පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 928ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණය යටතේ ඊයේ (15) කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සිදු විය.


අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණු පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

2016 වසරේ දෙසැම්බර් 08 වන දින කොළඹ වරායට පැමිණි නෞකාවක තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි දහසකට අධිකය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සදහා කුමක් සිදුවනවාද යන්න ජනතාව තුළ ඇති ගැටලූවට විසදුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රීයාවට නංවා තිඛෙන අතර අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය පරිසරයට අහිතකර නොවන අන්දමින් ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ක්‍රීයාත්මක කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි රජය අපේක්ෂා කරයි.

එමෙන්ම මෙම වසරේ වැටලීම් තවදුරටත් ඉහළ නංවමින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවත් වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවඅරච්චි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.