පස්වන දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන සම්මන්ත්‍රණය 2018 පෙබරවාරි 5 - 8 දක්වා "රාජ්‍ය ප්‍රසම්පාදනය හා සේවා සැපයීම්" තේමාව යටතේ නවදිල්ලියේ දී පවත්වන ලදී. ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉස්ලාමීය සංවර්ධන බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී.

දකුණු ආසියාතික රටවල රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රධානීන්, රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වගකිව යුතු ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, අධීක්ෂණ ආයතන හා දකුණු ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන සංවර්ධන පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකුගේ නියෝජිතයින් මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය. කලාපය පුරා ප්‍රසම්පාදන ආයතන විසින් අනුගත කරනු ලබන නවීන ප්‍රවේශයන් සහ ක්‍රමවේදයන් තුළින් ඉගෙනීම සහ දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කරගෙන දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන ජාලය (SARPPN), ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ප්‍රසම්පාදන iNET ආයතනය විසින් මෙවර දකුණු ආසියානු ප්‍රසම්පාදන නවෝත්පාදන සම්මාන 2017-18 දෙවන වරටත් දියත් කරන ලදී.
මේ සඳහා දකුණු ආසියානු කලාපීය රාජ්‍ය ප්‍රසම්පාදන ජාලයෙහි සියලුම සාමාජික රටවල් විසින් ප්‍රචාරය කරනු ලදුව, රාජ්‍ය සහ රාජ්‍ය අංශයේ ආයතන, විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන / ප්‍රජා මූල ආයතන ආදී අංශ රැසකින් සිය රටවල් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෙදුනු රාජ්‍ය ප්‍රසම්පාදනය හා සම්බන්ධ නව ප්‍රතිපත්ති පදනම් කරගෙන ඉදිරිපත් කිරීම් 87 ක් තරම් අතිවිශාල ප්‍රතිචාරයක් ලැබි තිබිණ. නවෝත්පාදන මට්ටම, වෙනත් ආයතන/රටවල්/කලාප සඳහා භාවිතා කිරිමේ හැකියාව සහ තිරසාර බව යන නිර්ණායක පදනම් කරගෙන එම නවෝත්පාදනයන් ඇගයීමට ලක් කරන ලදී.
එම ඉදිරිපත් කිරීම්, වෙළඳපළ අන්තර් ක්‍රීයා හා දායකත්වයන් සඳහා යොමු වු නව්‍ය ප්‍රසම්පාදන විසඳුම්, ප්‍රසම්පාදන කළමණාකරණය සඳහා ප්‍රයෝජනවත් කළමනාකරණ තොරතුරු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය, කාර්ය සාධනය පදනම් කරගත් ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ හා ධාරිතා සංවර්ධනය, නවෝත්පාදන ප්‍රසම්පාදන හා අභියෝගාත්මක සහ සංවේදී පරිසර සඳහා නව්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් කළමනාකරණය සහ ප්‍රසම්පාදන කළමනාකරණය සහ අධීක්ෂණය සඳහා පුරවැසි සහභාගිත්වය යන කේන්ද්‍රීය තේමාවන් පහක් වූ අතර, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මාල දිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහක ප්‍රවේශයන් 9ක් නවදිල්ලියේ පැවති දකුණු ආසියානු ප්‍රසම්පාදන සම්මේලනයේ තාක්ෂණික සැසිවලදී උපහාර ලැබූහ. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩව දෙවන වරටත් ඉදිරිපත් කළ නව ප්‍රතිපත්ති ඉඳිරිපත්කිරීම මෙවරත් සම්මානයට පාත්‍ර විය. මෙවර සම්මන්ත්‍රණය සඳහා වර්තමාන සභාපති ලෙස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.අල්ගම මහතාත් මෙම සම්මානය පිළිගැනීමට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊ.ඒ. රත්නසීල මහතාත් සහභාගී වූහ.
මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් "රාජ්‍ය ප්‍රසම්පාදනය හා සේවා සැපයීම්" තේමාව යටතේ මුල් තැන ලබා ගත් නව ප්‍රතිපත්ති ඉඳිරිපත්කිරීම පහත දැක්වේ. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා රජය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රීයාත්මක කරන ලදී. සමහර ව්‍යාපෘති සමාජයේ විවේචනයන්ට බඳුන් වු අතර සමහර ව්‍යාපෘතිවල විෂය පථයේ වෙනස්කම්, ප්‍රමාදයන්, පිරිවැය ඉක්මවා යාම සහ ආරවුල් අත්දකින්නට සිදුවුණි.මෙම තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතුවලදී අතිරේක වියදම්, ඉඳිකිරිම් හේතුවෙන් සමාජීය හා පාරිසරික බලපෑම් දිග ගැස්සීම, යටිතල පහසුකම් භාවිතයට වසර ගණනාවක් ජනතාවට බලා සිටීමට සිඳුවීම හා දේශීය හා විදේශීය අරමුදල් ඌන උපයෝජනයන් සිඳුවීම ප්‍රතිඵල විය. ව්‍යාපෘති කළමනාකරණ ඒකකයන්හී කොන්ත්‍රාත් හා ව්‍යාපෘති පරිපාලනය, ආරවුල් විසඳීම ඇතුළු ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමණාකරණ නිපුණතාවන්හි ප්‍රමාණවත් ධාරිතාවයන් නොමැතිවීම මෙයට බලපාන ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන ඇත. කොන්ත්‍රාත් හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා ප්‍රමාණවත් පරිපූර්ණ මගපෙන්වීමක් නොමැති වීම මෙම තත්ත්වය සඳහා ප්‍රධාන හේතුව වී ඇත. එබැවින්, ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමේදී බලපෑම් අවම කිරීම සඳහා ව්‍යාපෘති හා කොන්ත්‍රාත් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අදහස් කර ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල පිරිවැය අඩු කිරීම හා මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එහෙයින් නව නියාමන අවශ්‍යතා, වෙළඳපොළ ගෝලීයකරණය, කොන්ත්‍රාත් පරිමාව හා ව්‍යාපෘති සංකීර්ණ වැඩිවීම, ඵලදායී කොන්ත්‍රාත් හා ව්‍යාපෘති කළමනාකරණයේ ඇති වැදගත්කම සහ ප්‍රතිලාභ පිළිබඳ වැඩි වැඩියෙන් අවබෝධ කර ගෙන ඇත.
එබැවින්, ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව "ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය සඳහා මඟපෙන්වීම - Guide to Project Management and Contract Management (GPMCM) " හඳුන්වාදීම, දිගු කාලයක් තිස්සේ ඇති වූ අවශ්‍යතාවයට කාලෝචිත ප්‍රතිචාරයක් දැක්වීමකි. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) ඇතුළු ඒ ආශ්‍රීත රාජ්‍ය ආයතන, හා ඉදිකිරීම් කර්මාන්තයට අදාළ විවිධ වෘත්තීය සංවිධාන සහ කණ්ඩායම් සඳහා "ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය සඳහා මඟපෙන්වීම" කෙටුම්පත ඉදිරිපත් කරන ලද අතර, ඔවුන්ගේ නිරීක්ෂණ සහ යෝජනා අනුව මෙම මාර්ගෝපදේශය වැඩිදියුණු කර සකස් කර තිබේ. විවිධ පාර්ශවකරුවන්ගේ අදහස් සහ යෝජනා සඳහා ආරාධනා කර මෙහි වැදගත්කම හා ප්‍රායෝගික බව පිළිබඳ දැනුවත් කිරීම සඳහා වැඩමුළු කිහිපයක් පවත්වන ලදී.
කොන්ත්‍රාත් ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, අනුකූලතාවයන් සපුරාලීම, විශ්ලේෂණාත්මක හා වඩා හොඳ ප්‍රතිඵල අවශ්‍යතාව ද හේතුවෙන් වඩාත් විධිමත් සහ ව්‍යුහගත ව්‍යාපෘති / කොන්ත්‍රාත් කළමණාකරණ ක්‍රීයාපටිපාටීන් සහ ක්‍රීයා පටිපාටි, මාර්ගෝපදේශ, හා සම්මත ආකෘති පැහැදිලිව විස්තර කරන මගපෙන්වීම්වල අවශ්‍යතාවය වැඩි වී ඇති හෙයින් මෙම අවශ්‍යතා සපුරාලීමට පරිපූර්ණ මඟපෙන්විමක් ලෙස "ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය සඳහා මඟපෙන්වීම " නිර්මාණය කර ඇත.
මෙම "ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය සඳහා මඟපෙන්වීම" භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් පරිදි 2017 පෙබරවාරි සිට ක්‍රීයාත්මක වේ. මෙම "ව්‍යාපෘති කළමනාකරණය සහ කොන්ත්‍රාත් කළමනාකරණය සඳහා මඟපෙන්වීම" දැනට මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. මෙම මාර්ගෝපදේශයේ, ආකෘති ඉලෙක්ට්‍රොනිකව පිරවිය හැකි අතර මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියෙන් නොමිලේ බාගත කළ හැකිය.