මෑත යුගයේ ශී‍්‍ර ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූයේය.


උන්වහන්සේගේ ශී‍්‍ර දේහය තැන්පත් කර ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ඊයේ (04) දින ගිය ජනාධිපතිතුමා ශී‍්‍ර දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙතත්, විහාරස්ථ දායක සභාව වෙත මෙන්ම උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාව වෙත සිය සාතිශය සංවේගය පළකළේය.
ශාසනික, ආගමික හා අධ්‍යාපනික වශයෙන් සුවිසල් මෙහෙවරක නිරත වූ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වහන්සේ පසුගියදා (03) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.
බෙල්ලන්විල විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක් වීමෙන් අනතුරව කළුබෝවිල ශීක්ෂණ හෝහලට ඇතුළත් කළ උන්හහන්සේට හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරිමට පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර සැත්කමක් සිදු කිරිමන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හාදයාබාධයකට ලක්ව උන්වහන්සේ අපවත් වූහ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08 වනදා පස්වරු තුනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කර ඇත.
නාහිමි ආදාහන පූජෝත්සවය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවති ආදාහන කමිටු සාකච්ඡාවේදී ඒ බව බව තීරණය කෙරිණි.
ආදාහන කමිටුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු නියෝජ්‍ය කාතානයක තිලංග සුමතිපාල, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු ඇමැතිවරු ද ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පළාත් සභා නියෝජිතයෝ ද, දිසාපතිවරුන් විද්වතුන් ඇතුලු විහාරස්ථ දායක සභාව නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක් වූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හොබවමින් සිටි උන්වහන්සේ අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ උන්වහන්සේ ශාසනික වශයෙන් ද විශාල මෙහෙයක නිරත වූහ.