 62131ක් පසුගිය 02 වැනිදා සිට වරායේ රේගු අංශයට බාර දී ඇත.


ඒ අනුව මෙරට තේ වගාකරුවන් කිසිදු බිය සැකයකින් තොරව තේ නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන ලෙස ඉල්ලා සිටි කොමසාරිස්වරයා, රුසියාවෙන් අපගේ තේවලට වර්තමාන මිලට වඩා හොඳ මිලක් ලැබේයැයි විශ්වාස කරන බව ද කියා සිටී.
රුසියානු තේ අර්බුදය පැන නැඟුණු මොහොතේ සිට රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සුහද මිත්‍රත්වයක් ගොඩනඟාගෙන ජනපති, අගමැති සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ප්‍රමුඛ රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග නිසා මාස 6කට පැනවූ තහනම සති දෙකක් තුළ ඉවත් කරගැනීමට හැකි විය.