අපවත් වී වදාළ ඓතිහාසික ඛෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම අදාහන පූජෝත්සවයට එක් වූ අතර මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සැබවින්ම පිදිය යුතු ගුරු කළ යුතු චරිතයක් බව ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේය.
විමලරතන හිමියන් ශ්‍රේෂ්ඨ යුගමෙහෙවරක් ඉටු කළ බවත් ආර්ථික, සමාජයීය හා ආගමික කටයුතු ඉදිරියට ගෙන ඒමට උන්වහන්සේ කටයුතු කළ බවත් ථේරවාද බෞද්ධ දර්ශනයේ ගුණ සුවඳින් මුළු රටම බැබළවූ බවත් ජනාධිපතිවරයා කීය. බෙල්ලන්විල විමලරතන හිමියෝ සිය ප්‍රඥා මතය නිර්භයව ඉදිපත් කරමින් සමාජයට නිවැරැදි මඟ කියාදුන් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බවද ජනාධිපතිවරයා කියා සිටියයේය.
කල්‍යාණි පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැමිණි සිටි පිරිස පංච ශීලයේ පිහිටුවීමෙන් අනතුරුව මතක වස්ත්‍ර පූජාකිරීමද සිදු කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාව
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන මහා නායකහිමියන් අදාහන පුජොත්සව අවස්ථාවයි. මෙම අවස්ථාවේ අප කවුරුත් සංවේගයට පත් අවස්ථාවක්. රටේ පමණක් නොව ලෝකයේම ගෞරවයට පත්ව සිටි බෙල්ලන්විල විමලරතන නායක හිමියන් අපවත්වීම කනගාටුදායක කරුණක්. උන්වහන්සේ මා ඉතා සමීපව හඳුනනවා. ථේරවාද බෞද්ධ දර්ශනයේ ගුණ සුවඳ උන්වහන්සේ අපේ මාතෘ භූමියට පමණක් නොව ලොවට දේශනා කළා. උන්වහන්සේ විනයධර බහුශ්‍රැත මහා පඬිරුවණක් වෙනවා. උන්වහන්සේගේ වියත්බව, උගත් බව, නොසැලෙන බව, ඍජු බව, මධ්‍යස්ථ බව නිසාම සමාජයේ ගෞරවයට පාත්‍ර වුණා. සමාජය හැඩගැස්වීම වගේම ආර්ථික සමාජයීය ආගමික වශයෙන් ඉදිරියට ගෙනයාමට සිය ප්‍රඥාමතය නිර්භීතව ඉදිරිපත් කළා. උන්වහන්සේට කවුරුත් ගරු කළේ මේ ඍජු බව නිසාමයි. උන්වහන්සේගේ චරිතය මහා ආදර්ශවත් චරිතයක්.
පූජාච පූජනීයානං- ඒතං මංගල මුත්තමං කියා බුදුරාජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ පිදිය යුතු චරිතයක්, ගරු කළ යුතු හිමිනමක්. උන්වහන්සේ සෑම විටම නොමියන චරිතයක්. ශ්‍රේෂ්ඨ පඬිරුවණක්. උන්වහන්සේගේ අපවත්වීම අපට දැරිය නොහැකි පාඩුවක්. සමාජය දැනුවත් කිරීම වැනි මහා ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක් උන්වහන්සේ ඉටු කරනු ලැබුවා. රජය හා ලක්වැසි ජනතාව මෙන්ම ලෝකයේ උන්වහන්සේ පිළිබද දන්නා සියලු දෙනා උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳ සංවේගය පළ කරනවා. රජයේ සංවේගයද පළ කරමින් උන්වහන්සේට නිවන්සුව පතනවා. තෙරුවන් සරණයි.
මහා සංඝරත්නයේ විශාල පිරිසක්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු වෙනත් ආගමික නායකයින්,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු මෙන්ම විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
{jathumbnail off}