2017 ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින කොළඹ 05 පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවා වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සදහා සියළු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්,කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ද කිරීමේ අරමුණින් ආරම්භ කළ ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලත් විවිධ ජනමාධ්‍ය ආයතනවල සේවය කරන ජනමාධ්‍යවේදීන් 60දෙනෙකු සඳහා ශිෂ්‍යත්වයක් මෙලෙස පිරිනැමිනි.
වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ මේවනවිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනමාධ්‍යවේදීන් 739 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකි වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා පවසා සිටියේ කාලානුරූපව විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍ය අධ්‍යාපන ආයතනවල පාඨමාලා ගාස්තු ඉහළ යන බැවින්, ශිෂ්‍යත්ව මුදල 2018 වසරේ සිට යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරියේ දී එම මුදල ගණනය කිරීම තීරණය කරන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
තවද ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පුහුණු අවස්ථා පුළුල් කර එහි ධාරිතාවද පුළුල් කරමින් ජනමාධ්‍යවේදීන් සදහා වෘත්තීමය අධ්‍යාපනයක් ලබාදෙන අධ්‍යාපන ආයතනයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු කරමින් පවතින බවද පවසා සිටියේය.
ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි සියලු සහයෝගය අපගේ සීමාවන් යටතේ නිහඩව ලබාදීමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අවස්ථාවට අතිරේක ලේකම් ( පාලන හා මුදල් ) රමණී ගුණවර්ධන මහත්මිය,අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරින් පිරිසක් ද සහභාගී විය.

420A5295

VIM 1535

VIM 1543

{jathumbnail off}