පසුගිය ආණ්ඩු සමයේදී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නොමැති බවත් සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතා ඊයේ (10) කළ විශේෂ ප්‍රකාශයේ මේ බව සදහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 ජනවාරි 10 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය


ගරු කතානායකතුමනි,
2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව 2017.12.31 දින ගරු ජනාධිපතිතුමා වෙත භාර දුන්නා. එසේම ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් 2018.01.03 වන දින විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා. අද දින මා මෙම ප්‍රකාශය කරන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් වාර්තාව පිළිබඳව අප ගත් පියවර මෙම ගරු සභාව වෙත තවදුරටත් පැහැදිලි කිරීම සඳහායි.
මෙම බැඳුම්කර ගැටළුව පිළිබඳව මුලින්ම කතිකාවතක් ඇති වූයේ 2015 මාර්තු මාසයේදීයි. මේ පිළිබඳව මා වෙත කරුණු වාර්තා වූ වහාම මා විසින් නීතිඥ ගාමිණි පිටිපන මහතාගේ සභාපතිත්වයෙන් නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. 2015 මාර්තු 31 වන දා මම ඒ පිළිබඳව මේ සභාවට දැනුම් දුන්නා. පිටිපන කමිටුව කරුණු සොයා බලා මා වෙත වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණේ මේ පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු කිරීම අවශ්‍ය බවයි. මෙම වාර්තාව 2015 මැයි 19 වන දින මම පාර්ලිමේන්තුවේ සභාගත කළා. 2015 මැයි 21 වන දින මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ විවාද කළා. ඉන් පසුව එය කෝප් වෙත යොමු කළා.
මේ අතරතුර මේ පිළිබඳව ගරු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් විමර්ශනය කිරීම ආරම්භ කළා. කෝප් කමිටුව හරහා ද මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදු කළා. එම කෝප් කමිටු වාර්තාව 2016 ඔක්තෝබර් 28 දින පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඉන් අනතුරුව 2017 ජනවාරි මස 24 වන දින ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කළා.
මේ අතරතුර 2016 ඔක්තෝබර් 31 වන දින මෙම වාර්තාව හා විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කර තිබූ විශේෂ විගණන වාර්තාව යන වාර්තා දෙකම මා විසින් පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් මාර්ගයෙන් නීතිපතිවරයා වෙත යොමු කළා. ඉන් අනතුරුව, කෝප් නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් යම් වංචාවක් සිදුකර තිබේද යන්නත්, නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව ක්‍රියාකර ඇත්ද යන්නත්, ඊට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතුද යන්නත්, එසේ නම් ඔවුන්ට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවාද යන්නත් පිළිබඳව මා අග්‍රාමාත්‍ය ලේකම් මාර්ගයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියා. එසේම නීතිපතිවරයා විසින් ඉල්ලා සිටින සියලූම වාර්තා හා ලිපිලේඛන කතානායකවරයාගේ අවසරය මත නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට දැනුම් දුන්නා. සභානායක ලේකම්ගේ 2016.10.31 දිනැති ලිපිය, ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්ගේ 2016.11.02 හා 2016.11.09 දිනැති ලිපිවල පිටපත් මා සභාගත කරනවා.
ඒ අනුව නීතිපතිතුමා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනම නීතීඥ මණ්ඩලයක් පත් කොට මේ පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. මේ බව නීතිපතිවරයා විසින් ලිඛිතව දන්වා එවා තිබෙනවා.
එසේම සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් අවභාවිතයක් පිළිබදව සැකයක් පවතින බවත් මහබැංකුවේ අධිපතිවරයා මා වෙත දන්වා සිටියා. ඒ අනුව නීතිපති උපදෙස් ලබාගෙන ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මා මහ බැංකු අධිපතිවරයාට නියෝග කළා. මහ බැංකුවේ අධිපතිවරයා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කොට එම වාර්තාව 2017 ජුනි 09 වන දින විගණකාධිපතිවරයාට යොමු කර තිබෙනවා.
ගරු කතානායකතුමනි,
මීට අමතරව, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය හා ක්‍රියාපටිපාටිය පිළිබඳවත් මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම එයින් අලාභයක් සිදුව ඇත්ද යන්න සොයාගැනීම පිළිබඳවත් ලිඛිතව ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මා ලිඛිතව කරුණු විමසා සිටියා. ඔවුන් මා වෙත දන්වා සිටියේ පසුගිය බැඳුම්කර වෙන්දේසියක අලාභයක් තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් පිළිබඳව ඔවුන් දැනුවත් නොමැති බවයි. ඔවුන් පවසා සිටියේ ලාභය හෝ අලාභය තීරණය වන්නේ බැඳුම්කර නිකුතුව සිදුවන දිනයේ පවතින වෙළඳපොළ සාධක මත බවයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ විසින් එවන 2016.12.07 දිනැති ලිපියේ පිටපතක් මා සභාගත කරනවා.
ගරු කතානායකතුමනි,
2015 මාර්තු මස සිටම මේ ප්‍රශ්නය සම්බන්ධව අප රජය විසින් අඛණ්ඩවම නිසි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සියළු කරුණු පාර්ලිමේන්තුවට කෝප් කමිටුවට, නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කොට තිබෙනවා. ඉන් අනතුරුව ගරු ජනාධිපතිතුමා විසින් ද විශේෂ කොමිෂන් සභාවක් පත් කළා. එහිදි තවත් කරුණු හෙලි වුණා. දැන් ඒ වාර්තාවත් නීතිපතිවරයා වෙත යොමු කොට තිබෙනවා.
මේ අතරතුර, 2016 නොවැම්බර් 07 වන දින මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතු සිමා කරමින් හා සමාගම සතු මුදල් බැහැර කිරීම වලක්වාලමින් නියෝග නිකුත් කළා. 2017 ජූලි 06 වන දින එම සමාගමේ සියලූම ව්‍යාපාරික ක්‍රියාකාරකම් තහනම් කළා. 2018.01.05 වන දින සිට එම තහනම තවත් මාස 06කට දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම සමාගමේ ගිණුම්ගත රුපියල් බිලියන 12 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රදවාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11 ක් බව සඳහන් වෙනවා. දැන් ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තා කොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති අලාභය නැවත අයකර ගැනීමට කටයුතු කිරීමයි. එමගින් රජයට අලාභයක් සිදුව ඇත්නම් එය පියවා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

ගරු කතානායකතුමනි,
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව, අපක්ෂපාතීව හා කඩිනමින් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය ඉතා සංකීර්ණ විමර්ශන ක්‍රියාවලියක්. 2015 ජනවාරි 08 වන දින අප පිහිටවූ යහපාලන රජයේ විශේෂ ජයග්‍රහණයක්. අවුරුදු 10 කට පසුව රටේ මූල්‍ය පාලනය හා අධීක්ෂණය ආපසු පාර්ලිමේන්තුව වෙත ලබාදීමට අපට හැකි වුනා. පසුගිය කාලයේ මෙම ගනුදෙනු කිසිවක් පිළිබඳව පාර්ලිමේන්තුව දැන සිටියේ නැහැ. අවම වශයෙන් අමාත්‍යවරු හෝ වගකිවයුතු නිලධාරීන් දැන සිටියේත් නැහැ. නමුත් අපි එම තත්වය වෙනස් කොට තිබෙනවා.
එසේම 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එම අවභාවිතයන් පිළිබඳව කඩිනමින් සෙවීමටද අදාල අංශවලට මා උපදෙස් ලබාදී අවසන්. එම සියළුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට අප කටයුතු කරනවා.
2008 සිට 2014 වසර දක්වා කාලය තුළ බහුතරයක් බැඳුම්කර නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පුද්ගලික සෘජු කිතුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ. මෙම කාලය තුළ රුපියල් බිලියන පන්දහස් එකසිය හතලිස් හතක (රු.5,147,751,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු.4,702,232,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැඳුම්කර නිකුතුවලින් සියයට 90 කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික සෘජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මේ කිසිවකට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැහැ.
එම කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යතුමා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතුයි. මහජන නියෝජිතයින් වන අපත් මේ රටේ ජනතාවත් මෙම අභිරහස් පිළිබඳව දැනුවත් විය යුතුයි.
ගරු කතානායකතුමනි,
අප රජය හැම විටම කටයුතු කළේ පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලනය ශක්තිමත් කරලීම උදෙසායි. රටේ මුල්‍ය තත්වය නිරන්තරයෙන් මම පාර්ලිමේන්තුවට වාර්තා කර තියෙනවා. එම ප්‍රතිපත්තියම අනුගමනය කරමින් අද දිනත් මා සියලූ කරුණු වාර්තා කළා.
2008 – 2014 කාලයේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ සභාපතිතුමා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. මෙම කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා පසුගිය පාර්ලිමේන්තුවේ කෝප් විසින් අනුමත කිරීමත් පුදුමයක්.
අද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. විවිධ ජනමාධ්‍යවලට, දේශපාලන පක්‍ෂවලට මඩ ෆැක්ටරිවලට මේක හොඳ ඉල්ලමක් වෙලා. සමහරු මෙම බැඳුම්කර ප්‍රශ්නය නිසා පොලී අනුපාතය ඉහළ ගියා කියනවා. ඩොලරයේ අගය ඉහළ ගියා කියනවා. මේ ඔක්කොම මඩ ප්‍රචාරවලට නොරැවටි අපි සත්‍ය සොයා ගනිමු. සත්‍ය සොයා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමු.
ගරු කතානායකතුමනි,
මම හැමදාමත් කියන පරිදි, ජනාධිපතිතුමාත්, මමත් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලීම සඳහා කැපවී කටයුතු කරනවා. මෙය අපේ රටට අලූත් අත්දැකීමක්. පක්ෂ භේදයෙන් කුළල් කාගනිපු සමහර උදවියට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්. අත්දැකීම ආගන්තුක නිසා අඩුපාඩු, වැරදීම් සිදු වෙන්නට පුළුවන්. ඒවා අපි සකස් කර ගනිමු.
නමුත් පසුගිය ආණ්ඩු සමයේදී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නැහැ. සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැහැ.
ජනවාරි 08 වනදා අප බාර ගත්තේ ණය උගුලකට හසු වුණු රටක්. නීතිය ක්‍රියාත්මක නොවුණු රටක්. දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු රටක්. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බිය වැද්දුණු රටක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත්, අපේ සම්මුතිවාදී රජයත් මේ තත්ත්වය වෙනස් කරලීමේ මාර්ගයට අපේ රට අවතීර්ණ කර තියෙනවා. ඒ ගමන් මග කටුකයි. දුෂ්කරයි. බොරු වලවල්වල නොවැටී, මං මුලා නොවී, ඒ ගමන් මග ඉදිරියටම ගොස්, ශීලාචාර ආණ්ඩුවක්, සාධාරණ සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහි කරලීම සදහා අප ඇපකැප වන බව අවසන් වශයෙන් සඳහන් කරන්න කැමැතියි.